Showing posts with label අධි මානසික. Show all posts
Showing posts with label අධි මානසික. Show all posts

මරණින් පසුත් වැවේ මාළු බාන්නට එන පියසේන මුදලාලි


උපන් දා සිට ම තණ්හාවෙන් (උවමනාවන් පිරිමසා ගැනීම සඳහා) පෙළෙන මිනිස් සිත එසේ අසීමිත වූ බලාපොරොත්තු ඉටු නොවීම නිසා දුක් විඳී. එසේ ම අත්හැරීමක් සිදු නොවී ම නිතර එහි විපාක ගෙවමින් මේ ස්වභාවය භවයෙන් භවයට ගෙන යයි.

මේ පිළිබඳ යම් තරමකින් හෝ වැටහීමක් ලබා නොගන්නා මිනිසා ඉතා අමාරුවෙන් ලබාගත් මිනිස් භවයෙන් ප්‍රයෝජන නොගෙන මරණින් මතු අනන්ත වූ දුක්විඳී. තමන් ගේ උත්සාහය අනුව ඊට සරිලන, ඊට ගැළපෙන ප්‍රතිඵල ලබන විට එයින් සෑහීමකට පත් නොවී මිරිඟුව ජලය යැයි සිතා රැවටුණු පිපාසිත මුවන්සේ ආශාවන් පසුපස හඹා ගොස් අතර මඟ මැරී වැටෙයි.

පියසේන මුදලාලි උතුරු මැද පළාතේ ප්‍රසිද්ධ ගම්මානයක විසූවෙකි. අදින් දසක පහකට පමණ පෙර ඔහු ජීවත් වූ ගම්මානයේ සිටි ඉහළ ම පොහොසතා විය. ඔහු පොහොසත් වූයේ උපායෙනි.

ගමේ කෙනකු ලෙඩකට, දුකකට, කරදරයකට පත් වූ බව දැන ගත් වහාම සුළු ත්‍යාගයක් ද රැගෙන ඔහුගේ නිවසට යෑම පියසේන මුදලාලි ගේ සිරිතය. ගැමියා රෝගාතුර වීම හෝ කරදරයකට පත්වීම පිළිබඳ එම නිවසේ අය ඉදිරිපිට කිඹුල් කඳුළු හෙළන පියසේන මුදලාලි ඔවුන්ගේ දුකට පිහිටවීමට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වෙයි.

හේන් ගොවිතැනින් ජීවත් වූ ගැමියන් වාසය කරන මේ ප්‍රදේශයේ මිනිසුන් බොහෝ අගහිඟකම්වලින් පීඩිතව ජීවත් වූවෝ ය. හදිසි විපතක්, ව්‍යසනයක් සිදුවූ විට ඒ සඳහා මිල මුදලක් ඉතුරු කැර ගත නොහැකි සමාජ පරිසරයක් හෝ තත්ත්වයක් එහි නොපැවතිණි.

”මට උඹලා ගැන හරිම කනගාටුයි. මේ මනුස්සයා කොහොම හරි ගොඩ දා ගන්නත් එපායැ. මේ වෙලාවේ උඹලාට අත මිට හිඟත් ඇති නොවැ. මෙන්න මේක දැනට අතේ තියා ගනිල්ලා”යි කාලයේ හැටියට සෑහෙන මුදලක් රෝගියාගේ අතේ තබා එන්නට තරම් පියසේන මුදලාලි කාරුණික බවක් පෙන්වයි.

පැමිණි දුකෙන් කරදරයෙන් ගොඩ එන්නට ක්‍රමයක් නැතුව අහස පොළව ගැටලන ගැමියාට අවස්ථාවේ හැටියට එය ලොකු සහනයක් වෙයි.

”අනේ! මුදලාලි මහත්තයා වෙලාවේ හැටියට මේක අපට දෙවියෝ අත පෑවා වගේ දෙයක්. මුදලාලිට තව තවත් වැඩි වැඩියෙන් ම ලැබෙන්න ඕනෑ”යි ඒ උදව් ගන්නා ගැමියෝ පවසති.

