Showing posts with label කලාකරුවෝ. Show all posts
Showing posts with label කලාකරුවෝ. Show all posts

ආපසු හැරෙන්න බැහැ රාජිත

2009 රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මාන 6ක් දිනා ගැනීමට රාජිත දිසානායකගේ ආපසු හරෙන්න බැහැ වේදිකා නාට්‍ය සමත්විය. එහිදී හොදම නාට්‍ය, හොදම අධ්‍යක්ෂණය (රාජිත දිසානායක),‍ හොදම නළුවා (සෞම්‍ය ලියනගේ), හොදම සහය නිලිය(ජයනී සේනානායක), හොදම පිටපත දෙවන ස්ථානය, හොදම වේදිකා පරිපාලනය(මලිත් පීරිස්-බන්දුල හේවගේ) යන සම්මාන එම නාට්‍යයට හිමි විය.
මීට අමතරව හොදම නිලිය සම්මානය කේ.බී. හේරත්ගේ ජගන්මා වේදිකා නාට්‍යයේ මාදනී මල්වත්තද, හොදම සහය නළුවා සම්මානය අහිංසකයන්ගේ ආරාමය වේදිකා නාට්‍යයේ ජෙහාන් ශ්‍රී කාන්තද හිමිකර ගත්හ.
50 වැනි වරට පැවැති මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය සදහා චාමික හත්ලහවත්තගේ හරි අපූරු දවසක්(ආරාධිත), සංජීව උපේන්ද්‍රගේ අහිංසකයින්ගේ ආරාමය, සහන් රන්වලගේ සහන් රන්වල අසයි වෙලාව කීයද?, කේ.බී.හේරත්ගේ ජගන්මා, රාජිත දිසානායකගේ ආපසු හැරෙන්න බැහැ, සුනිල් චන්ද්‍රසිරිගේ සිහිනවලට පාට දෙන්න, කේ. මෝහන් කුමාර්ගේ මුට්ටෙ, කේ. සෙල්වරාජ්ගේ ආල් කඩලිල් ඔරු සප්තම් යන නාට්‍ය තේරීපත් විය.

නාට්‍යවේදී රාජිත දිසානායක

1994 වසරේ ‘සක්වාදාවල’ ඔස්සේ නාට්‍යකරණයට ප‍්‍රවිෂ්ට වූ රාජිත දිසානායක නාට්‍ය කලාව සුපෝෂණය කළ නව පරපුරේ නාට්‍යවේදීන් අල්ප දෙනාගෙන් ප‍්‍රමුඛයෙකි.

1999 – 2009 දශකයෙහි ඔහු නිර්මාණය කළ ‘මට වෙඩි තියන් නැද්ද’, ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරං’, ‘ආපහු හැරෙන්න බෑ’ යන නාට්‍ය ඇතුළත් උළෙලක් ජූලි 23 සිට 26 වැනිදා දක්වා පස්වරු 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.

මේ නාට්‍ය සියල්ලෙන් ම සමකාලීන ලාංකේය සමාජය චිත‍්‍රණය කෙරේ. ස්වකීය දශකයක නිර්මාණ සංහිතාව මෙලෙස පෙළ ගැස්වීමට රාජිත උත්සුක වූයේ මන්ද?

”මේ සඳහා බලපෑ කාරණා කිහිපයක් තිබෙනවා. මෙබඳු උළෙලවල් සංවිධානය කිරීම හරහා අප නියැළී සිටින රංග කලාව වෙත ජනතාවගේ අවධානය යොමු කරවා ගැනීම එකක්. දෙවැන්න පසුගිය දශකයේ මගේ නිර්මාණ වැඩි පෙ‍්‍ර්ක්ෂක පිරිසක් වෙතට ගෙන යෑමට මේ ඔස්සේ හැකිවීමයි.

පසුගිය කාලයේ අපගේ නිර්මාණ නැරඹූ, ඒවාට ඇලුම් කළ පෙ‍්‍ර්ක්ෂක පිරිසක් වගේම නොබැලූ පිරිසකුත් ඉන්නවා. මොවුන් සමඟ යළිත් මේ නිර්මාණ දෙස ආපසු හැරී බැලීම මෙහි අරමුණක්. අනෙක ඉතා කැපවීමෙන් රංග කලාවේ නියැළෙන නළු නිළි ශිල්පීන් පිරිසක් මා සමඟ එකතු වී සිටිනවා.

ඒ අයගේ දායකත්වය ඇගැයුමට ලක් කිරීමත් මගේ එක් පරමාර්ථයක්. පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහන මිලකට මේ නාට්‍ය පෙළ නැරඹීමට අවස්ථාව ලබා දෙමින් ඔවුන්ගේ සහභාගීත්වය වැඩියෙන් ලබා ගැනීමට අප උත්සහ කළා. අනෙක සියලු නාට්‍ය නැරඹීමට අවශ්‍ය පෙ‍්‍ර්ක්ෂකයන්ටත් ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීමේදී අපි සහනයක් ලබා දෙනවා. දැනට අපි සාකච්ඡා කරමින් සිටිනවා කොළඹින් පිට ප‍්‍රාදේශීය මට්ටමට මේ නාට්‍ය උළෙල රැගෙන යෑමට.”

