ආපසු හැරෙන්න බැහැ රාජිත

2009 රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මාන 6ක් දිනා ගැනීමට රාජිත දිසානායකගේ ආපසු හරෙන්න බැහැ වේදිකා නාට්‍ය සමත්විය. එහිදී හොදම නාට්‍ය, හොදම අධ්‍යක්ෂණය (රාජිත දිසානායක),‍ හොදම නළුවා (සෞම්‍ය ලියනගේ), හොදම සහය නිලිය(ජයනී සේනානායක), හොදම පිටපත දෙවන ස්ථානය, හොදම වේදිකා පරිපාලනය(මලිත් පීරිස්-බන්දුල හේවගේ) යන සම්මාන එම නාට්‍යයට හිමි විය.
මීට අමතරව හොදම නිලිය සම්මානය කේ.බී. හේරත්ගේ ජගන්මා වේදිකා නාට්‍යයේ මාදනී මල්වත්තද, හොදම සහය නළුවා සම්මානය අහිංසකයන්ගේ ආරාමය වේදිකා නාට්‍යයේ ජෙහාන් ශ්‍රී කාන්තද හිමිකර ගත්හ.
50 වැනි වරට පැවැති මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය සදහා චාමික හත්ලහවත්තගේ හරි අපූරු දවසක්(ආරාධිත), සංජීව උපේන්ද්‍රගේ අහිංසකයින්ගේ ආරාමය, සහන් රන්වලගේ සහන් රන්වල අසයි වෙලාව කීයද?, කේ.බී.හේරත්ගේ ජගන්මා, රාජිත දිසානායකගේ ආපසු හැරෙන්න බැහැ, සුනිල් චන්ද්‍රසිරිගේ සිහිනවලට පාට දෙන්න, කේ. මෝහන් කුමාර්ගේ මුට්ටෙ, කේ. සෙල්වරාජ්ගේ ආල් කඩලිල් ඔරු සප්තම් යන නාට්‍ය තේරීපත් විය.

නාට්‍යවේදී රාජිත දිසානායක

1994 වසරේ ‘සක්වාදාවල’ ඔස්සේ නාට්‍යකරණයට ප‍්‍රවිෂ්ට වූ රාජිත දිසානායක නාට්‍ය කලාව සුපෝෂණය කළ නව පරපුරේ නාට්‍යවේදීන් අල්ප දෙනාගෙන් ප‍්‍රමුඛයෙකි.

1999 – 2009 දශකයෙහි ඔහු නිර්මාණය කළ ‘මට වෙඩි තියන් නැද්ද’, ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරං’, ‘ආපහු හැරෙන්න බෑ’ යන නාට්‍ය ඇතුළත් උළෙලක් ජූලි 23 සිට 26 වැනිදා දක්වා පස්වරු 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.

මේ නාට්‍ය සියල්ලෙන් ම සමකාලීන ලාංකේය සමාජය චිත‍්‍රණය කෙරේ. ස්වකීය දශකයක නිර්මාණ සංහිතාව මෙලෙස පෙළ ගැස්වීමට රාජිත උත්සුක වූයේ මන්ද?

”මේ සඳහා බලපෑ කාරණා කිහිපයක් තිබෙනවා. මෙබඳු උළෙලවල් සංවිධානය කිරීම හරහා අප නියැළී සිටින රංග කලාව වෙත ජනතාවගේ අවධානය යොමු කරවා ගැනීම එකක්. දෙවැන්න පසුගිය දශකයේ මගේ නිර්මාණ වැඩි පෙ‍්‍ර්ක්ෂක පිරිසක් වෙතට ගෙන යෑමට මේ ඔස්සේ හැකිවීමයි.

පසුගිය කාලයේ අපගේ නිර්මාණ නැරඹූ, ඒවාට ඇලුම් කළ පෙ‍්‍ර්ක්ෂක පිරිසක් වගේම නොබැලූ පිරිසකුත් ඉන්නවා. මොවුන් සමඟ යළිත් මේ නිර්මාණ දෙස ආපසු හැරී බැලීම මෙහි අරමුණක්. අනෙක ඉතා කැපවීමෙන් රංග කලාවේ නියැළෙන නළු නිළි ශිල්පීන් පිරිසක් මා සමඟ එකතු වී සිටිනවා.

ඒ අයගේ දායකත්වය ඇගැයුමට ලක් කිරීමත් මගේ එක් පරමාර්ථයක්. පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහන මිලකට මේ නාට්‍ය පෙළ නැරඹීමට අවස්ථාව ලබා දෙමින් ඔවුන්ගේ සහභාගීත්වය වැඩියෙන් ලබා ගැනීමට අප උත්සහ කළා. අනෙක සියලු නාට්‍ය නැරඹීමට අවශ්‍ය පෙ‍්‍ර්ක්ෂකයන්ටත් ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීමේදී අපි සහනයක් ලබා දෙනවා. දැනට අපි සාකච්ඡා කරමින් සිටිනවා කොළඹින් පිට ප‍්‍රාදේශීය මට්ටමට මේ නාට්‍ය උළෙල රැගෙන යෑමට.”

නූතන පරපුරේ බොහෝ නාට්‍යවේදින් පරිවර්තන නාට්‍ය කෙරෙහි වඩාත් නැඹුරු වූ බැව් පෙනෙනවා. ඔවුන් ලාංකේය සමාජ ප‍්‍රශ්න වෙත බැල්ම හෙළුවේ විදෙස් නාට්‍ය කෘති ඇසුරින්. ඔබ මෙරට සමාජය කියැවූයේ ස්වතන්ත‍්‍ර නිර්මාණ ඔස්සෙයි. මෙය ඔබේ නාට්‍ය භාවිතාවේ වෙසෙස් ලකුණක් සේ මා දකිනවා.

ඊට හේතුව මෙසේ කිව හැකියි. පාසල් වියේ එනම් 1988, 1989 කාල වකවානුවේ මා අත්විඳි අත්දැකීම් පාසල් වේදිකාව හරහා පළ කරන්න මට අවශ්‍ය වුණා. අපේ යාළු මිත‍්‍ර සමූහය ඇතුළත රචනා කාර්යය පැවරුණේ මටයි. අප අවට සිදුවන දේ දැකීමට, සිතීමට හැඟීම් පළ කිරීමට තිබෙන හොඳම මාධ්‍යය නාට්‍යය ලෙස මෙහිදී මට වැටහුණා. අඛණ්ඩ ව මා නාට්‍ය රචනයෙහි යෙදෙමින් අභ්‍යාස කළා.

මේ නාට්‍ය උළෙලේ නාට්‍ය හතර ගෙන බැලුවත්, කිසියම් විදිහකට පසුගිය දස වසර තුළ සමකාලීන ජීවිතය, සමාජය තුළ සිදුවන විපර්යාස, මානව සබඳතාවල වෙනස්කම් වෙත කැඩපතක් ඇල්ලීමයි මෙමඟින් සිදු වී තිබෙන්නෙ. ඒ නිසාම මේ නාට්‍ය රචනාවල ස්වරූපය සෙසු බොහෝ නාට්‍යවලට වඩා වෙනස් වුණා. ඇතැමුන්ට මෙහි අලුත් බවක් පෙනෙන්නට ඇත්තේ ඒ නිසා විය හැකියි.

සමාජය දෙස බැලීමෙන් මා තුළ ඇතිවන හැඟීම්, ආවේගයන්, විරෝධයන් මට පළ කිරීමට, අත්දැකීම් හුවමාරු කර ගැනීමට තිබෙන මාධ්‍යයක් ලෙස මා නාට්‍ය රචනා කළා. මුල් යුගයේ මේ රචනා ඇතැම් අයගේ විරෝධතාවන්ට, විවිධ ගැරහුම්වලට පවා ලක්වුණා. තවමත් සමහර නාට්‍ය ඔවුන් කැමැත්තකින් පිළිගන්න සූදානම් නැහැ.”

ඔබ නාට්‍යකරණයට පිවිසියේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසයි.

”කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ අපි මුලින්ම ඉදිරිපත් කළ නාට්‍යය ‘සක්වාදාවල’ (1994) යි. ඉන්පසු ‘හංසයින්ටත් මං ආසයි’ (1996) නාට්‍යය නිර්මාණය කළා. ලියනගේ අමරකීර්ති, පියල් කාරියවසම් ආදින් මට සමකාලීනව කොළඹ සරසවියේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන්. සෞම්‍ය ලියනගේ කැලණිය විශ්විද්‍යාලයේ වුණත් වැඩි කාලයක් ගත කළේ අපත් සමඟයි. මගේ නාට්‍යවලට මුල් වකවානුවේ සිටම ඇලුම් කළ, සමීපව විඳපු පෙ‍්‍ර්ක්ෂක සමූහයක් සිටියා.

මොවුන් නිරන්තරයෙන් වැඩි දියුණු වුණා. නිදර්ශනයක් ලෙස මගේ “වීරයා මැරිලා” නාට්‍යය අපි දර්ශනවාර 100 ඉක්මවූවා. එමෙන්ම “සිහින හොරු අරන්” නාට්‍යය දර්ශන වාර 60 කට වඩා අපි පෙන්නුවා. ලංකාවේ ප‍්‍රාදේශීය මට්ටමෙන් වගේම ඉන්දියාවේ භාරත් රංග මහෝත්සවයෙත් අපි මෙය වේදිකා ගත කළා. ඊට අමතරව යුරෝපයේ රටවල් පහක ලාංකික පෙ‍්‍ර්ක්ෂකයන් උදෙසා මෙය පෙන්විය හැකි වුණා.

‘ආපහු හැරෙන්න බැහැ’ නාට්‍යයටත් දර්ශන වාර 50 ඉක්මවන්නට අවස්ථාව ලැබී තිබෙනවා. පෙ‍්‍ර්ක්ෂකයා නාට්‍ය කලාවෙන් ඈත් වූ සමයක අපේ නාට්‍ය වෙතට කිසියම් පෙ‍්‍ර්ක්ෂකාගාරයක් ඇති කර ගැනීමට අපි සමත් වුණා. ඒ විශ්වාසයත් සමඟ තමයි පෙර අප කළ නාට්‍ය යළිත් මෙලෙස රංග ගත කරන්නේ”

ඔබේ බොහෝ නාට්‍ය නිර්මාණවලට පාදක වූයේ සමාජ, දේශපාලන තේමාවන්. ඒවා නරඹන විට ප්ලෙකනෙව්, ලුනචර්ස්කි, ජෝර්ජ් ලුකාෂ් වැනි විචාරකයන්ගේ සමාජීය සාහිත්යික මතවාද මට සිහිපත් වෙනවා. පෙර පරපුරේ ඔබට ආභාසයක් වූ නාට්‍යවේදින් ගැන පැවසුවොත්?