”නෑ.. නෑ.. ඒවා අපෙන් කෙරෙන්න ඕනෑ යුතුකම්. මේ වගේ වෙලාවට නැති මිල මුදල් හිතවත්කම්වලින් වැඩක් නැහැනෙ. තවත් මොනවා හරි කෙරෙන්න දෙයක් තියෙනවා නම් මට ඇවිත් කියාපල්ලා”යි පවසන පියසේන මුදලාලි ඒ නිවසින් පිටත්ව එන්නේ දහසක් අනාගත බලාපොරොත්තු පිළිබඳ පිඹුරුපත් අඳිමිනි. එසේ ම තව දවස් කීපයකින් මේ ගෙදර අය ඔහු සොයා ගෙන පැමිණෙන බව ද සක් සුදක් සේ පැහැදිලිය.

නොවැරදීම ඒ ගෙදරින් කෙනෙක් ඊට දින කීපයකට පසු පියසේන මුදලාලි සොයාගෙන යයි.

“මුදලාලි මහත්තයා පොඩි අතමාරුවක් ඉල්ලා ගන්නයි ආවේ. මේ වෙලාවේ අපට පිහිටක් වෙන්නට වෙන කෙනෙක් නෑ. ඒකයි මුදලාලි මහත්තයාව ම හොයා ගෙන ආවේ”යි පවසයි.

”හොඳයි හොඳයි ඉතින් උඹලාට මගෙන් මොනවාද කෙරෙන්න ඕනෑ”යි මුදලාලි විමසයි.

ලෙඩාව රෝහලට ගෙන යන්නට වාහන කුලිය, නඩුවට පෙරකදෝරු ගාස්තුව, තොවිලයට, ශාන්තිකර්මයට විය පැහැදම, මඟුල් තුලාවට විය පැහැදම, මළ ගෙදරක මරණයේ කටයුතුවලට වියදම වැනි අවශ්‍යතා එළැඹි විට ඔහු කලින් පෙන්වූ කාරුණික පරිත්‍යාගශීලී භාවය නිසා ම ගැමියෝ ඔහු සොයා ගියේ වෙනත් එල්ලෙන්නට පිදුරු ගහක්වත් නැති බැවිනි. තමන් පත්ව ඇති කරදරය, විපත, නිසා ඉන් එහා සිතන්නට පවා මේ ගැමියනට නොහැකිය.

”ආ.... මෙන්න මේකෙන් උඹලාගේ උවමනාව පිරිමහා ගනිල්ලා. තවත් මදි පාඩුවක් වුණොත් ඇවිත් මාව හම්බ වෙයල්ලා”යි ඔහු තව දුරටත් බලාපොරොත්තු ඇති කරයි. කෙසේවත් මේ ගැමියනට ලබා ගත් මුදල් ආපසු ගෙවන්න නොහැකි බව කපටි කෛරාටික පියසේන මුදලාලි හොඳින් ම දනී. එසේ ම ඔවුන් ලබා ගත් මුදලින් ඒ කටයුත්ත පිරිමසා ගන්නට බැරි බව ද ඔහු දනී. එසේ ලබාගත් මුදලින් තමන්ගේ උවමනාව පිරිමසා ගන්නට බැරි වූ තැන ඒ පවුලේ අය සාකච්ඡා කරති.

”ඒ මනුස්සයා අපි නොඉල්ලා ම අපට මුදලක් දුන්නා. ඊළඟට අතමාරුවක් දුන්නා. ආයෙත් නම් නිකම් ඉල්ලන්නට හොඳ නෑ”යි ගෙදර කතා බස් වී නැවත මුදලාලි සොයා යයි.

”මොකද බං ආයෙත් ආවේ. ඉක්මනින් කියාපල්ලා මට හදිසි වැඩ රාජකාරි වගයක් තියෙනවා”යි මුදලාලි තමන්ගේ ඉස්කුරුප්පුව තද වෙන පැත්තට තව ටිකක් හෙමිහිට කරකවයි.