නූතන පරපුරේ බොහෝ නාට්‍යවේදින් පරිවර්තන නාට්‍ය කෙරෙහි වඩාත් නැඹුරු වූ බැව් පෙනෙනවා. ඔවුන් ලාංකේය සමාජ ප‍්‍රශ්න වෙත බැල්ම හෙළුවේ විදෙස් නාට්‍ය කෘති ඇසුරින්. ඔබ මෙරට සමාජය කියැවූයේ ස්වතන්ත‍්‍ර නිර්මාණ ඔස්සෙයි. මෙය ඔබේ නාට්‍ය භාවිතාවේ වෙසෙස් ලකුණක් සේ මා දකිනවා.

ඊට හේතුව මෙසේ කිව හැකියි. පාසල් වියේ එනම් 1988, 1989 කාල වකවානුවේ මා අත්විඳි අත්දැකීම් පාසල් වේදිකාව හරහා පළ කරන්න මට අවශ්‍ය වුණා. අපේ යාළු මිත‍්‍ර සමූහය ඇතුළත රචනා කාර්යය පැවරුණේ මටයි. අප අවට සිදුවන දේ දැකීමට, සිතීමට හැඟීම් පළ කිරීමට තිබෙන හොඳම මාධ්‍යය නාට්‍යය ලෙස මෙහිදී මට වැටහුණා. අඛණ්ඩ ව මා නාට්‍ය රචනයෙහි යෙදෙමින් අභ්‍යාස කළා.

මේ නාට්‍ය උළෙලේ නාට්‍ය හතර ගෙන බැලුවත්, කිසියම් විදිහකට පසුගිය දස වසර තුළ සමකාලීන ජීවිතය, සමාජය තුළ සිදුවන විපර්යාස, මානව සබඳතාවල වෙනස්කම් වෙත කැඩපතක් ඇල්ලීමයි මෙමඟින් සිදු වී තිබෙන්නෙ. ඒ නිසාම මේ නාට්‍ය රචනාවල ස්වරූපය සෙසු බොහෝ නාට්‍යවලට වඩා වෙනස් වුණා. ඇතැමුන්ට මෙහි අලුත් බවක් පෙනෙන්නට ඇත්තේ ඒ නිසා විය හැකියි.

සමාජය දෙස බැලීමෙන් මා තුළ ඇතිවන හැඟීම්, ආවේගයන්, විරෝධයන් මට පළ කිරීමට, අත්දැකීම් හුවමාරු කර ගැනීමට තිබෙන මාධ්‍යයක් ලෙස මා නාට්‍ය රචනා කළා. මුල් යුගයේ මේ රචනා ඇතැම් අයගේ විරෝධතාවන්ට, විවිධ ගැරහුම්වලට පවා ලක්වුණා. තවමත් සමහර නාට්‍ය ඔවුන් කැමැත්තකින් පිළිගන්න සූදානම් නැහැ.”

ඔබ නාට්‍යකරණයට පිවිසියේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසයි.

”කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ අපි මුලින්ම ඉදිරිපත් කළ නාට්‍යය ‘සක්වාදාවල’ (1994) යි. ඉන්පසු ‘හංසයින්ටත් මං ආසයි’ (1996) නාට්‍යය නිර්මාණය කළා. ලියනගේ අමරකීර්ති, පියල් කාරියවසම් ආදින් මට සමකාලීනව කොළඹ සරසවියේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන්. සෞම්‍ය ලියනගේ කැලණිය විශ්විද්‍යාලයේ වුණත් වැඩි කාලයක් ගත කළේ අපත් සමඟයි. මගේ නාට්‍යවලට මුල් වකවානුවේ සිටම ඇලුම් කළ, සමීපව විඳපු පෙ‍්‍ර්ක්ෂක සමූහයක් සිටියා.

මොවුන් නිරන්තරයෙන් වැඩි දියුණු වුණා. නිදර්ශනයක් ලෙස මගේ “වීරයා මැරිලා” නාට්‍යය අපි දර්ශනවාර 100 ඉක්මවූවා. එමෙන්ම “සිහින හොරු අරන්” නාට්‍යය දර්ශන වාර 60 කට වඩා අපි පෙන්නුවා. ලංකාවේ ප‍්‍රාදේශීය මට්ටමෙන් වගේම ඉන්දියාවේ භාරත් රංග මහෝත්සවයෙත් අපි මෙය වේදිකා ගත කළා. ඊට අමතරව යුරෝපයේ රටවල් පහක ලාංකික පෙ‍්‍ර්ක්ෂකයන් උදෙසා මෙය පෙන්විය හැකි වුණා.

‘ආපහු හැරෙන්න බැහැ’ නාට්‍යයටත් දර්ශන වාර 50 ඉක්මවන්නට අවස්ථාව ලැබී තිබෙනවා. පෙ‍්‍ර්ක්ෂකයා නාට්‍ය කලාවෙන් ඈත් වූ සමයක අපේ නාට්‍ය වෙතට කිසියම් පෙ‍්‍ර්ක්ෂකාගාරයක් ඇති කර ගැනීමට අපි සමත් වුණා. ඒ විශ්වාසයත් සමඟ තමයි පෙර අප කළ නාට්‍ය යළිත් මෙලෙස රංග ගත කරන්නේ”

ඔබේ බොහෝ නාට්‍ය නිර්මාණවලට පාදක වූයේ සමාජ, දේශපාලන තේමාවන්. ඒවා නරඹන විට ප්ලෙකනෙව්, ලුනචර්ස්කි, ජෝර්ජ් ලුකාෂ් වැනි විචාරකයන්ගේ සමාජීය සාහිත්යික මතවාද මට සිහිපත් වෙනවා. පෙර පරපුරේ ඔබට ආභාසයක් වූ නාට්‍යවේදින් ගැන පැවසුවොත්?