”කුඩා කාලයේ සිට ම නාට්‍ය නැරඹීමේ පුරුද්ද මට තිබුණා. මගේ පියා මාව නාට්‍ය බලන්න එක්ක ගියා. මට ආභාසයක් වූ ප‍්‍රමුඛතම නාට්‍යවේදියා ධර්මසිරි බණ්ඩාරනායක. එමෙන්ම මා වඩාත් පි‍්‍රය කළ නාට්‍ය ලෙස සයිමන් නවගත්තේගමගේ ‘සුභ සහ යස’ හා පරාක‍්‍රම නිරිඇල්ලගේ ‘උත්තමාවි’ හඳුන්වන්න පුළුවන්. සමාජ, දේශපාලන තේමා රැගත් නාට්‍යවලට මගේ හිත ඇදී ගියා. කොහොමටත් අපේ සියලු නාට්‍යකරුවන්ගේ නාට්‍ය නැරඹීම මගේ පුරුද්දක්.”

අද්‍යතන නාට්‍යවේදියාගේ සමාජ මෙහෙවර පිළිබඳ ඔබේ අර්ථකථනය කෙසේද?

”මූලික වශයෙන් කලාව වැඩි වශයෙන් කතා කරන්නේ දේශපාලනික අරමුණු සමඟයි. නාට්‍ය රචකයාට ඉන් මිදෙන්න බැහැ.

ඒ වගේම ඔවුන්ට වින්දනාත්මක මෙහෙවරක් සඳහා මැදිහත් වීමටත් වගකීමක් තියෙනවා. අපි විශේෂයෙන් නාට්‍ය ඔස්සේ ඇති කළ යුත්තේ වින්දනාත්මක සිතීමක් සඳහා පෙලැඹවීමක්. මේ රසවින්දනාත්මක අත්දැකීම හරහා තමා පිළිබඳ ව තමා ජීවත්වන සමාජය, වටපිටාව පිළිබඳ හැඟිමක් ඇති කරවීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. තමන් කවුද යනු මිනිසුන්ට දැන ගැනීමට ලැබෙන කැඩපත තමයි කලාව. මානව සබඳතා සේම අන් අයගේ වේදනාවන් දැන ගැනීමට උදව්වෙන්නේ මේ කලා මාධ්‍යයන්. මේ ඇසුරේ අඩුව තමයි සමාජයේ බොහෝවිට අපට දකින්න ලැබෙන්නෙ.

88, 89 අවධිවල අපට ඇතිවූ මරණ භය, ජීවත්වීමේ ආශාව පිළිබඳ හැඟීම, එවැනි අඳුරු කාලවලවලදී අපට දැනුණු වේදනාව ප‍්‍රකාශ කරන්න නාට්‍ය කලාව ඉවහල් වුණා. 1994 වන විට අප තුළ තිබූ අපේක්ෂා බිඳ වැටීමේ ශෝකය පළ කරන්න අප මේ මාධ්‍යය යොදා ගත්තා. තවත් පැත්තකින් නූතන ජනමාධ්‍ය මිනිස් සිතුම් පැතුම් හැසිරවීමට පටන් ගැනීමත් සමඟ අප මුහුණ පෑ අත්දැකීම් අන්‍යයන් සමඟ බෙදා ගැනීමටත් නාට්‍ය කලාව ඉවහල් වුණා.”

පසුගිය දශක කිහිපයේ සිදුවූ සමාජ විපරිණාමය නාට්‍ය කලාවේ ප‍්‍රගමනයට වඩාත් අහිතකර ලෙස බලපෑවා. මේ අනුව ඔබ ඇතුළු තරුණ නාට්‍යකරුවන් අල්පදෙනෙක් මේ ක්ෂේත‍්‍රයේ ස්ථාවර වීම මා දකින්නේ දැඩි අරගලයක ප‍්‍රතිඵලයක් ලෙසයි.

”ඔබ කී අවධියේ පෙ‍්‍ර්ක්ෂකයන් රඟහල අත්හරිමින් සිටියා. වියතුන්, විචාරකයන් හා ජනමාධ්‍ය නාට්‍ය කලාව අත්හැරියා. මේ නිසා අපගේ කෘතිවලට හිමි විය යුතු අවධානය ලැබුණේ නැහැ. ඒ පිළිබඳ අපට වේදනාවක් නැහැ. මන්ද යම් පිරිසක් අප සමඟ අත්වැල් බැඳගෙන සිටියා. හුදෙකලා නොවීමේ පී‍්‍රතිය අපට තිබෙනවා. විශාල පරිමාණයෙන් සමාජය භාර නොගත්තත් අපට සමීප වූ පිරිස ප‍්‍රමාණවත්.

දශක දෙකක් අපි කි‍්‍රයාකාරීව නාට්‍යකරණයේ නියැළුණේ කොහොමද? යන ප‍්‍රශ්නය මා මගෙන් ම ඇසුවොත් පිළිතුර තමයි මා සමඟ එකතු වූ ශිල්පීන්ගේ හයිය. අනුග‍්‍රාහකයන් මට සිටියේ නැහැ. කවදත් හොඳ කලා කෘතීන් වැළඳගත් පෙ‍්‍ර්ක්ෂකාගාරය විශාල නැහැ. නමුත් මේ පෙ‍්‍ර්ක්ෂකාගාරය වඩාත් වර්ධනය කර ගැනීමට අපි උත්සාහ කළ යුතුයි. මිනිසුන්ගේ රසවින්දනය, දැනුම, අධ්‍යාපනය, සෞඛ්‍ය පිළිබඳ දැනුම, සංස්කෘතික දැනුම වර්ධනය කිරීමට ජනමාධ්‍ය මඟින් ඉටු විය යුතු කාර්ය භාරය ගිලිහී ගොස් තිබෙනවා.

මේ නිසා ජනමාධ්‍ය තමන්ගෙන් ඉටු විය යුතු සමාජ මෙහෙවර යළි සිතා බැලීම වටිනවා. මෙරට උසස් සාහිත්‍යයට කලාවට මුල් තැන ලැබෙන ජනමාධ්‍ය සංස්කෘතියක් අවශ්‍යයි. සංස්කෘතික ජීවිතයක් පිළිබඳ අපේ සමාජයට තවමත් අවබෝධයක් නැහැ. හොඳ පොතක් නොකියවීම, උසස් නාට්‍යයක් නොබැලීම වටිනා කමක් ලෙස සලකන සමාජයකයි අපි මේ නාට්‍ය කරන්නෙ.

අද මිනිසුන් බහුල ව සමාජ විරෝධයන් පළ කරන්න ශාරීරික ප‍්‍රචණ්ඩත්වය යොදා ගන්නේ ඇයි? උසස් කලා නිර්මාණ සාහිත්‍ය ඇසුරු නොකළ නිසයි. කලා මාධ්‍යයෙන් භාව විශෝධනය සඳහා ඉඩකඩ හදනවා. කෙනෙක් තව කෙනෙකුට පහර දෙන විට මොන තරම් අජූවද? කියා පෙන්වා දෙන කැඩපතක් ලැබෙනවා කලාව ඇතුළෙදි. අනෙකාගේ වේදනාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. කලාව පරිශීලනය කරන අය සාන්තුවරයන් කියා මා කියන්නෙ නැහැ. නමුත් කිසියම් ආත්ම සංයමයක් කලාව ඇසුරු කරන්නන් තුළ තිබෙනවා.”



කුඩා දේවිකා

සුමුදු සීත පවන්සලන
වසන්තයේ උදෑසනක
උයන් කොනේ හුදකලාව
බලා සිටින්නී
කුඩා දේවිකා

රන්වන් පත් ගැලවීලා
ගහකොළ සුළඟට නැවිලා
විහිදී යනවා විසිරී යනවා
ඒ දිහාද බලා සිටින්නේ
කුඩා දේවිකා

ගස්වැල්වල කොළ
ගැලවී බිමට වැටෙන්නේ
වැටෙන වැටෙන කොට
හැම තැන විසිරී යන්නේ
ඒ දිහාද බලා සිටින්නේ
කුඩා දේවිකා

ගීත රචනය – මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
ගායනය – තනුව හා සංගීතය
එඩ්මන් වික‍්‍රමසේකර

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

කුඩා දේවිකා උපත ලැබුවේ ලන්ඩනයේ දී ය. 1972 උපත ලද ඇය මුලින් ම කරළියට පැමිණියේ බී.බී.සී. සන්දේශයෙනි.

එතැන් සිට දශක හතරක ට කිට්ටු කාලයක් පුරා ඇය සුවහසක් ගීත රසිකයන් සනසවන්නී ය.

කුඩා දේවිකා උයන් කොනක ට වී හුදකලාව උයන දෙස බලා සිටින්නීය.

සුමුදු සීත සුළං රැල්ලට හසුවී බිමට වැටෙන ගස්වැල්වල කොළ විසිරී යන අයුරු ඇය බලාසිටින්නී කොතරම් ආශාවෙන් ද?

උදෑසනම වියළී ගිය කොළ බිමට වැටී විසිරී යන්නේ ජීවිතයේ අනියත බව පසක් කරමින්ද?

මේ ගීතය හුදු සරල ගීතයකි. එහෙත් එහි සුවිශේෂී බවක් තිබේ.

එඩ්මන් වික‍්‍රමසේකර

එහි පදමාලාව බොහෝ වෙනස්ය. සංගීතය ද අනෙක් බොහෝ ගීතවලට වඩා වෙනස් ය.

මේ වෙසෙසි ගීතය පිළිබඳව මා මුලින් ම විමැසූයේ ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කරමින් ගායනා කළ එඩ්මන් වික‍්‍රමසූරිය ගෙනි.

1970 දශකයේ මා රැකියාව කළේ ලන්ඩනයේ. එහිදී මට නිතර ම මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් මුණගැහෙනවා.