”අනේ! මුදලාලි මහත්තයා අර මුදල් ටික අපේ උවමනාවට මදි වුණා. අපේ ඉඩමේ පොල්ගස් දහයක් පවරාගෙන, එහෙම නැත්නම් කුඹුරු කෑල්ල පවරාගෙන අපට තව සල්ලි ටිකක් දෙන්න. ඒවයෙ පලදාව අස්වැන්න මුදලාලි අරගන්න” යැයි පවසන ගැමියාට අවශ්‍ය මුදල මුදලාලි එදාම දෙන්නේ පස්සා පැත්තෙනුත් හිනාවෙමිනි.

මාස කීපයක් ගතවූ තැන මුදලාලි ඔවුන් සොයා යන්නේ තම සිතැඟි ඉටු කැර ගැනීමේ ඒකායන අභිලාෂයෙනි. ”දැන් ඉතින් සෑහෙන කාලයක් ගතවුණා නොවැ. දැන් මගේ සල්ලි ටික මට දියල්ලා. නැත්නම් එහෙම කරන්න බැරි නම් ඔය ඉඩම් කෑල්ල මට ම දියල්ලා. මම තව සල්ලි ටිකක් උඹලට දෙන්නම්” යැයි දැනට හිරවී සිටින මිනිසුනට රිංගන්නට විකල්පයක් ද පෙන්වා දෙයි. එය එසේ ම සිදුවෙයි.

මේ ආකාරයෙන් මුළු ගමෙන් හතරෙන් තුනක් ම ඉඩකඩම් පියසේන මුදලාලිට අයිති විය. ඔහු ප්‍රදේශයේම බල පුළුවන් කාරයා බවට පත්විය. එසේ ම තරමක් වයස්ගත වෙන්නට ද විය. ඔහුගේ දූ දරුවෝ ද උස් මහත්වූ අතර, අනිකුත් මිනිසුනට වාගෙ ම පියසේන මුදලාලිට ද පින්දහම් මතක් විය.

පියසේන මුදලාලි දිනක් පවුලේ ඥාතීන් සමඟ සිරිපා වඳින්නට ගියේය. අනේ! දෙයියනේ! මේ මනුස්සයාට සීත ගඟුලෙන් එහාට යන්නට නොහැකි විය. අනිත් පිරිස සමනළ කන්ද තරණය කරද්දී පියසේන මුදලාලි “අනේ! මට බෑ බං උඹලා පලයල්ලා”යි සීත ගඟුල මෙගොඩ නතර විය. පැමිණි පිරිස සිරිපා වැඳ ආපසු පැමිණි විට ඔවුන් සමඟ ආපසු ආවේය. ඔහු එයින් නැවතුණේ නැත. ඔහු තරුණයන් හතර දෙනකු කුලියට කතා කැරගෙන ඔවුන් සමඟ නැවත සිරිපා වඳින්නට ගියේ ය. දෙයියනේ! පව්කාරකමක මහත! මේ යෝධයා උස්සා ගෙන යන්නට තරුණයන් හතර දෙනාට ද නොහැකි විය.

එදා නම් මුදලාලි හොඳටම කම්පාවට පත්විය. ගෙදර ආවේ මහත් කලකිරීමෙනි. මානසික පීඩාවෙනි. “මට ඇති බුද්ධාගමකුත් නෑ යකෝ: මට ඇති බුද්ධ ශාසනේකුත් නෑ. මට ඔය එකක්වත් නෑ”යි කෑ ගසමින් මුදලාලි බිලී පිත්තක් හදා ගෙන ගමේ වැව අසලට ගොස් මාළු බාන්නට විය. ඔහුගේ ඇම කන තරමට රැවටුණු මාළුන්ගෙන් කුස පුරවන්නට පටන් ගත්තේය. මේ තරම් දේපළක් තිබියදී තාත්තා මාළු බාන්නට යෑම දූ දරුවන්ට මහත් මදි පුංචිකමක් වුව ද ඔහු එයින් වළකා ගන්නට ඔවුනට නොහැකි විය.