”කුඩා කාලයේ සිට ම නාට්‍ය නැරඹීමේ පුරුද්ද මට තිබුණා. මගේ පියා මාව නාට්‍ය බලන්න එක්ක ගියා. මට ආභාසයක් වූ ප‍්‍රමුඛතම නාට්‍යවේදියා ධර්මසිරි බණ්ඩාරනායක. එමෙන්ම මා වඩාත් පි‍්‍රය කළ නාට්‍ය ලෙස සයිමන් නවගත්තේගමගේ ‘සුභ සහ යස’ හා පරාක‍්‍රම නිරිඇල්ලගේ ‘උත්තමාවි’ හඳුන්වන්න පුළුවන්. සමාජ, දේශපාලන තේමා රැගත් නාට්‍යවලට මගේ හිත ඇදී ගියා. කොහොමටත් අපේ සියලු නාට්‍යකරුවන්ගේ නාට්‍ය නැරඹීම මගේ පුරුද්දක්.”

අද්‍යතන නාට්‍යවේදියාගේ සමාජ මෙහෙවර පිළිබඳ ඔබේ අර්ථකථනය කෙසේද?

”මූලික වශයෙන් කලාව වැඩි වශයෙන් කතා කරන්නේ දේශපාලනික අරමුණු සමඟයි. නාට්‍ය රචකයාට ඉන් මිදෙන්න බැහැ.

ඒ වගේම ඔවුන්ට වින්දනාත්මක මෙහෙවරක් සඳහා මැදිහත් වීමටත් වගකීමක් තියෙනවා. අපි විශේෂයෙන් නාට්‍ය ඔස්සේ ඇති කළ යුත්තේ වින්දනාත්මක සිතීමක් සඳහා පෙලැඹවීමක්. මේ රසවින්දනාත්මක අත්දැකීම හරහා තමා පිළිබඳ ව තමා ජීවත්වන සමාජය, වටපිටාව පිළිබඳ හැඟිමක් ඇති කරවීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. තමන් කවුද යනු මිනිසුන්ට දැන ගැනීමට ලැබෙන කැඩපත තමයි කලාව. මානව සබඳතා සේම අන් අයගේ වේදනාවන් දැන ගැනීමට උදව්වෙන්නේ මේ කලා මාධ්‍යයන්. මේ ඇසුරේ අඩුව තමයි සමාජයේ බොහෝවිට අපට දකින්න ලැබෙන්නෙ.

88, 89 අවධිවල අපට ඇතිවූ මරණ භය, ජීවත්වීමේ ආශාව පිළිබඳ හැඟීම, එවැනි අඳුරු කාලවලවලදී අපට දැනුණු වේදනාව ප‍්‍රකාශ කරන්න නාට්‍ය කලාව ඉවහල් වුණා. 1994 වන විට අප තුළ තිබූ අපේක්ෂා බිඳ වැටීමේ ශෝකය පළ කරන්න අප මේ මාධ්‍යය යොදා ගත්තා. තවත් පැත්තකින් නූතන ජනමාධ්‍ය මිනිස් සිතුම් පැතුම් හැසිරවීමට පටන් ගැනීමත් සමඟ අප මුහුණ පෑ අත්දැකීම් අන්‍යයන් සමඟ බෙදා ගැනීමටත් නාට්‍ය කලාව ඉවහල් වුණා.”

පසුගිය දශක කිහිපයේ සිදුවූ සමාජ විපරිණාමය නාට්‍ය කලාවේ ප‍්‍රගමනයට වඩාත් අහිතකර ලෙස බලපෑවා. මේ අනුව ඔබ ඇතුළු තරුණ නාට්‍යකරුවන් අල්පදෙනෙක් මේ ක්ෂේත‍්‍රයේ ස්ථාවර වීම මා දකින්නේ දැඩි අරගලයක ප‍්‍රතිඵලයක් ලෙසයි.

”ඔබ කී අවධියේ පෙ‍්‍ර්ක්ෂකයන් රඟහල අත්හරිමින් සිටියා. වියතුන්, විචාරකයන් හා ජනමාධ්‍ය නාට්‍ය කලාව අත්හැරියා. මේ නිසා අපගේ කෘතිවලට හිමි විය යුතු අවධානය ලැබුණේ නැහැ. ඒ පිළිබඳ අපට වේදනාවක් නැහැ. මන්ද යම් පිරිසක් අප සමඟ අත්වැල් බැඳගෙන සිටියා. හුදෙකලා නොවීමේ පී‍්‍රතිය අපට තිබෙනවා. විශාල පරිමාණයෙන් සමාජය භාර නොගත්තත් අපට සමීප වූ පිරිස ප‍්‍රමාණවත්.