ඒ කාලේ බී.බී.සී.යේ ‘සන්දේශය’ සිංහල වැඩසටහන කළේ ඔහුයි. මට මතකයි මං දවසක් ‘සන්දේශය’ විවිධ ප‍්‍රසංගයක ට සහභාගී වුණා.

BBC Bush House ශාලාවේදී. එහිදී මහාචාර්යතුමා තමයි ලන්ඩනයේදී ස්ටීරියෝ ක‍්‍රමයට ගීත කීපයක් තැටිගත කිරීමේ අදහස ඉදිරිපත් කළේ.

මාත් ඒ වනවිට සංගීතය හදාරා සංගීතය ගැන දැනුමකුත්, ඒ වගේ ම, ලන්ඩනයේ දී ස්ටීරියෝ තැටිගත කිරීම් පිළිබඳ වැඩමුළුවලටත් සහභාගි වී ඒ ගැන දැනුමකුත් ලබාගෙනයි සිටියේ.

මට කීවා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ට මට ගීයක් දෙකක් ලියා දෙන්නැයි කියා.

ඒ අනුව එතුමා මට ලියා දුන් ගීතය තමයි මේ. මෙහි පදමාලාව මගේ හිතට ඇල්ලුවා. ගීතය නැවත නැවතත් කියවද්දී මගේ හිතේ එක්තරා චිත‍්‍රයක් මැවුණා.

ලන්ඩනයේ වසන්තය අවසානයේ එක් සීතල උදෑසනක උද්‍යානය කෙළවර බංකුවක වාඩිගෙන සුළඟට වැටී ගසාගෙන යන කොළ දෙස බලාගෙන සිටින දැරියකගේ චිත‍්‍රයකි ඒ.

මම පියානෝව ළඟ ඉඳගෙන මගේ සිතේ මැවුණු චිත‍්‍රයට අනුව ගීතයට තනුවක් නිර්මාණය කළා. වසන්තයේ සුන්දරත්වය, වේගයෙන් හමායන සුළඟ, අහිංසකත්වය, සමඟ යම්කිසි ගුප්ත බවකුත් මේ පදමාලාවේ ඇතැයි මට සිතුණා.

මා නැවත නැවතත් කපමින් කොටමින් මට අවශ්‍ය සංගීත සිතුවම මැවෙන තුරු මං හිතන්නෙ තුන් හතර වතාවක් තනුව නිර්මාණය කළා.

මම මෙසේ හදන හදන තනුව වෙනස්කම් සහිතව මහාචාර්ය තුමාටත් අසන්නට සලස්වමිනුයි අවසාන නිර්මාණය කළේ. මහාචාර්ය තුමාත් ඉන් සෑහීමට පත්වුණා.

අනතුරුව මේ ගීතයයි තවත් ගීත තුනකුයි එකතු කරලා මං ගීත හතරක තැටියක් නිෂ්පාදනය කළා. එහි නිෂ්පාදකයත් මමයි.

ගීතයේ තනුව හා සංගීත රචනාව ලියද්දි තමා ඊළඟ ප‍්‍රශ්නය මතුවුණේ. තබ්ලාව හා පියානෝව හැර අනික් සියලු භාණ්ඩ වාදනය කළේ ඉංග‍්‍රීසි ජාතිකයින්. සිතාරය වාදනය කළේ ද ඉංග‍්‍රීසි ජාතිකයෙක්.

මම ගීතය පියානෝවෙන් වාදනය කරද්දි නැත්නම් කටින් එහි නාදය ගයද්දි යි ඔවුන් ඒ නාද රටා ද සියල්ල ඉංග‍්‍රීසි ක‍්‍රමය ට ලියාගත්තේ.

මුලින් ම ස්ටීරියෝ ක‍්‍රමයට තැටිගත කළ ගීතය “කුඩා දේවිකා” ගීතයයි. බොහෝ දෙනෙක් දන්නේ නැහැ මම මහාචාර්ය ජිනදාස වික‍්‍රමසිංහයන්ගෙන් සංගීතය හා නැටුම් ශිල්පය හදාරා තිබෙන බව.

එසේ හැදෑරූ රාගධාරී සංගීතය මගේ ගායනා දිවියට ඉතා රුකුලක් වුණා.

මේ ගීතය ඇතුළු ගීත හතර පටිගත කළේ ද මධ්‍යම ලන්ඩනයේ ඇස්.ඩබ්ලියු.ඇම්.චිත‍්‍රාගාරයේයි.

පටිගත කළ තාක්ෂණ ශිල්පියා එවකට බි‍්‍රතාන්‍යයේ සිටි දක්ෂ පටිගත කිරීමේ ශිල්පියකු වන ස්ටීව් වේඩ් (Steve Wade) මහතා ය.

තබ්ලාව වාදනය කළේ සිංහල ශිල්පිනියක්. මට ඇගේ නම දැන් හරියට මතක නැහැ. මට මේ සියලු ශිල්පීන් හඳුන්වා දුන්නෙත් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයි.

මේ ගීතය වාදනය කළ විදේශීය ශිල්පීන් පවා මේ ගීතයට වශීවෙලා වගෙයි හිටියේ.

ඒ වගේ ම ලන්ඩනයේ උපත ලද මේ ගීතය මුලින් ම වාදනය වුණේ බී.බී.සී. ගුවන් විදුලියෙන්. මුලින්ම වාදනය කළේ වර්නන් කොරයා හා බීබීසීයේ හින්දි නිවේදකයකු වූ ගීතබාලා යන දෙදෙනාය.

මේ ගීතය අඩංගු තැටිය මුලින් ම මිලයට ගත්තෙත් විදේශීය රසිකයන්. ලංකාවට ගීත තැටි ගෙනැවිත් බෙදාහැරියෙ ගීතය ප‍්‍රචාරය වී සෑහෙන කලකට පසුවයි. මේ ගීතය පිළිබඳව අපූරු කතාවක් මට මතක් වෙනවා.

ප‍්‍රවීණ නළු පාලිත සිල්වා මහතා තමා කැමැති ම ගීතය වශයෙන් කුඩා දේවිකා ගීතය ගැන පුවත්පතකට කියා තිබුණා.

ඔහු මා කිසි දවසක දැක තිබුණේ නැහැ. මා මෑතකදී මේ ගීතය අඩංගු සී.ඩී.තැටියක් නිකුත් කරන උලෙළට ඔහුට ආරාධනා කළා.

සතුටින් ඒ ආරාධනාව පිළිගත් ඔහු එදා මා මුල් වරට දැන හඳුනාගෙන අපමණ සතුට පත්වුණා. මම එදා හරිම සතුටට පත්වුණා.

’කුඩා දේවිකා’ ගීතය ඉන්පසු ලංකාවේදීත් කීප ගමනක් විවිධ ගීත ප‍්‍රසංගවලදී ගයා පටිගත කර ඇතත් එහි මුල් තැටියේ මිහිර තවමත් එසේ ම පවතී.

ලන්ඩනයේ දී ගීතය රචනා කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගෙන් ගීතයේ උපත පිළිබඳව මම විමැසීමි.

”මේ ගීතය ලන්ඩනයේ දී මා ලද සත්‍ය අත්දැකීමක් ඇසුරින් රචනා වූවක්. දිනක් ලන්ඩනයේ බි‍්‍රතාන්‍ය කටුගෙට ඇවිදගෙන යනවිට ‘රසල්’ උද්‍යානයේ දී මා දුටුවා එහි බංකුවක් මතට වී හුදකලාව ඉන්න පුංචි දැරියක්. එය ලන්ඩනයේ සීත සමයක්.

වසන්තයේ අවසාන සමය ඇය බලාගෙන හිටියේ ගස්වල කොළ සුළඟට වැටී විසිරී පාවී යන අයුරුයි. මේ දරුවාගේ දර්ශනය මගේ සිත සසල කළා. මට එකපාරට ම මතක් වුණේ Gerald Marid Hopekins නම් කවියාගේ කවියක්.

මේ සිද්ධිය මගේ සිතේ කැකෑරෙමින් ටික කලක් තිබුණා. මං ඒ ඇසුරින් ’කුඩා දේවිකා’ කියලා දිගු කවියක් රචනා කළා.

මහාචාර්ය සුනන්ද පැවැසීය.

”ඇයි ‘කුඩා දේවිකා’ යනුවෙන් නම් කළේ?’ මම ඇසීමි.

’පුංචි දේවියක්, පුංචි කුමාරිකාවියක් කියන අරුතිනුයි මම ‘කුඩා දේවිකා’ යැයි නම් කළේ.

එඩ්මනුත් හොඳ රසිකයෙක්. ඔහු මගෙන් ගීතයක් ලියා දෙන්නැයි කීපවරක්ම ඉල්ලා තිබුණා. මා ඔහුට මේ කවිය පෙන්නුවා.

එය රසවින්ද ඔහු ඉන් පද කීපයක් ගෙන මේ ගීතය බොහොම අපූරුවට නිර්මාණය කළා.

ඔහු එවකට ශී‍්‍රලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායකයෙක්. ඒ කාලෙ ඔහුගෙ ‘පංචකල්යානි නාරි රූප රාජිනි’ වගේ ගීත හරි ජනප‍්‍රියයි.

මා එංගලන්තයේ ඉන්න කාළේ මා බලන්න එන රසිකයින් උගතුන් කවියන් කලාකරුවන් අතරේ එඩ්මනුත් හිටියා. මේ ගීතය නිර්මාණය කරන කාලේ සී.ටී.ප‍්‍රනාන්දු ගායකයාත් අප සමඟ සිටියා.

ස්ටීරියෝ පටිගත කිරීමේ ක‍්‍රමය ඒ වනවිට ලංකාවේ තිබුණේ නැහැ. මට මතක හැටියට . ස්ටීරියෝ ක‍්‍රමයට පටිගත කළ මුල් ම ගීතය මෙයයි.

අපිට එංගලන්තයේ දක්ෂ වාදකයින් සිටියා. බි‍්‍රතාන්‍ය ජාතිකයන් හොඳ දක්ෂ වාදකයින්. සංගීතය විශ්ව භාෂාවක්නෙ.