පියසේන මුදලාලි වැවේ මාළු බානවා පමණක් නොව එසේ අල්ලන මාළු විකුණන්නට ද වීය. ඔහු පාරේ ගමන් කරන විට ඔහුගෙන් විහිදෙන පිළී ගඳ මහ මඟ යන්නන්ගේ නහය පිළිකුළෙන් හකුළුවන තරම් විය. පියසේන මුදලාලි දැන් ගමේ අය අතර කොරළි පියසේන බවට පත්වී ඇත.

සිය පියා ලජ්ජා සහගත චර්යාවන්ගෙන් වළක්වා ලන්නට බැරි ම තැන වැදගත් රැකියාවල නියුතු ව සිටි පුත්තු සිව් දෙනා තීරණයක් ගත්හ. සිය සහෝදරිය අසල ගමක තරුණයකුට විවාහ කැර දී ඔවුන්ට මහ ගෙදර බාර දුන්හ. පිරිමි දරුවෝ ගම අතහැර ගමෙන් පිට පදිංචියට ගියහ.

මේ අතර පියසේනට අංශබාග රෝගය වැළඳුනි. ඔහු ඇඳටම සීමා විය. මෙහි දී ඔහු කෙරෙන් විශේෂත්වයක් පළ කැරෙන්නට විය. පියසේන ඇඳේ සිට ම පණ ඇති අතින් සැරයටිය ගෙන ඉදිරියට දිගු කැර බිලී පිත්ත ගස්සන්නාක් සේ කරයි. හිටි හැටියේ ඇම කෑ මාළුවකු ගොඩට ගන්නා සේ “හරී..”යි සැරයටිය ඉහළට උස්සා සිනාසෙන්නට විය. මාස ගණනක් දුක් විඳ පියසේන මිය ගියේය. දරුවෝ පැමිණ චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදු කළහ. මාස දෙකක් පමණ ඉක්ම යන විට මේ නිවසට රාත්‍රි කාලයේ ඉතා ම දුර්ගන්ධ වූ පිළී ගඳක් හමා එන්නට විය. උදේ නැගිට බලන විට ගේ වටා දිය බලු වසුරු ගොඩවල් දකින්නට ලැබුණි.

ඒ දිය බලු වසුරු ගොඩවල මාළු කටු ද දකින්නට ලැබුණි. ගේ වටා කොයිතරම් පිරිසුදු කළ ද ඊළඟ දිනයේ රාත්‍රියේත් එවැනි ම ගඳක් දැනෙන්නට විය. ගේ වටා පෙර සේ ම දියබලු වසුරු ගොඩවල් දකින්නට ලැබුණි. මේ තත්ත්වය පිට කෙනකුට කියන්නට පවා දුවටත් බෑණාටත් ලජ්ජා සහගත කරුණක් විය. බැරි ම තැන ගේ වටා රාත්‍රි කාලය පුරා විදුලි පහන් දල්වා තැබූහ. එහෙත් උදේ බලන විට දිය බලු වසුරු පෙර සේ ම දකින්නට ලැබුණි. අවසානයේ ඈත ප්‍රදේශයකින් මුර කරුවන් දෙදෙනෙකු ගෙන්වා වැටුප් ගෙවා ගේ වටා රැකවල් කළහ. රාත්‍රි පහන් වන තුරු විදුලි පහන් ද දල්වා තැබුව ද ගේ් වටා මුරකරුවන් යෙදූව ද උදේ බලන විට දිය බලු වසුරු දකින්නට ලැබිණි. රාත්‍රි කාලයේ ගේ ඇතුළත යමකු ගමන් කරන්නා සේ අඩි සද්ද නැඟෙන්නට විය.