දශක දෙකක් අපි කි‍්‍රයාකාරීව නාට්‍යකරණයේ නියැළුණේ කොහොමද? යන ප‍්‍රශ්නය මා මගෙන් ම ඇසුවොත් පිළිතුර තමයි මා සමඟ එකතු වූ ශිල්පීන්ගේ හයිය. අනුග‍්‍රාහකයන් මට සිටියේ නැහැ. කවදත් හොඳ කලා කෘතීන් වැළඳගත් පෙ‍්‍ර්ක්ෂකාගාරය විශාල නැහැ. නමුත් මේ පෙ‍්‍ර්ක්ෂකාගාරය වඩාත් වර්ධනය කර ගැනීමට අපි උත්සාහ කළ යුතුයි. මිනිසුන්ගේ රසවින්දනය, දැනුම, අධ්‍යාපනය, සෞඛ්‍ය පිළිබඳ දැනුම, සංස්කෘතික දැනුම වර්ධනය කිරීමට ජනමාධ්‍ය මඟින් ඉටු විය යුතු කාර්ය භාරය ගිලිහී ගොස් තිබෙනවා.

මේ නිසා ජනමාධ්‍ය තමන්ගෙන් ඉටු විය යුතු සමාජ මෙහෙවර යළි සිතා බැලීම වටිනවා. මෙරට උසස් සාහිත්‍යයට කලාවට මුල් තැන ලැබෙන ජනමාධ්‍ය සංස්කෘතියක් අවශ්‍යයි. සංස්කෘතික ජීවිතයක් පිළිබඳ අපේ සමාජයට තවමත් අවබෝධයක් නැහැ. හොඳ පොතක් නොකියවීම, උසස් නාට්‍යයක් නොබැලීම වටිනා කමක් ලෙස සලකන සමාජයකයි අපි මේ නාට්‍ය කරන්නෙ.

අද මිනිසුන් බහුල ව සමාජ විරෝධයන් පළ කරන්න ශාරීරික ප‍්‍රචණ්ඩත්වය යොදා ගන්නේ ඇයි? උසස් කලා නිර්මාණ සාහිත්‍ය ඇසුරු නොකළ නිසයි. කලා මාධ්‍යයෙන් භාව විශෝධනය සඳහා ඉඩකඩ හදනවා. කෙනෙක් තව කෙනෙකුට පහර දෙන විට මොන තරම් අජූවද? කියා පෙන්වා දෙන කැඩපතක් ලැබෙනවා කලාව ඇතුළෙදි. අනෙකාගේ වේදනාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. කලාව පරිශීලනය කරන අය සාන්තුවරයන් කියා මා කියන්නෙ නැහැ. නමුත් කිසියම් ආත්ම සංයමයක් කලාව ඇසුරු කරන්නන් තුළ තිබෙනවා.”



තිස්ස අබේසේකර (1939 – 2009) යනු බහු විධ කලා ප‍්‍රතිභා සපිරුණු සිනමා ප‍්‍රාඥයෙකි. එදා මෙදා ලාංකේය සිනමාවේ බිහි වූ උසස් අධ්‍යක්ෂවරුන් අල්ප දෙනාගෙන් ඔහු එක් අයෙකි. ප‍්‍රශස්ත ගණයේ තිර නාටක රචනයෙන් අබේසේකරයන් අබිබවා යා හැකි වූයෙක් එදා මෙන් අදත් මෙරට පහළ වී නොමැත.

තිස්ස දේශීය සිනමා මන්දාකිනියට සම්ප‍්‍රාප්ත වූයේ ජාත්‍යන්තර ඇගැයුම් ලැබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගම්පෙරළිය” චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්ෂ හා දෙබස් රචකයා ලෙසිනි. ඉක්බිති උසස් තිර රචනා විරල දේශීය සිනමා “වැලි කතර” ට තිස්ස අග‍්‍රගණ්‍ය “නිධානය” ක් මැ විය.

සිනමාව නුමුහුන් කලාවක් නොවන බවත් එය සාහිත්‍යාදි අවසෙස් නානා විධ කලා පයුරුපාසනයෙන් ප‍්‍රාරබ්ධ සංස්ලේශී (Synthetic) උත්තම කලාවක් බැව් “කරුමක්කාරයෝ” (1980), “මහගෙදර” (1982), “විරාගය” (1987) ඈ ස්වකීය නිර්මාණ ති‍්‍රත්වයෙන් අබේසේකරයෝ පෙන්වා දුන්හ.

සිංහල – ඉංගී‍්‍රසි ද්විභාෂා අතැඹුලක් සේ ප‍්‍රගුණ කොට එමඟින් ව්‍යක්ත ලේඛනයෙහි ද චතුර සංකථනයෙහි ද එක ලෙස නියැළිය හැකි කලාකරුවෝ දුලබ වෙති. තිස්ස එවන් විරල ගණයේ කලා ඇදුරුතුමෙකි.

ස්වකීය පෞරුෂත්වය තීව‍්‍ර කළ ගැඹුරු ස්වරයකට උරුමකම් කී තිස්ස තමාටම ආවේණික කථන ශෛලියක් ගොඩනඟා ගත්තෙකි. එම කථන විලාසය අනුකරණය කිරීමට වෙරදැරූ සන්නිවේදකයෝ අප අතර හිඟ නොවෙති.