ඒ කාලෙ මේ ගීතය වගේ ම එහේදි පටිගත කළ අනිත් ගීතත් බීබීසී සිංහල හා හින්දි සේවාවන්හි නිතර ම ප‍්‍රචාරය වෙනවා.

ඒ කාලෙ එංගලන්තයේ හිටි එච්.ඇම්.ගුණසේකර, තිලක සුදර්මන්, බර්ටි ගලහිටියාව, මේ ගීතය බොහෝ අගය කළා. ඔවුන් ලංකාවේ දී මේ ගීතය ගුවන් විදුලියෙන් නිතර ප‍්‍රචාරය කළා.

මහාචාර්ය සරච්චන්ද්‍රයනුත් මේ ගීතය අගය කළා. “හරි අපූරු ගීතයක්නෙ’ එතුමා වරක් කීවා.

මගේ ගීතය ට නැත්නම් කවිය ට බොහෝම මිහිරි වසන්තයේ සුන්දරත්වය දනවන තනුවක් එඩ්මන් වික‍්‍රමසේකරයන් යොදා තිබෙනවා. ගීතය ජනප‍්‍රිය වන්නට හේතුවත් එයයි. මං නිහතමානීව මේ ගීතය අගය කරනවා.”

එදා ගුවන් විදුලි නාලිකා බොහෝමයක් නැති යුගයක මේ ගීතය වැනි සුන්දර ගීත නිතර නිතර ප‍්‍රචාරය වුවද දැන් එසේ සිදුනොවේ.

කුඩා දේවිකා ගීයේ පදමාලාවත් සොබාදම් සුවඳින් මෙන් ම අපූරු සංගීත රටාවනුත් සිත සසල කරයි. කලින් කලට යටපත් වී නොයන සදාතනික ගීත අතරට ‘කුඩා දේවිකා’ද එක්වෙයි.

අඳුරන්න බැරි ද? මං කර්ලිනාහාමි උපාසකම්මා

බුදු දහමේ විමුක්ති මාර්ගය දේශනා කොට ඇත්තේ දාන, ශීල, භාවනා යන ති‍්‍රවිධ කුසල කි‍්‍රයා අනු පිළිවෙළට ය. කෙනෙක් තමන් ගේ ශක්තිය අනුව දන් පැන් දෙමින් පෝයට සිල් සමාදන් වෙති.

තවත් කෙනෙක් තමන් සතු දෙයින් බිඳක් සොලවන්නට අකමැතිව අනුන්ගේ යහපත පිණිස කිසිවක් නොදී පෝ දිනට පමණක් පන්සලට ගොස් සිල් සමාදන් වී නිවන් දකින්නට මාන බලති.

තවත් කෙනෙක් තමන් ගේ ජීවිත කාලය ම කට්ට කපටි කෛරාටික කමින් රැකියාවේ දී පවා වැටුපට සරිලන සේවයක් නොකොට විශ‍්‍රාම ගිය පසු දාන ශීලයෙන් තොරව කෙළින් ම විපස්සනා භාවනාව සොයා යති.

මෙයින් කීයෙන් කී දෙනෙක් නිවැරදිදැයි ඔවුන්ගේ ම හදවත්වලින් ම විමසා දත යුතුය. දානයෙන් තණ්හාව අඩු කරමින් සීලයෙන් කය වචන සංවර කැර ගනිමින් භාවනාවෙන් සිත කෙලෙස් තුනී කරමින් යා යුතු මඟට වන් අය පවා අතර මඟ මිය ඇදුණ ද තමන් හුරු පුරුදු කළ දේ සසර ගමන සඳහා පාරමිතා වෙයි.

කෙසේ වෙතත් භාවනාවෙන් සිත පිරිසුදු කැර ගැනීමෙන් තොරව ක‍්‍රමයෙන් ශාන්ත වූ සුවය උදා කැර ගත නොහැක්කේ ම ය. අසූ හාර දහසක් වෙහෙර විහාර ඉදිකොට මහා සාසනික සේවයක් කළ ධර්මාශෝක අධිරාජයාට පවා අපාගත වන්නට සිදු වූ බව කව්රුත් දන්නා සිද්ධියකි. එසේ නම් අප ගැන කවර කතා ද?

තමන්ට හැකි අයුරින් දන් පැන් දෙමින් සතර පෝයට සිල් සමාදන් වෙමින් කල් ගෙවූ උපාසිකාවක ගේ කතාවකි මේග

අද අතුරුගිරියේ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ සිටින ගස්නාවේ ඤාණානන්ද හිමියෝ එවකට වැඩ වාසය කළේ හඟුරන්කෙත ප‍්‍රදේශයේ ආරණ්‍යයකයග ඒ ආරණ්‍ය සේනාසනය ද ගල්දූව ආරණ්‍ය සේනාසන සංස්ථාවට ම අයත් වූවකිග

හඟුරන්කෙත ආරණ්‍ය සේනාසනය ආසන්නයේ නිවසක පදිංචි වැඩිහිටි උපාසිකාවක් වූවා ය. ඇය මේ ආරණයේ වැඩ වසන යෝගාවචරයන් වහන්සේට මහත් ශ‍්‍රද්ධාවෙන් හා භක්තියෙන් යුතුව සිව්පසයෙන් සංග‍්‍රහ කළා ය. ඇය ග‍්‍රාමවාසී විහාරස්ථ ස්වාමීන් වහන්සේ පි‍්‍රය කළේ නැත.

මේ උපාසිකාව වයස්ගතව ඔත්පල වූවාය. එහෙත් යහනේ සිට පවා දරුවන් ලවා ආරන්්‍යවාසී භික්ෂුන් වහන්සේට දාන මානයෙන් පූජා කැර වූවාය.

මේ අතර ගල්දූව ආරණ්‍ය සේනාසනාධිපති කඩවැද්දුවේ ශී‍්‍ර ජිනවංශ නාහිමියන්ගේ උපන් දින පිංකම සඳහා හඟුරන්කෙත ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේ ගල්දූව බලා පිටත් වූහ. එදින ම රාතී‍්‍ර උපාසිකාව මිය ගියා ය.

උපාසිකාවගේ මරණයේ අවසන් කටයුතුවල ආගමික වතාවත් සඳහා ආරණ්‍යවාසි භික්ෂුන් නොසිටි බැවින් ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ වැඩමවා පාංශුකූල චාරිත‍්‍ර සිදු කැරිණි.

ගල්දූවේ පිංකම අවසන් වී ඤාණානන්ද හිමියන් ඇතුළු පිරිස ආපසු ආරණ්‍ය බලා වැඩම කරවද්දී ආරණ්‍යයට නුදුරෙහි ඉඩමක අලුත් මිනී වළක් මත සුදු රෙදි වියනක් රඳවා ඇති අයුරු දැක ඤාණානන්ද හිමියෝ එම පාංශුකූල රෙදි කඩ ද රැගෙන ආරණ්‍යයට වැඩම කළහ.

එදින හැන්දෑවේ මිය ගිය උපාසිකාවගේ දහ අට හැවිරිදි මුණුපුරෙකු ප‍්‍රලය වී නිවසේ වැඩිහිටියනට බැන වදින්නට වීය. ගෙදර අය ඇදුරෙකු ගෙන්වන්නට කතා බහ වෙද්දී මුණුපුරා මිදුලට පැන ආරණ්‍ය සේනාසනය කරා දුවන්නට වීය. නිවැසියෝ ද ඔහු පසු පසින් දුව ගෙන ආහ.

ඤාණානන්ද හිමියන් වෙත පැමිණි මුණුපුරා කේන්තියෙන් වෙව්ල වෙව්ලා තම මවුපියන්ටත් අනිකුත් වැඩිහිටියන්ටත් දෝෂාරෝපණයෙන් බැන වදින්නට වීය.

“බලන්න ස්වාමීන් වහන්ස! මුං මගේ මරණයේ කටයුතු කළේ මම බලා පොරොත්තු වුණ හැටියට නෙවෙයි. මගේ පාංශුකූලය දුන්නේ ගමේ පන්සලට. මං ඒකට කැමති නෑ මං මුංගෙන් පළිගන්නවා. පළිගන්නවාමයි” කියන්නට වීය.

මේ තරුණයාට ආවේශ වී සිටින්නේ කවුදැයි ඤාණානන්ද හිමියන්ට වැටහී ගියත් ඒ බව නොඅඟවා ප‍්‍රශ්න කරන්නට වූහ.

“මේ කව්ද? කතා කරන්නෙ?”

“ඇයි හාමුදුරුවනේ! මා අඳුනන්නේ නැද්ද? මං කර්ලිනා උපාසකම්මා.”

“ඇයි? උපාසකම්මේ මේ ළමයාට කරදර කරන්නේ?”

“හාමුදුරුවනේ! මට මෙයාගෙ ඇඟට විතරයි ඇතුළු වෙන්න පුළුවන්. ඒකයි මේ දරුවගෙ ඇඟට ආවෙ. මං අනිත් උංගෙන් පළිගන්නවා.”

“අනේ! අනේ! උපාසකම්මා සිල් සමාදන් වෙලා දන් පැන් දීලා බණ දහම් ඉගෙන ගත්තේ වෛර කරන්න ද? පළිගන්න ද?”

“ඉතින් හාමුදුරුවනේ! මුං මගේ පාංශුකූලය දුන්නේ පංසලටනෙ.”

“හරි හරි උපාසකම්මගෙ පාංශුකූලය අපිටත් ලැබුණනෙ.”

“ඔව් ඔව් මං දන්නවා. මං දැක්කා ඔබ වහන්සේ වළ උඩ තිබුණු රෙදි හතර රියන අරගෙන එනවා. ඒ වුණාට මට මේගොල්ලන්ගෙ වැඩ ගැන කේන්තියි හාමුදුරුවනේ.”

“ඔන්න ඔය තරහ මරහ හිතින් අයින්කර දාන්න. නැත්නම් තමුන්ටමයි ඒක නරක.”

“එහෙම නම් හය මාසෙන් දෙන දානය මේ ආරණ්‍ය සේනාසනයට දෙන්න ඕනෑ” යි කීවාය.

ඒ හය මාසයේ දානය ආරණ්‍ය සේනාසනයට දෙන බවට එතැන සිටි ඥාතිහු පොරොන්දු වූහ.