මේ අතර හැන්දෑ යාමයේ වැව් කණ්ඩිය දිගේ ගමන් කළ ගැමියන්ට පියසේන මුදලාලි මාළු බාමින් සිටින අයුරු දකින්නට ලැබිණි. මෙය ගම පුරා ප්‍රචාරයවීමත් සමඟ ගමේ උදවිය රාත්‍රි ගමන් අඩු කළහ. මේ සිද්ධිය පිළිබඳ සොයා බලන්නට ගමේ නිර්භීත තරුණයන් දෙතුන් දෙනක් රහසේ ඉදිරිපත් වූහ. ඔවුන්ට ද වැව් කණ්ඩිය දිගේ විමසිල්ලෙන් ගමන් කරන විට මාළු බාමින් සිටින කොරළි පියසේනගේ ඡායාව අඳුර තුළින් දකින්නට ලැබිණි. තරුණයෝ ඊට කිට්ටු වන විට ම විශාල දිය බල්ලකු වැවට පනින හඬ ඇසෙන්නට විය.

මුදලාලි ගේ බෑණා බැරි ම තැන ඇදුරන් ගෙන්වා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මඟින් ආරක්ෂා කැරවීය. ඈත ප්‍රදේශවලින් පවා දක්ෂ ප්‍රසිද්ධ ඇදුරන් ගෙන්වා ශාන්තිකර්ම සිදුකළහ. දින කිහිපයක් ගත වන තුරු කරදරයක් නැතිව ගෙවී ගිය ද යළිත් මේ භත දෝෂය ක්‍රියාත්මක විය.

අවසානයේ දියණිය සහ බෑණා සංඝ රත්නය වැඩමවා තුන්තිස් පෑ පිරිත් සජ්ඣායනයක් පවත්වා මහා සාංඝික දානයක් පිරිනැමූහ. අවට පදිංචි ගම්වැසියන් ගෙන්වා ඔවුන්ට ද ආහාර පානයෙන් සංග්‍රහ කොට පියසේන මුදලාලිට පින් පැමිණවූහ. කරදර තුනී වී ගියේය.

අඳුරන්න බැරි ද? මං කර්ලිනාහාමි උපාසකම්මා

බුදු දහමේ විමුක්ති මාර්ගය දේශනා කොට ඇත්තේ දාන, ශීල, භාවනා යන ති‍්‍රවිධ කුසල කි‍්‍රයා අනු පිළිවෙළට ය. කෙනෙක් තමන් ගේ ශක්තිය අනුව දන් පැන් දෙමින් පෝයට සිල් සමාදන් වෙති.

තවත් කෙනෙක් තමන් සතු දෙයින් බිඳක් සොලවන්නට අකමැතිව අනුන්ගේ යහපත පිණිස කිසිවක් නොදී පෝ දිනට පමණක් පන්සලට ගොස් සිල් සමාදන් වී නිවන් දකින්නට මාන බලති.

තවත් කෙනෙක් තමන් ගේ ජීවිත කාලය ම කට්ට කපටි කෛරාටික කමින් රැකියාවේ දී පවා වැටුපට සරිලන සේවයක් නොකොට විශ‍්‍රාම ගිය පසු දාන ශීලයෙන් තොරව කෙළින් ම විපස්සනා භාවනාව සොයා යති.

මෙයින් කීයෙන් කී දෙනෙක් නිවැරදිදැයි ඔවුන්ගේ ම හදවත්වලින් ම විමසා දත යුතුය. දානයෙන් තණ්හාව අඩු කරමින් සීලයෙන් කය වචන සංවර කැර ගනිමින් භාවනාවෙන් සිත කෙලෙස් තුනී කරමින් යා යුතු මඟට වන් අය පවා අතර මඟ මිය ඇදුණ ද තමන් හුරු පුරුදු කළ දේ සසර ගමන සඳහා පාරමිතා වෙයි.

කෙසේ වෙතත් භාවනාවෙන් සිත පිරිසුදු කැර ගැනීමෙන් තොරව ක‍්‍රමයෙන් ශාන්ත වූ සුවය උදා කැර ගත නොහැක්කේ ම ය. අසූ හාර දහසක් වෙහෙර විහාර ඉදිකොට මහා සාසනික සේවයක් කළ ධර්මාශෝක අධිරාජයාට පවා අපාගත වන්නට සිදු වූ බව කව්රුත් දන්නා සිද්ධියකි. එසේ නම් අප ගැන කවර කතා ද?