ආතර් යූ. අමරසේනයන් ගේ ‘විසිතුර’ පුවත්පත ඔස්සේ සිනමා විචාරයට ප‍්‍රවිෂ්ට වූ තිස්ස, සිනමා මාධ්‍යයට ආවේණික විචාර මිනුම් දඬු සොයා ගිය පුරෝගාමී විචාරකයන් අල්පයෙන් ද කෙනෙකි. එසේම හේ පෙර අපරදෙදිග කලා න්‍යායන් යා කළ දාර්ශනිකයෙකි.

උසස් අධ්‍යාපනය ලබනු පිණිස මෙරට කිසිදු විශ්ව විද්‍යාලයකට පා නොතැබූ තිස්ස, පොත පත නමැති සරසවියෙන් හා ජීවිත උගැන්මෙන් පරිචයත්, බහුශ‍්‍රැත භාවයත් ලත් ස්වාධ්‍යායෙන් හෙබි උගතෙකි.

කොළඹ සරසවියේ සාහිත්‍ය සූචී (D.Lit) උපාධිය ඔහුට ගෞරවයක් ගෙන ඒමට වඩා ඊට ඔහුගෙන් ගෞරවයක් ලැබිණි.

තිස්ස ස්වකීය ජීවිතයේ ආරම්භක සමයේ උසස් ගණයේ ලේඛකයකු වීමේ ප‍්‍රණීධානයෙන් මඩනා ලද්දෙකි. එහෙත් සිනමා කලාවට ඒ ප‍්‍රතිභාව කැප වූයෙන් ඒ උත්තම ගණයේ සාහිත්‍යකරුවා අපට අහිමි විය.

සිංහල බසෙහි රස රිසියෙන් හේ පාඨකයා ඔකඳ කළ අපූරුව ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඔහුගේ ”Bringing Tony home” කෘතිය (ග්‍රේෂන් සම්මාන ලැබූ) කියවූ කල මා හට දැනුණේ සොම්නසක් නොව දොම්නසකි.

මන්ද තිස්ස අඛණ්ඩව ඉංගි‍්‍රසි බසෙන් සාහිත්‍යකරණයෙහි නියැළිණි නම් ඔහු බුකර් සම්මානයකට පවා උරුමකම් කිව හැකි, ජාත්‍යන්තර තලයට පිවිසිය හැකි, ලාංකික ලේඛකයකු බව මට පෙනී ගිය හෙයිනි. තිස්සගේ මහා ප‍්‍රතිභාව අපතේ ගියා දැයි මට වරෙක සිතේ.

ඔහුට නිවන් සුව පතනවාද? නැතිනම් මේ ප‍්‍රතිභාව සමඟම යළිත් ලංකාවේ උපදින්නට වරම් ලැබේවා යැයි සිතනවාද? මේ වූ කලි තවමත් ඔහුගේ සමුගැන්මෙන් පසු මා හට විසඳ්‍ර ගත නොහැකි වූ උභතෝකෝටියකි. මම රාති‍්‍රයේ කවුළු පියන්පත් හැර සෞම්‍ය සඳ එළියෙන් බබළන අහස් කුස දෙස බලමි.

එකල්හී තිස්ස අබේසේකරයන්ගේ පන්හිඳෙන් ලියැවුණු මාලිනී බුලත්සිංහල ගැයූ සුමධුර ගීතයක් සීතල මඳ පවනත් සමඟ මා සවනත වැකේ.

”සඳ මෝරා උඩු ගුවනට
එන කලට
ඔබේ මුහුණ පෙනෙනවා
කවුළු දොරින් මට”

නුවන් නයනජිත් කුමාර

වැලිකතරින් රටට ලැබුණු නිධානය

ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ

ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ වියෝවෙන් මෙරට චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට සිදුවූ අලාභය පිරවිය නොහැකි හිඩැසකි. මේ අඩුපාඩුව හමුවේ මා ප‍්‍රධාන වශයෙන් බද්ධ වන්නේ අප දෙදෙනා ම අලුම්කළ විෂය සිනමාව වීම හේතුවෙනි.

1966 දී පමණ චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ කටයුතු කරගෙන යන වකවානුවේ මට තිස්ස මුණගැසුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා එවකට පදිංචි වී සිටි දෙහිවල නිවසේදී ය. විශ්ව විද්‍යාලයෙන් පිටවුණු මම කේ.ඇල්. ද සිල්වා අධ්‍යක්ෂණය කරන ලද “නියද රටා” වාර්තා චිත‍්‍රපටයේ කැමරාකරණයට දායක වීමි. එහි සංස්කරණය උරගෑමට හා ප‍්‍රදර්ශනය කිරීමට ලෙස්ටර් ඇඳුරුතුමාට තිස්සත් එක්වී සිටි බව අද මෙන් මා හට මතක ය.

ඒ චිත‍්‍රපටය නැරැඹීමෙන් පසු තිස්ස හා මා අතර ඇතිවූ මිතුදම කිට්ටු ආශ‍්‍රයකට පෙරළිණි. එවකට ආචාර්ය පීරිස් මැතිතුමාගේ “සහාය අධ්‍යක්ෂක” ලෙසත්, “අමතර දෙබස් රචක” ලෙසත් ඔහු කටයුතු කරමින් සිටියේ ය.