“හැබැයි ඒ දානයේ දී අට පිරිකර දෙකක්, ගොටු අතු දෙකක්, සෙරෙප්පු දෙකක් පූජා කරන්න ඕනෑ”යි උපාසක අම්මාගේ ආත්මය නියමයක් ද කළාය.

“ඇයි? උපාසක අම්මේ මේ දෙක දෙක පූජා කරන්න නියම කළේ” යි ඤාණානන්ද හිමියෝ ප‍්‍රශ්න කළහ.

“හාමුදුරුවනේ ඒ වැඩිපුර එක දඬුවම් වශයෙන් මං නියම කළේ”

“හොඳයි දැන් මේ ඇත්ති ඉන්නේ කොහේද?”

“අර මගේ මිනිය භූමදාන කළ තැනට ටිකක් එහායින් තියෙන ගල උඩ තමයි මම ඉන්නේ.”

“හොඳයි! දැන් හය මාසෙ පින්කමේ දී අපි මොනවාද කරන්න ඕනෑ.” හාමුදුරුවෝ නැවතත් ප‍්‍රශ්න කළහ.

“මම කන්න කැමති දේවලින් හොඳට දානෙ දීලා අර කලින් කියාපු විදිහට පිරිකර දෙක දෙක පූජා කරන්න ඕනෑ. දානෙ දවසට කලින් දවසෙ රෑ මම ඉන්න ගල උඩට ඇවිත් පේ‍්‍රත තටුව තියන්න ඕනෑ. ඒක කරන්න ඕනැ මගේ බාල දුව.”

“හා හොඳයි. හය මාසෙ පින්කමට තව වැඩි කාලයකුත් නැහැනෙ. මේ ඇත්ති දැන් මේ ළමයාගෙ ශරීරයෙන් ඉවත් වෙලා යන්නැ” යි ඤාණානන්ද හිමියෝ පැවසූහ.

ඒ සමඟ ම තරුණයා ප‍්‍රකෘතිභාවයට පත්වීය. දෑස් පිස දමමින් සිදු වූයේ කුමක් දැයි නොදැන විමතියෙන් වට පිට බලන්නට වූයේ ය. පැමිණ සිටි පිරිස ඔහු කැඳවා ගෙන ගෙදර ගියහ. එයින් පසු කාලයක් ම මේ තරුණයාට ආච්චි අම්මා ආවේශ වූයේ නැත.

හය මාසයේ පින්කම් දිනය උදා වීය. මිය ගිය අම්මා ගේ නියමය පරිදි බාල දියණිය පේ‍්‍රත තටුව ලෙස ආහාර පිඟානක් සකසා කලින් කී ගල මතට ගෙන ගොස් තැබුවා ය.

පසු දා උදේ ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන ස්වාමීන් වහන්සේ උදෙසා දානය පිළියෙල කැර ගොස් පූජා කළහ. දන් ශාලාවට වැඩම කළ ස්වාමීන් වහන්සේ දානය ලබා ගෙන තම තමන් වැඩ සිටින කුටිවලට වැඩම කළ අතර ඤාණානන්ද හිමියෝ අනූමෙවෙනි ධර්ම දේශනය සඳහා දන් ශාලාවේ නතර වූහ.

පිරිස පන්සිල්හි පිහිටුවා මියගිය මෑණියන්ට පුණ්‍යානුමෝදනය කිරීම සඳහා දුන් දානයත්, මවු ගුණත්, මේ පින්කම්හි ආනිසංසත් දේශනා කොට අවසාන වන විට ම අර තරුණයා වහාම නැගිට ළඟ සිටි තවත් යහළු තරුණ ළමයකුගේ අතින් ඇද ගෙන කැලේ කඩා ගෙන දුවන්නට වීය.

ඉතා ම වේගයෙන් දුව ගෙන ගිය තරුණයා ගොස් ඇත්තේ පේ‍්‍රත තටුව තැබු ගල උඩට ය. “මේ බලපං මුන් මට කෑම බෙදලා තියෙන හැටි. හොඳට බලා ගනිං මේ පිඟානෙ තියෙන දේවල්” යැයි එකින් එක පෙන්වා ආපසු දන් ශාලාවට දෙදෙනා ම දුව ගෙන ආවෝ ය. ඔවුන් සොයා ගෙන යන්නට පිටත් වූ පිරිස ද ආපසු හැරී පැමිණියහ. ස්වාමීන් වහන්සේ ද සිදු වූයේ කුමක්දැයි දැන ගැනීම සඳහා නතරව සිටියහ.

තරුණ මුණුපුරා යහළුවා සමඟ ඤාණානන්ද හිමියන් ඉදිරිපිට හිඳ ගත්හ. පවුලේ පිරිස ද එතැනට රැස්වූහ.

“හාමුදුරුවනේ! අපේ බාල දූගෙ වැඩත් හරිම බාලයි. මම මේ ළමයා ගල උඩට එක්කර ගෙන ගිහින් පෙන්නුවා. පේ‍්‍රත තටුව බෙදලා තිබුණෙත් පෙරේතකමෙන්. ඇපෙන් බේරෙන්න වගෙයි.

හාමුදුරුවනේ මම අඹවලට හරිම ආසයි. මේකි අඹ කෑල්ලක් බෙදලා තිබුණා මෙන්න මේ තරම් පුංචි කෑල්ලක්. (එසේ කීවේ අතේ සුළැඟිල්ල පෙන්වමිනි) ගෙදර වත්ත පුරාම තියෙන්නේ මම හිටවපු කොස් ගස්.

ඒ ගස්වල හොඳට කොස් හැදිලා තියෙනවා. මේකි මට එක ම එක වරකා මදුල යි බෙදලා තිබුණේ. ගස්ලබු කෑල්ලත් ඒ වගේ ම යි. හාමුදුරුවනේ! මට ඒ කෑම කන්න බෑ. අපි කරන්නේ ඒවා අත ගාලා සතුටු වෙන එක යි. ඒකවත් සතුටු වෙන්න පුළුවන් විදිහට තියලා නැහැ.”

“හා හොඳයි. හොඳයි. දැන් අපේ උපාසකම්මාට ඒ පෙරේත තටුවලින් වැඩක් නෑ. මේ දානයෙන් අපි සතුටු වෙලා පින් අනුමෝදන් කළානෙ. දැන් ඒ පින් ලැබුණානෙ” යි හාමුදුරුවෝ පැවසූහ.

“එහෙමයි හාමුදුරුවනේ! මට පින් ලැබුණා. මම ආයෙත් මේ දරුවාට කරදර කරන්නේ නැහැ. මම දැන් හොඳ තැනකට යනවා. එහෙනම් මට අවසරයි හාමුදුරුවනේ” යි කියා ස්වාමීන් වහන්සේට වැඳ අවට සිටි පිරිස දෙස බලා බාල දියණිය දෙස මඳක් අමනාපයෙන් මෙන් බලා “මං යනවා, මං යනවා” යැයි කී තරුණයා වෙව්ලා යළිත් ප‍්‍රකෘතිතාවයට පත් වූයේ ය.

ඒ පින් ලබා ගිය උපාසකම්මා ගේ ආත්මය වෘක්ෂ දේවතාවියක් වූ බව ද ගස්නාවේ ඤාණානන්ද හිමියෝ අප සමඟ පැවසූහ.


අපේක්‍ෂාව

බලාපොරොත්තු සහිත මේ දෑස් බබළන්නේ
අපේක්‍ෂිත නිදහස් නිවහල් හෙටක් වෙනුවෙනි.

වන්දා

වන්දා කියන්නේ මෙයාට.
මෙයා ගොඩාක් අහිංසක සතෙක්.
මට මෙයා ගැන එකපාරටම ලියන්න හිතුනේ අපේ සමාජයේ ඉන්න සමහරුන්ටත් මෙයාට කියන නම කියන නිසා.
ඒ ඉතින් අහිංසක කම නිසා නම් නෙමෙයි.
අපේ සමාජයේ සමහරු වටේටම වැඳලා තමුන්ගේ වැඩ කර ගන්නා කලාවක් පුරුඳු වෙලා තියෙන නිසා.
තවත් සමහරු ලොකු ලොකු අයියලගේ වන්දිභට්ටයො වෙලා.
අනේ මන්දා ඉතිං.
ඕකෙන් මේකෙන් වෙන්නේ අපේ අසරන වන්දා තියෙන තැනත් නැති වෙන එකද මන්දා

ආදරය තේරුම් ගත් පින්තූර

ආදරය කියන්නේ ගොඩාක් උතුම් දෙයක්.
ජිවිතය විඳවන්නේ නැතිව විඳින්න නම් ආදරයක් හිතේ ඇතිවෙන්ටම වුවමනායි.
මිනිස්සු ආදරය තලලා පොඩි කරලා විනාශ කරලා දමද්දි,
තව සමහරු ආදරය ලෝකෙටම බෙදනවා.

අපි නොහිතන සමහර තැන්වල ආදරය ගොඩාක් ආදරෙන් තියෙනවා.හිත් පිත් නැති අයත් ආදරෙන් වෙලිලා ඉන්නවනම්,
ඇයි, අපි තවමත් මනුස්සකමින් ආදරය නොකරන්නේ......???

ආයුබෝවා

ඔන්න දෙයියනේ කියලා අරුමය දිග නිහඩතාවයකට පස්සේ වැඩ ඇල්ලුවා ආයිබෝං........
පහුගිය දොහේ අහපු දැකපු දෙවල් කටකම්සිරියාවක් නැතුව ලියනවා ආයුබෝං මම ආපහු ඉතිං
හොඳා.... අදට ඇති.....
ගිහිල්ලා එන්ට අවසරයි කිව්වා එහෙනං.

සිරිලක් සාහිත


කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලියට අරුමය කණ්ඩායමද එක්වන බව සියලු හුදී ජනයන් වෙත දැනුම් දෙමු.

ආයුබෝවේවා මහරජාණෙනි,


මා ඉපදෙන විටත් පැවතූනු ත‍්‍රස්තවාදී යුද්ධය නිමා වී සියළු ජනයා ප‍්‍රීතියෙන් ඔදවැඩී සිටිනා මොහොතේ මාගේ චිත්තප‍්‍රීතිය බ්ලොග් සටහනෙන් පල කිරීමට කැමැත්තෙමි.
එදා අපේ අනගාරික ධර්මපාල උත්තමයා පැවසූ දියසේන කුමාරයා ඉපදී ඇති වග ප‍්‍රත්‍යක්‍ෂ වී ඇතිවග අප පවසමු. ඒ පිළිබඳ දීර්ඝ රචනාවක් ලගදීම අරුමය තුළින් බලාපොරොත්තු වන්න.

කිරලාගේ කතා වස්තුව

දිනය මැයි නම වැනිදා.
අපි, මහාපාරේ ඇවිදිමින්....
එකපාරටම කන ලගින් කුරුල්ලෙක් කෑ ගහනවා ඇහිලා වට පිට බලනකොට කිරලෙක් .
ආපහු තව ටිකක් ඇවිදන් යනකොට තවත් කිරලෙක් කෑගහනවා.
අපි ටිකක් නැවතිලා එයාල දිහා බලන් හිටියා.
මේ කිරල ජෝඩුවක්.
ඒත් ඇයි එයාලා අමුතු විදිහට කෑගහන්නේ ...?
අපි යන්න ගිය ගමන පැත්තකට දාලා කිරල ජෝඩුව දිහා බලන් හිටිය.
අනේ එතකොටයි දැක්කේ,
එයාලා අද දොරට වඩම්මපු, තමුන්ගේ කිරල පැටව් දෙන්නට ඇවිදින්න උගන්වන හැටි.
ඒත් ඒ ඉගැන්නිල්ලට අපේ ඇග හිරි වැටිලා ගියා.
මොකද එයාලට තවම දුවා ගන්න බැහැනේ.
පැටව් දෙන්නගෙන් එක පැටියෙක් කිරල අම්මා ඉන්න දිහාට දිව්වා.
ඒත අනේ අනිත් පැටියට දුවාගන්න බෑ.
එයා නිදිකුම්බා ගාලක හැංගුනා.
එයාට කටු ඇනෙයි කියලා බයේ අපි එයාව බලන්න ගියා.
කෝ එයා....?
අනේ එයා ඉන්නවා.
ඒත්....?
එයා කිසිම හැල හොල්මනක් නෑ.
අපි හිතුවා එයාගේ ආයුෂ කෙටියි කියලා.
අපි තව ටිකක් එයා දිහා බලන් හිටියා
ඔන්න බොලේ ලස්සන හුරතල් කලූයි සුදුයි පුංචි බලූ පැට්ටෙක් පෙරලි පෙරලි ඒ දිහාවට ආවා.
ඒත් ඉතින් එයා ඉව කරලා බලලා ගියා.
ඔන්න එතකොටම කිරල තාත්තා අහසේ සිට සංඥාවක් දුන්නා.
එකපාරටම, අර මැරිල වගේ හිටපු කිරල පැට්ටා අම්මා ලගට දූවගෙන ගියා.
අපි දෙන්නා ඇස් දෙකේ සතුටු කඳුලූ පුරවාගෙන හිනාවෙවී අපේ ගමන යන්ට පිටත් වුනා.

ගී මනරම් 004

ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
ආදරයේ පිනි කැට පොදි,
සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //

නැගුනු සීත වා රැලී, මියුරු මිහිරි ගොපලු ගී... //
ලිහිනි හඩින් මන්දාරම //
සිරි සිරි ගා සැලුනා, පිනි කැට දිලුනා... //

ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
ආදරයේ පිනි කැට පොදි,
සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //

ලයට තුරුලු පාලුවෙන්, මීදුමින් වෙලා ගොසින්... //
හදෙහි ඇඳී පින්තාරුව, //
බොඳ වෙලා ගොසින්... //

ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
ආදරයේ පිනි කැට පොදි,
සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //

ක්ලැරන්ස් විජයවර්ධන

ගී මනරම් 003

තනි තරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතග නෙතග පැටලි මුවග මුවග ඇළලි
මෙතෙක් දුරක් එක්වී පැමිණියේ තනි තරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා

මහද අරණෙ ලතැවි ලතැවි රුදෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත ඇදිලා සැනසී තනි තරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා


ගායනය - වික්ටර් රත්නායක
ගේය පද - පේ‍්‍රමකීර්තිද අල්විස්

ගී මනරම් 002

ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් එදා සිහිවෙනවා

භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා

ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත්
එක්වි වෙලී සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහි වෙනවා


ටී.එම්. ජයරත්න

ගී මනරම් 001

ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ

සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ

උදාවූ සුපෙම් දම් මුසුන් වී රුඳේවා
මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා



නන්දා මාලිනී

Arumoniyas IPODcarta 1.0

අරුමෝනියස් iපොඩ්කාටා 1.0

ගැමියන්ගේ හෘද සාක්‍ෂිය

බුදු රජුන් ගේ පහළ වීමත් සමඟ ඉන් පසු පහළ වූ බොහෝ සිංහල බෞද්ධ මිනිසුන් ගේ චින්තනය බෞද්ධ ඉගැන්වීම් සමඟ යා විණි. ගල් වඩුවෝ ස්තී‍්‍ර පුරුෂ ප‍්‍රතිමා නෙළීම වෙනුවට සිත දියුණු කළ බුදුරජුන් ගේ ප‍්‍රතිමා ගල් පර්වත මත නෙළුෑහ.

කවියන් තම කවියට බුදුරජුන් යොදා ගත් අතර සිත්තරු තම සිත්තමට බෝසත් සිරිත ම යොදා ගත්තෝ ය. නාඩගම්, නාටකාදිය සඳහා පමණක් නොව පැල් කවියක ජන කවියක පවා බුදු සිරිතෙන් ලද ආස්වාදය දැක ගත හැකි විය.

”බොදුවකු ගලට දකුණත දිගු කළ දාක
බුදුරුව ගලින් බුදුරුව මතුවුණු සේක
පුදුමයි ගලෙන් මෙත් ගලනා තැන මේක
පිදුමට මෙතේ බෝසත් සිටිනා සේක”

ඌව වෙල්ලස්සේ ජීවත් වූ අප‍්‍රකට ජන කවියකු ගේ නිර්මාණයකි. වැල්ලවායේ බුදුරුව ගලේ චමත්කාරය දුටු ගැමි කවියාට තම නෙත සිත වාවා ගත නොහැකි විය.

බුදුරුව ගල මහායාන සම්ප‍්‍රදායට අනුව නෙළන ලද්දකැයි අපි සිතමු. මෛති‍්‍ර බෝසත් පිළිමයක් ගැන කියැවෙන්නේ එහෙයිනි. බොදුනුවකු ශෛලමය පර්වතයකට දකුණත දිගු කළ විගස ඒ ගල් රුව බුදු පිළිමයක් බවට පරිවර්තනය වේ. කවියෝ ඉන් ලද භක්තිය හා ශ‍්‍රද්ධාව කවියට නැගුවෝ ය.
බුදු හිමියන් ගේ දර්ශනය සිංහලයන් ගේ සිත් මුදු කළේ ය. ගලෙන් නෙළුෑ ඇතැම් ප‍්‍රතිමා නිදන් හොරුන් කඩද්දී සිංහල බෞද්ධයෝ මහත් කම්පාවට පත් වූවෝ ය. එකී කම්පාව අසිරිමත් කවියකට නැඟීමට ඔව්හු අතපසු නො කළෝ ය.

සෙල්ලිපි නෙළී බුදු පිළිමය සෙනෙහෙ වඩා
පල් හොරු දැමී එය මොහොතින් බිමට කඩා
නිල්මිණි මාලිගාවක ඇති නමුදු කුඩා
බොල් හිත රළුයි පිළිමය නෙළු ගලට වඩා

බටහිර මිනිසුන් විනෝද ගමන් යද්දී සිංහලයන්ට වන්දනා ගමන් යෑමේ පුරුද්දක් ආයේ බෞද්ධ දර්ශනයත් සමඟ ය. බුදු රජුන් අද වැනි දිනක ලොව පහළ නො වූවා නම්, රට පුරා, ලොව පුරා වන්දනාවේ යන සිරිතක් අපට කොයින් ද? සිංහලයන් වන්දනාවේ ගියා පමණක් නොව එහි දී ඔවුන් වැඳ පුදා ගත් අසිරිමත් බෞද්ධ පුරාවස්තු ජීවමාන බුදුන් සේ සලකන්නට ද ඔව්හු මැළි නො වූවෝ ය.

සාදු හිතට අප ගිය වන්දනාවේ
සාදු පෙර පිනෙන් මෙපමණ සෙනෙහාවේ
සාදු නිවන් යන්නට සැම දෙන පැතුවේ
සාදු බුදුන් වැන්දා යුදඟනාවේ

වෙල්ලස්සේ යුදඟනා සෑය වැන්ද ජන කවියා තමන් නිර්වාණයට යාමට එතැන දී පැතූූ බව සඳහන් කරයි’ ඔව්හු සාදු බුදුන් වැන්දා යුදඟනාවේ යැයි යුදඟනා සෑයට ගෞරවයෙන් සැලකූහ. ඉන්දියාවේ ටජ්මහල බලද්දී ඇති නොවන සෞන්දර්යාත්මක ආගමික සංහිඳියාවක් සිංහලයෝ යුදඟනාව වැඳ ලබා ගත්තෝ ය.

මහියංගණය කොත වැඳලා ගත්තු වරන්
දන්ත ධාතු දළදා කරඬුයෙන් වරන්
සිරීපාද සමනළ අඩවියෙන් වරන්
සිව්පද කියන අප රැක දෙන් සතර වරන්

සිංහලයන් බෞද්ධයන් වූ පසු ඔව්හු ඒ ඒ පූජා බිම්වලින් වරම් ගැනීමට ආශා කළෝ ය. වන්දනාවේ යද්දී පින් පොතක් ලියමින් ඒ ඒ පූජා භූමියට තමන් පූජා කළ මුදල් ද ඔව්හු එහි සටහන් කළෝ ය.

ගෙත්තම්පාණ ඉඳිකටු පූජා කරමු
හැරමිටිපාණ හැරමිටි පූජා කරමු
දොඩම්බැබිල තල අබ පූජා කරමු
සිරිපතුලට රන් මල් පූජා කරමු

ගල් යුගයේ පටන් දඩයම් යුග පසු කරමින් බුදු සමයේ ආලෝකය වැටෙන තෙක් ලක්වැසියෝ තම උදරාර්ථය ගැන පමණක් සිතුවෝ ය. මහින්දාගමනයෙන් බුදු සිරිත දැන ගත් පසු ඔවුන් සිරිපාද කන්ද නැග්ගේ මිථ්‍යා විශ්වාසයන්හි එල්බ ගෙන නො වේ.