අපගේ මිතුදම බෙහෙවින් ගැඹුරු වූයේ අප දෙදෙනාම සිනමාවට වශී වී සිටි බැවිනි. සිනමාව ගැන ලියැවුණු සෑම පොතක් ම කියවීමත්, එහි නිෂ්පාදනය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවට පැමිණි අවස්ථාත් එමටය. තිස්සගේ චිත‍්‍රපට රචනය පිළිබඳ තිබු ගැඹුරු අවධානය පිළිබඳව තියුණු පැහැදීමක් මා සිතට ක‍්‍රම ක‍්‍රමයෙන් ඇතුළු විය.

අන් අයගේ චිත‍්‍රපටවල කැමරාකරණය හා සංස්කරණය කරමින් සිටි මා 1967 වන විට චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට තීරණය කළ අවස්ථාවේ එහි කතාව පිළිබඳ අප දෙදෙනා අතර ඇතිවූ වාද විවාද, සාකච්ඡා එමට ය. විශ්ව සාහිත්‍ය පුළුල් ලෙස කියැවීමෙන් ලද පෝෂණයෙන් ඔපමට්ටම් වූ ඔහුගේ සුවිසෙස්වූ රචනා ශක්තිය පිළිබඳ ව මා සිත තුළ වූ පැහැදීම පල දැරුවේ “මරුකතර” නම්වූ චිත‍්‍රපටයේ කථාව, තිර රචනය, දෙබස් ලිවීම ඔහුට බාර කිරීමෙනි. පසුව “වැලිකතර” ලෙස නම වෙනස් වූ මේ චිත‍්‍රපටය තිස්සගේ පළමුවෙනි හා බොහෝ දෙනාගේ අදහස අනුව විශිෂ්ට වූ තිර රචනයයි.

“වැලිකතර” පෝෂණය කිරීමට අති දක්ෂ පිරිසක් දායක විය. ගාමිණි, ජෝ, සුවිනිතා රංගනයෙන් හා සෝමදාස ඇල්විටිගලයන් සංගීතයෙන්. ඒ අයගේ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමට අඩිතාලම සැකසුවේ තිස්ස ය. “වැලිකතර”ට පසුව ඔහුගේ දෙවෙනි තිර රචනය වූයේ මුදලිනායක සෝමරත්නයන්ගේ කතාව මත ලියැවුණු “බිනරමලි” චිත‍්‍රපටයයි.

අද පවා “වැලිකතර” දෙබස් සිහිගැන්වෙන අවස්ථා එමට ය. “නෝනා පයින් යන්න... යනකොට හුළං වදී...” ගෝරිං මුදලාලි ගීතා රන්දෙණියට කියයි. “රජ දැක්මට අවසර ද?...” වික‍්‍රම රන්දෙනිය තම බිරිඳට විහිළු කරයි. “උඹ කොහෙටද පැනලා යන්න හදන්නේ...” වික‍්‍රම කරන අභියෝගයට ගෝරිං කැපෙන වදනකින් පිළිතුරු දෙයි. “යන්නේ කොහෙද කියල මම දන්නේ නැහැ. නමුත් යන පාර දන්නවා. මීට අවුරුදු 13 කට කලින් සර් පැනල ගියෙත් ඒ පාරේ...”

තිස්සගේ නොමැකෙන දෙබස් පමණක් නොව ඔහු ගොඩනැගු චරිත තුන, වික‍්‍රම, ගීතා, ගෝරිං හුදෙක් ම ප‍්‍රබල ජීවමාන හා සිනමානුරූපි චරිත විය. ඔහුගේ රචනයේ රමණීය භාෂා භාවිතය සිනමා මාධ්‍යය මැනැවින් හා ගැඹුරු අවබෝධය තුළින් බිහිවූවකි. සාහිත්‍යයෙන් පෝෂණය වූ මේ සුවිශේෂ හැකියාව ආරයෙන් එන්නක් ලෙස මම දකිමි. “වැලිකතරි”න් තම සහජ හැකියාවන් ඔප්පු කරමින් අලුත් දිවියකට පා තැබී ය. “අමතර දෙබස් රචක” අග‍්‍රගණ්‍ය “තිර රචක” විය.

‘වැලිකතරින්’ විවර වූ දොරින් ‘නිධානයක්’ බිහිවිය. ඉන් පසු චිත‍්‍රපට ගණනාවක් ඔහුගෙන් හා ඔහු වෙත ගලා ආවේ ය. තවත් “තිස්ස” කෙනෙකු බිහි නොවන බවත් සිතමි. තිස්ස සිනමා තිර රචනය වෙන ම සාහිත්‍යයක් බව අවබෝධ කරගෙන සිනමාවම රූප ශබ්ද ගැළපීමෙන් කුතුහලය දනවන රසවත් කථාවක් ඉදිරිපත් කිරීමේ කාර්ය භාරයක් බව පැහැදිලිව ම පූර්ණ ව හා ගැඹුරින් අවබෝධ කරගත් ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චිත‍්‍රපට තිර රචකයා වේ.

ඉන්පසු තිස්සගේ හැකියාවන් වෙනත් පැතිවලට යොමු වූ අතර, රාජ්‍ය චිත‍්‍රපට අංශය හරහා තිස්ස වාර්තා චිත‍්‍රපට අධ්‍යක්ෂණයට යොමු විය. විවිධ ක්ෂේත‍්‍රවල ඔහුගේ තියුණු බුද්ධිය යොමු විය. රූපවාහිනිය, රංගනය වාර්තාකරණය, චිත‍්‍රපට අධ්‍යක්ෂණය, නවකතා සහ පොත් පත් රචනය, මේ කාර්යයන්ට ඔහු දායක ව නමුදු, මාගේ මුල් නිගමනය නොවනස් ව පවතී.

තිස්ස නිවන් සැප ලැබේවා!

මේ උසස් ආචාර්යවරයාට අපි තක්සලාවක් හදා දුන්නාද?

රූපණවේදී ජැක්සන් ඇන්තනී

“ලංකාවේ සිනමාලංකාරය සොයාගත්තේ තිස්ස අබේසේකරයි. ඔහු කෘතහස්ත අධ්‍යක්ෂවරයෙක්, තිරනාටක රචකයෙක්, නළුවෙක්. මේ සියල්ල ම ඇත්ත. ඔහු ලියූ පොත්, නිර්මාණය කළ චිත‍්‍රපට ආදිය මඟින් මේ භූමිකා අපට තවදුරටත් පරිශීලනය කරන්න පුළුවන්. නමුත් මා වඩාත් කනගාටුවන්නේ තිස්ස නමැති සිනමාලංකාරිකයා අපට අහිමිවීම ගැනයි.

ඔහු තමයි අපට සිටි උසස් ම සිනමා ගුරුවරයා. නමුත් ඔහුට තක්සලාවක් අප හදා දුන්නාද? ද්විභාෂාවෙන් ම ලියන්නට දෙසුම් පැවැත්විය හැකි මේ ශූර සන්නිවේදකයාගෙන් සේවය ලබා ගන්න ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයට හැකි වුණාද? එතැන සිදුවූයේ ආධ්‍යාපනික කුහකකමක්.

සිනමාව ඉගැන්වීමට අපට සිටි සුදුසු ම ගුරුවරයා පසෙක තබා මේ රටේ සිනමා පාඨමාලා පැවැත්වුණා. නව ශිෂ්‍ය පරම්පරාවකට ඔහුගෙන් දැනුම ලබා ගැනීමට තිබූ අවස්ථාව මේ නිසා අහිමි වුණා.

තිස්සගේ සැබෑ ගුණය සිනමා විචාරකයන් ග‍්‍රහණය කොට ගත්තේ නැහැ. සෞන්දර්ය විශ්වවිද්‍යාලය තිස්සට බාහිර කථිකාචාර්ය පදවියක් පිරිනැමුවා.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඔහුට ආචාර්ය උපාධියක් දුන්නා. නමුත් මේ සියල්ල ඔහුට ලැබුණේ වයස්ගතව රෝගාතුර ව සිටි කාලයක.

නමුත් තිස්ස ගස්, ගල්වලට පවා කතාකළ ඔහුගේ තාරුණ්‍යයේ දී මෙබඳු අවස්ථා ලැබුණේ නම් සිනමාවේ අනාගතයට කොතරම් නම් සේවාවක් ඉටු වේවිද!”


අපටත් වඩා ඔහු ජීවත්වුණා නම් හොඳයි

ප‍්‍රවීණ සිනමාවේදිනී සුමිත‍්‍රා පීරිස්

තිස්ස අබේසේකරයන්ගේ දැනුම ලංකාවට පමණක් සීමා වුණේ නැහැ. විශ්වයේ නොයෙකුත් ක්ෂේත‍්‍ර පිළිබඳ පුළුල් ඥාන සම්භාරයක් ඔහුට තිබුණා. සිංහල, ඉංග‍්‍රීසි භාෂා යුගල ම ඔහු අතැඹුලක් සේ දැන සිටියා. තිස්ස අප ඇසුරු කිරීම අරඹන විට ඔහුට යන්තම් අවුරුදු 20 පමණ වන්නට ඇති.

අඩසියවසක කාලයක් ඔහු ලෙස්ටර්වත් මාවත් ඇසුරු කළා. තිස්ස ක‍්‍රමයෙන් අපේ මිතුරෙක්, සහෝදරයෙක් බවට පත්වුණා. ලෙස්ටර්ගේ ‘සන්දේශය’ නිර්දය ලෙස විචාරයට ලක් කළ ලිපියක් ඔහු ලෙස්ටර්ට එවා තිබුණා. අපට අවශ්‍ය වුණා මොහු කවුරුන්දැයි දැන හඳුනාගන්න.

ලෙස්ටර්ට ඔහුගේ දක්ෂතා පිළිබඳ වැටහුණු නිසා ‘ගම්පෙරළිය’ චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්ෂ හා දෙබස් රචක වශයෙන් දායක කොට ගත්තා. පසුව ලෙස්ටර් ගේ ‘දෙලොවක් අතර’ චිත‍්‍රපටයේදී තිස්සගේ දක්ෂතා වැඩියෙන් මුවහත් වුණා. මෙහි තිරරචනය සාර්ථක ව ලිවීමට රෙජී සිරිවර්ධනත්, ලෙස්ටර් හා තිස්සත් මහත් පරිශ‍්‍රමයක් දැරුවා. එහිදී ලෙස්ටර්ගෙන් හා රෙජීගෙන් ලැබුණු උපදෙස් ඉතා නිහතමානීව ඔහු පිළිගත්තා.