දාර්ශනික චින්තකයකු ගේ සිරිපා මග ඔස්සේ සිංහලයෝ ද තම පතුල් තබමින් එහි ගමන් ගත්තෝ ය. සමන් දෙවියා බුදුරජුන් ගේ සිරිපාදයට ආවතේව කරන ආරක්‍ෂක දෙවියකු ලෙස පමණක් ඔව්හු සැලකූූහ. බෞද්ධ ආගමත් සමග සිංහලයා පරිතන්‍ාගශීලී විය.

බෝසතාණෝ සිය ධනය හැර දමා ගිහි ගෙයින් නික්මුණෝ ය. ඒ ආභාසය සිංහලයා ද බෝ කර ගත්තේ ය. සිරිපා ගමන පුරා ම දන් දීම ප‍්‍රධාන ම කටයුත්ත වූයේ එබැවිනි. ඉහත ජන කවියේ එන වන්දනාකරුවෝ තම තමන්ට හැකි ලෙස ඒ ඒ තන්හි විවිධ පූජා සිදු කළේ ඒ ආභාසයෙනි.

මස්කෙළියේ අම්බලමේ සිටින කොට
ඉස්කෙළියේ යන එන්නෝ පෙනුණි මට
ආයෙත් ගොසින් එක නුවරක උපදින්ට
බැරි වුණි මගේ මැණිකේ කැන්දන් එන්ට

බෞද්ධාගමේ ඉගැන්වීම් සිංහලයෝ තම ජීවිතයට සම්බන්ධ කළෝ ය. බෝසතුන් සසර පුරා ඉපදෙමින් මිය යමින් ආවා සේ ම තමන් ද සසර සැරි සරති යි ඔව්හු සිතුවෝ ය. විවාහයේ දී තමන් ගේ බිරිය තමන් ලද ත්‍යාගයකැ යි ඔව්හු සිතුවෝ ය.

ඇය උපන් උපන් ආත්මවල යළි යළිත් ලැබීමට ඔව්හු ආශා කළෝ ය. ඉහත ජනකවියේ සිරිපාදය නැගි ගැමියාට බිරිඳ රැගෙන නොඒම පිළිබඳ ව කම්පාවක් ඇති විය. යසෝදරාව සංසාරය පුරා ම බෝ සතුන් සමඟ පැමිණියා සේ තම බිරිඳත් සසර පුරා ම ලැබේවා යි ඔව්හු ඉත සිතින් පැතුවෝ ය.

මහියංගණේ එක එළියයි බන් නෑනා
ඒ එළියට අපි ඉඳගෙන පොල් ගානා
වේරගංතොටේ ඔරු දෙක යස මානා
එක ඔරුවක ඉපදෙමු රන් කුරු නෑනා

බුදු දහම පැරැණි සිංහලයන් ගේ ජීවිතයේ පෙ‍්‍ර්ම සබඳතාවලට ද ආලෝකයක් සැපයී ය. මහියංගණයේ වන්දනාවේ ගිය යුවළක් බලා සිටියහ. දහවල් වේරගංතොටට ගොස් ඔරු පාරු දෙස බලා සිටියේ ය. සෑය අබියස පන්දම්, විලක්කු ආධාරයෙන් පොල් ගාමින් ඔව්හු උදෑසන අලුත් සහල් මංගල්ලයට සූදානම් වූවෝ ය. මේ දෙදෙනා පෙම්වතුන් වුණත් විවාහ වීමට වරම් ලද්දෝ නොවෙති.

මේ ඔවුන් දෙදෙනා එකට හමුවන අවසාන රාති‍්‍රය යි. රාති‍්‍රයේ ඔවුන් ගයන ජනකවියේ එදා දවසේ සියලු කළ කී දෑ සංකේත ලෙස දැක්වේ. වේරගංතොටේ දෙපසට පා වී ගිය ඔරු දෙක මෙන් තමන් ද දෙපසට පාවී යන බව ඔව්හු දනිති. ලබන ආත්මයේවත් එක ඔරුවක ඉපදෙමු යයි ඔව්හු සෑ රදුන් අබියස ප‍්‍රාර්ථනා කරති.

අද වැනි දිනක බෝසතුන් බුදු නොවූවා නම් මහියංගණය යනු හුදෙක් ප‍්‍රදේශයක් පමණක් වීමට තිබුණි. බුද්ධත්වයේ බලමහිමය මහියංගණයේ සංස්කෘතිය ම විශාල පරිවර්තනයකට යොමු කළේ ය. අටමස්ථාන වන්දනා ගාථාවේ මුලට ම එන්නේ ද මහියංගණය යි.

”මහියංගණං නාගදීපං
කල්‍යාණං පද ලාංඡනං
දිවා ගුහං දීඝවාපි
චේතිංච මුතියංගණං”

ආදි වශයෙන් ආදි වැසියන් විසූ මහියංගණයට සදාචාර, ශීලාචාර සංස්කෘතියක ආලෝකය වැටුණේ ය. මහියංගණයේ ඉදි කළ චෛත්‍යරාජයා ඌවට තිලකයක් ම විය. එය වැඳ පුදා ගැනීම බදුල්ලේ, දුම්බර උඩදුම්බර ආදී මහියංගණය අවට ජනතාව ගේ ඒකායන ප‍්‍රාර්ථනාව විය. එමතු නොව සිංහල බෞද්ධයන් ගේ කවි සිත ද පුබුදුවා ලීමට මහියංගණ වෛත්‍ය රාජයාට හැකි විය.

”කන්ද උඩින් පෑවේ තාරකාවා
නළා හඩින් පිම්බා වැනි සුබාවා
හතර වරම් දෙවියන් කළ සොබාවා
මහියංගණේ වැඳලා යන්ට ආවා”

එක් පසෙකින් උඩදුම්බර හසලක මිනිපේ කඳුවැටියි. ඒ කඳු මතින් මහ සෙනඟ මහියංගණයට ඇදෙති. එම සෙනග ගේ ආගමනය ජන කවියා දුටුවේ කන්ද උඩින් පායන තාරකාවක ආකාරයෙනි. නළා හඩින් සාදු හඩින් මහියංගණයට එන මාවත් ගිගුම් දෙයි.

සෑ රදුන් මිනිස් අතකින් කළා යයි සිතන්නටවත් සිංහල බෞද්ධයාට නො හැකි ය. එය නිර්මාණය කළෝ සතර වරම් දෙවියෝ ය. යට සඳහන් පැදියේ අවසන් පේළියෙන් මහිංයගණයට ඔවුන් ගේ පැමිණීම පිළිබඳ ගැමි සිතේ උපන් ආනන්දය සුන්දර ලෙස සටහන් ව තිබේ.

”ඉර මඬලේ ගිරවෙක් ඉන්නවා දුටිමි
සඳ මඬලේ සාවෙක් ඉන්නවා දුටිමි
මැද මඬලේ සබයක් ඉන්නවා දුටිමි
මහියංගණේ බුදු රැස් වඩිනවා දුටිමි”

ගැමියෝ මහියංගණයේ දී බුදු රැස් දුටුවෝ ය. මහියංගණය වැනි තැනිතලා භූමියක දී දේවතා එළි යැයි ගැමියන් හඳුන්වන ආලෝක කදම්භ බොහෝ විට දැක ගත හැකි ය. මහියංගණ සෑ බිමේ දී ගැමියෝ ඒවා බුදු රැස් යයි සිතුවෝ ය. තර්කයෙන් හා විද්‍යාවෙන් ගැමි සිත දූෂණය වී නො තිබිණි. ගැමියාට මහිංගණයේ දී දුටු බුදු රැස් වර්ණනා කිරීමට උපමා සොයා ගත නොහැකි විය.

ඈත දිදුළන සූර්ය දිව්‍යරාජයා ගේ මුහුණත ඇති ගිරවා ගේ රූපය ගැමියාට සිහි විය. සඳ මඬලේ මුහුණත දිදුළන සාවා ගේ මුහුණ සිහි විය. මැද කඳු රටේ සිංහලේ මහා රාජ සභාවේ ශ‍්‍රී විභූතිය ද සිහි විය. කවියා මහිංගණයේ බුදු රැස් වැඩීම දුටුවේ ඒවාට සමගාමී රූපවලිනි. බුදු රැස් සඳහා යෙදූ කි‍්‍රයාපදය ‘වඩිනවා’ යන බුදුරදුන්ට යෙදූ කි‍්‍රයා පදය ම වීම ද විශේෂයෙන් සලකා බැලිය යුතු ය.

පසු කලෙක රජවරුන් ගේ දුර්වලතාත් විදේශ ආක‍්‍රමණත් රදළයන් ගේ බල තණ්හාව නිසාත් මහියංගණ සෑ රදුන්ට නරක කාලයක් උදා විය.
මහියංගණයේ අසිරිමත් රන් කොත කඩා වැටුණි. ඌව වෙල්ලස්ස කම්පා විය. ගැමි කවියෝ ඉන් මහත් කම්පාවට පත් වූවෝ ය.

ඉරේ ඉන්න ගිරවා විලසේ වෙවුලා
සඳේ ඉන්න සාවා විලසේ වෙවුලා
මලේ ඉන්න බඹරා විලසේ වෙවුලා
මහිංයගණේ රන්කොත කැඩුණා වෙවුලා

අසිරිමත් චෛත්‍ය රාජයා ගේ කොත් වහන්සේ කඩා වැටීමට ගැමියා උපමා සොයා ගත්තේ්ද ඉරෙන් හඳෙන් හා මලෙනි. ඇදහිය නොහැකි සිදු විය නොහැකි සිද්ධියක් ලෙස මේ පත් විපත ගැමියා දැක තිබේ.
බෞද්ධ ඉගැන්වීම් හා බෞද්ධ ආකල්ප සිංහල ගැමි වහර ද පෝෂණය කළේ ය.