තිස්ස ලියූ උසස් තිරරචනය ලෙස්ටර් ගේ ‘නිධානය’ බව අප කවුරුත් හොඳින් දන්නා දෙයක්. මට කනගාටු ඔහුගේ දැනුම, ප‍්‍රතිභාව උපරිම අවස්ථාවට ළංවෙමින් තිබියදී ඔහු අපෙන් සමුගැනීම ගැනයි.

ඇමරිකානු පොත් ප‍්‍රකාශන සමාගමක් තිස්ස ලියූ ’Bringing Tony home’ ප‍්‍රකාශයට පත් කළා. මෙය ලාංකික ලේඛකයකු ලැබූ භාග්‍යයක්. ඔහු මේ ග‍්‍රන්ථය ඉතා සතුටින් ලෙස්ටර්ට පිළිගැන්නුවා.

අන්තර්ජාලයෙන් මේ පොත ගැන පළවූ විචාර දැකලා ලේඛකයකු වශයෙන් විශාල බලාපොරොත්තුවක් තිස්සගේ හිතේ තිබුණා. නමුත් එය ඵල දැරීමට පෙර ඔහු අපට අහිමි වීම දුකක්. තිස්ස සෑම නිර්මාණයකටම ඉතා වෙහෙස වුණා.

පුළුවන් හැම උත්සවයකට, පොත් දොරට වැඩීමකටම සහභාගි වුණා. මරණය අප කාටත් නියතයි. නමුත් තව කලක් අපටත් වඩා ඔහු ජීවත්වුණා නම් හොඳ යැයි මට හිතෙනවා. ලෙස්ටර් තිස්සගේ මරණය ගැන දැඩි ලෙස කම්පාවෙන් ඉන්නේ. ඔහුට ඒ ගැන කතාකරන්නවත් බැහැ.

තිස්ස දැඩි ලෙස අසනීපෙන් යැයි දැනගත්දා සිට ඔහු වරින් වර රෑ දෙගොඩහරියේ “තිස්සට දැන් සනීප”දැයි මගෙන් ඇසුවා. තිස්සගේ මරණය ඔහුට එකවරම දැන්වීමට මා බියවුණා. උදෑසන පත‍්‍ර පවා ටික වේලාවක් සඟවා තැබීමට මා සේවකයන්ට නියම කළා.

සැබෑ තත්ත්වය මා ඔහුට කීවේ බොහොම අමාරුවෙන්. ගඟඅද්දර, මායා, ලොකු දුව වැනි මා අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපට ඔහුගේ තිර රචනයෙන් කලඑළි වුණා. තිස්සට නිවන් සුව ලැබේවා යැයි අපි පතනවා.

ඔහුගේ නිර්මාණවල, විචාරවල තිබුණේ බහු පඨිත ආඛ්‍යානයක්

සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි

“අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා ‘අනුගාමික නිධිය’ යනුවෙන් යෙදුමක්. එහි අරුත ආත්මයෙන් ආත්මයට සංසාරයේ තමා සමඟ එන නිධානයක් බඳුපිනක්”. තිස්ස අබේසේකරයන් සතුව මේ නිධානය තිබුණා.

එපමණක් නොවෙයි එතුමා එය නිර්ලෝභීව අපට බෙදා දෙන්න කැමැති වුණා. මේ බෙදා දීමේදී ඔහුගේ ආකෘතිය වුණේ සිනමාව හා සාහිත්‍යයයි.

සිනමා නිර්මාණකරණයේදීත් සාහිත්‍යකරණයේදීත් තිස්ස අබේසේකරයන් අපට කී දේ තුළත් ලියූ දේ තුළත් ගැඹුරක් තිබුණා.

ඔහු ඕනෑම දෙයකට ප‍්‍රවේශවීමේදී ඒ තුළ තිබුණේ බහු පඨිත ආඛ්‍යානයක්. එනම් එහි කියැවීම් බොහොමයක් අන්තර්ගත වුණා. තිස්සගේ නිර්මාණවල මෙන්ම විචාර චින්තාවන්හි ද මේ ස්වරූපය දකින්න ලැබුණා. තිස්ස පඩිවරයෙක්.

තමා පඩිවරයකු බව කිසිවකුට පවසා ඒ ගැන ලියවා නොගත්ත පඩිවරයෙක්.

ඔහුගේ හිතේ පුංචි කොනක මා ගැන මතකයක් තිබුණා. මගේ නිර්මාණ එතුමා ප‍්‍රසිද්ධියේ අගය කළා. මා ගැන අන්‍යයන්ට කියාදුන්නා. ප‍්‍රසිද්ධියේ මා වෙනුවෙන් සාක්ෂි දැරුවා. මා සිනමාකරුවකු කිරීමේ ගෞරවය මුළුමනින් ම හිමිවන්නේ ඔහුට.

‘අග්නිදාහය’ නමැති මගේ පළමු සිනමා කෘතිය නිර්මාණය කිරීමට එතුමා මට පියකු මෙන් බලකර සිටියා.

තිස්ස අබේසේකරයන්ගේ වියෝවෙන්

මට තාවකාලික ව අහිමි වූයේ වඩාත් උණුසුම, සිසිල සැපයූ දැවැන්ත සෙවණැල්ල මෙන් ම මගේ සාංසාරික ගුරුවරයා.