වනේ ගිජිඳ්‍රය දුටුවොත් වනසාය
ළිඳේ පණිඳ්‍රය වැටුණොත් ඌ කාය
අතකින් කරවැලෙක අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය

මේ කවියේ දිසි අරුත එකකි. වැසි අරුත අනෙකකි. බැලූ බැල්මට පෙනෙන්නේ කැලයේ අලියකුට බයේ දිවූ මිනිසකු ළිඳකට වැටෙද්දී කටු අත්තක එල්ලුණු බව ය. ළිඳ පතුලේ සර්පයෙකි.

මරණ තුනක් පෙනෙද්දීත් මේ මිනිසා දඬුවැල් බෑයකින් පැණි කමින් සිටී. එහෙත් වැසි අරුත එය නො වේ. සත්වයා තමන් ගේ වර්තමානය අතීතය හා අනාගතය නොදැන කාමසුඛල්ලිකානුයෝගීව ජීවත් වේ. අතීතය නම් වනේ ගිජිඳ්‍ර ය. මරණය අලියකු ගේ් වේශයෙන් සත්වයා ලුහුබඳී. අතකින් කරවැලක එල්ලී මී පැණි වළඳන මිනිසා ගේ වර්තමාන භවය යි.

කොයි මොහොතේ් කටුවැල අතහැරී ළිඳට වැටී මිය යා දැ යි ඔහු නො දනී. ඒ බව නොසිතමින් හෙතෙම මී පැණි වළඳයි. ඔහු ගේ ඊළඟ භවය ළිඳ යි. ඒ තුළ ද දැනටමත් මරණයේ සර්පයා ඔහු එන තෙක් බලා සිටී. බුදු දහමේ සාරය ධම්මපදයේ ලියැවී තිබේ. සිංහල ජන කවියා ද බුදු දහමේ ආභාසයෙන් නව ජන කවියක නව ධම්මපදයක් ලියුවේ ය.

කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල් වරා නොවෙද කිරිවැද පැසෙන්නේ
සෙනසුරා නොවෙද වැහි පල නොදුන්නේ
ලොවුතුරා බුදුන් කවදද දකින්නේ

ගොවියෝ වර්ෂා කාලය නියං කාලය පිළිබඳව තතු සොයා ගොවිතැන් ආරම්භ කරති. එසේ කළ විට මල් වරා කිරිවැද පැසෙන්නට පටන් ගනී. ලිත බලා කාලය අනුව ගොයම් කළ ඉක්බිති නියං සමය ඒ නම් ඒ සෙනසුරා ගේ කි‍්‍රයාවකි.

හැම දේකට ම නිසි හේතුවක් ගැමියාට තිබේ. කල් බලා ගොවිතැන් කළ පසු සෙනසුරා වැහි පල දීමෙන් ගොයම විනාශ වේ. ගැමියාට ඒ පිළිබඳ ව දුක සිතෙන්නේ තමන්ටත් දරුවන්ටත් කුසගින්නේ සිටින්නට වන නිසා නොවේ. අස්වැන්න නො ලැබූ පසු ලොවුතුරා බුදුන් දකින්නට වන්දනාවේ යා නො හැකි ය.

අලුත් සහල් මංගල්ලය පැවැත්විය නො හැකි ය. ගැමියන් අස්වැන්න කපා පාගා ගත් පසු වන්දනාවේ යාම චාරිත‍්‍රයකි. බුදු සමය මෙරට පැතිරීමත් සමඟ ආහාර දෙවන තැනට වැටී සදාචාරය පළමු තැනට ආවේ ය. මේ සඳහා හොඳ ම සාධකය නුවරඑළියේ එළවළු වගාව යි. වී ගොවිතැනින් සිංහලයා නෙළා ගත් සංස්කෘතිය අල ගොවියෝ අලවලින් නෙළා නො ගත්තෝ ය.
නුවරඑළියේ ගොවියෝ එළවළු ගොවිපළේ දී ම මුදල් බවට පත් කරති. අලුත් අල මංගල්ල, අලුත් ගෝවා මංගල්ල, ඔවුන්ට නැත.
බෞද්ධ දර්ශනය සිංහල ගැමි බෞද්ධයා ගේ සිතුම් පැතුම් සියල්ල නො පිට පෙරළුවේ ය.

බුදු රජුන් දේශනා කළ කාරණා ද ගැමියෝ ස්වකීය සිතුවිලි අනුව සකසා ගත්තෝ ය. බුදු දහම අනුව තිරිසන් සත්තු නිවනට නොයති. උන් වෙනුවෙන් පාංශුකූල දානය දීමේ සම්ප‍්‍රදායක් ද බෞද්ධ ආකල්පවලට ඉඳුරා ම පටහැනි ය. එහෙත් ගැමි බෞද්ධයා බුද්ධාගම තේරුම් ගත්තේ තමන්ට වැටහෙන ආකාරයෙනි.

අනේ මගේ කිකිළී කොයි ගියාදෝ
ඇහිඳ කකා ගම මැද්දේ ගියාදෝ
රෑට ඇවිත් කජු අත්තේ ලගීදෝ
කැලණි ගඟේ පාවී පණ ගියාදෝ

කොක් කොක් ගගා මගෙ දොරකඩට එන ලියේ
රාගන් කිය කියා බිත්තර දමන ලියේ
රිදී පනම් ගෙට උපයා දුන්න ලියේ
අමා මහ නිවන් දැකපන්න කිකිළියේ

කිකිළිය යනු වර්තමාන බ්‍රොයිලර්ස් සංස්කෘතියේ කිසි වැදගත්කමක් නැති ආපෝ, තේජෝ, වායෝ, පඨවි ධාතුවෙන් සැදි ප‍්‍රපංචයක් පමණකි. ඌ ගේ කිසිදු සංවේදී භාවයක් වර්තමානිකයෝ නො දකිති. එහෙත් බෞද්ධ සංස්කෘතිය ඊට වඩා සංවේදී මනසක් අපට උරුම කොට දී තිබුණි.

ඉහත පදයේ ගැමියා නැති වූ කිකිළියට වැලපේ. කිකිළිය බිජු දමමින් ආර්ථිකය සවිමත් කළ හැටි ගැමියා සිහිපත් කරයි. බුදු දහම තමන්ට ගැළපෙන සේ කපා කොට ගන්නා ගැමියා තමන්ට උදව් කළ කිකිළියට අමා මහ නිර්වාණය ප‍්‍රාර්ථනා කරයි.

මං බාලේ ඇති කළ තලගොයි පැටියා
මගෙ තනිවට මිදුලේ කෙළ කෙළ සිටියා
උගෙ මරුවා ඌ ඇවිදින් අරන් ගියා
නිවන් පුරේ පලයන් තලගොයි පැටියා

තලගොයා යනු කිකිළිය මෙන් කිසිදු ආර්ථික ප‍්‍රයෝජනයක් ඇති සතෙක් නො වේ. ඌ ගැමියා සමඟ ළමා වියේ දී සෙල්ලම් කර තිබේ. ඌ මිය ගිය ඉක්බිති තලගොයාට නිර්වාණය පතන්නට තරම් ගැමියා එඩිතර වේ.

මොනරාගල බුත්තල ප‍්‍රදේශයේ ජනකවි එකතු කිරීමක යෙදුණු නෝමන් සිරිපාල මහතාට අපූරු ජන කවි කිහිපයක් හමු ව තිබේ. බැද්ද වැඳීම නම් මේ අපූරු කවි එකතුව බුදු දහම මිනිස් සිතට කරන ලද ආශ්චර්යවත් බලපෑම හෙළි කරන ප‍්‍රබල සාක්‍ෂියකි.

ලකුණු බලා බුදු වෙන්නට වැඩිය වරේ
අකුණු හඩින් වසවතු ඇවිත් යුද කෙරේ
මකුළු දැලක් දා අලුවෙන කල අතරේ
කකුසඳ මුනි අණින් වැන්දෙමි වනන්තරේ

සාරා අසංකය පෙරුවත් පුරපු වරේ
සව්සත ගොඩ ගන්න වීරිය කරපු වරේ
මව්සඳ පඩි ව අප මුනිසඳ උපන් වරේ
ගෞතම මුනි අණින් වැන්දෙමි වනන්තරේ
(බුත්තල ජන කවි - නෝමන් සිරිපාල 29)

මේ කවි පෙළ නෝමන් සිිරිපාල මහතාට ලබා දී තිබුණේ බුත්තල වගුරුවෙල ආර්. ජී. නෙතා මහතා ගේ පුත‍්‍ර ආර්. ජී. බබානිස් මහතා ය. තම පියාට අයත් පුස්කොළ පොතක මේ අසිරිමත් කවි කිහිපය සටහන් ව තිබූ බව ඒ මහතා කියා තිබේ.

වනයේ ඇවිද විඩාවට පත් වූ ඉක්බිති මේ කවි කීමෙන් තමන්ට මහත් වූ ආරක්‍ෂාවක් ලැබේ යයි වෙල්ලස්සේ ගැමියන් අතර විශ්වාසයක් තිබී ඇත.
මේ පද්‍යයන්හි විශේෂත්වය නම් බැද්දට වන්දනා කිරීම යි.

වනාන්තරයට වන්දනා කිරීම යනු එය ආරක්‍ෂා කිරීම යි. කැලය දකින විට ම මුදල් මතක් වන සංස්කෘතියකට අද අප මාරු වී සිටියත් බුද්ධ උත්පත්තිය එක් කලෙක සිංහලයන් ඉතා සංවේදී ජාතියක් ව සිටි බවට මේ කදිම සාක්‍ෂියකි.

Testing 1-2-3-4


ගිත දර්ශකය
පරීක්‍ෂණ මට්ටමේ පවතින බව, කරුණාවෙන් සලකන්න
.

අරුමය ඕඩියෝ පරීක්‍ෂණය

ගල්ලෑල්ල

වෙසක් සිරි අරුමයක්මැයි

උදාවූ වෙසක් සඳේ සඳ කිරණින් ලොව ගණඳුරු දුරු වෙත්වා

වෙසක් 2009

සම්මා සම්බුදු සරණයි

ආයු රක්ඛන්තු ආවඩා

දැයට කිරුළ 2009

මේ අපි දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී ගත්තු ජායාරූප කිහිපයක්...
කල් ගියාට කමක් නෑ පරන උනාමත් සමහර දේවල් අගය වැඩිවෙනවනේ