තමන්ට හැකි අයුරින් දන් පැන් දෙමින් සතර පෝයට සිල් සමාදන් වෙමින් කල් ගෙවූ උපාසිකාවක ගේ කතාවකි මේග

අද අතුරුගිරියේ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ සිටින ගස්නාවේ ඤාණානන්ද හිමියෝ එවකට වැඩ වාසය කළේ හඟුරන්කෙත ප‍්‍රදේශයේ ආරණ්‍යයකයග ඒ ආරණ්‍ය සේනාසනය ද ගල්දූව ආරණ්‍ය සේනාසන සංස්ථාවට ම අයත් වූවකිග

හඟුරන්කෙත ආරණ්‍ය සේනාසනය ආසන්නයේ නිවසක පදිංචි වැඩිහිටි උපාසිකාවක් වූවා ය. ඇය මේ ආරණයේ වැඩ වසන යෝගාවචරයන් වහන්සේට මහත් ශ‍්‍රද්ධාවෙන් හා භක්තියෙන් යුතුව සිව්පසයෙන් සංග‍්‍රහ කළා ය. ඇය ග‍්‍රාමවාසී විහාරස්ථ ස්වාමීන් වහන්සේ පි‍්‍රය කළේ නැත.

මේ උපාසිකාව වයස්ගතව ඔත්පල වූවාය. එහෙත් යහනේ සිට පවා දරුවන් ලවා ආරන්්‍යවාසී භික්ෂුන් වහන්සේට දාන මානයෙන් පූජා කැර වූවාය.

මේ අතර ගල්දූව ආරණ්‍ය සේනාසනාධිපති කඩවැද්දුවේ ශී‍්‍ර ජිනවංශ නාහිමියන්ගේ උපන් දින පිංකම සඳහා හඟුරන්කෙත ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේ ගල්දූව බලා පිටත් වූහ. එදින ම රාතී‍්‍ර උපාසිකාව මිය ගියා ය.

උපාසිකාවගේ මරණයේ අවසන් කටයුතුවල ආගමික වතාවත් සඳහා ආරණ්‍යවාසි භික්ෂුන් නොසිටි බැවින් ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ වැඩමවා පාංශුකූල චාරිත‍්‍ර සිදු කැරිණි.

ගල්දූවේ පිංකම අවසන් වී ඤාණානන්ද හිමියන් ඇතුළු පිරිස ආපසු ආරණ්‍ය බලා වැඩම කරවද්දී ආරණ්‍යයට නුදුරෙහි ඉඩමක අලුත් මිනී වළක් මත සුදු රෙදි වියනක් රඳවා ඇති අයුරු දැක ඤාණානන්ද හිමියෝ එම පාංශුකූල රෙදි කඩ ද රැගෙන ආරණ්‍යයට වැඩම කළහ.

එදින හැන්දෑවේ මිය ගිය උපාසිකාවගේ දහ අට හැවිරිදි මුණුපුරෙකු ප‍්‍රලය වී නිවසේ වැඩිහිටියනට බැන වදින්නට වීය. ගෙදර අය ඇදුරෙකු ගෙන්වන්නට කතා බහ වෙද්දී මුණුපුරා මිදුලට පැන ආරණ්‍ය සේනාසනය කරා දුවන්නට වීය. නිවැසියෝ ද ඔහු පසු පසින් දුව ගෙන ආහ.

ඤාණානන්ද හිමියන් වෙත පැමිණි මුණුපුරා කේන්තියෙන් වෙව්ල වෙව්ලා තම මවුපියන්ටත් අනිකුත් වැඩිහිටියන්ටත් දෝෂාරෝපණයෙන් බැන වදින්නට වීය.

“බලන්න ස්වාමීන් වහන්ස! මුං මගේ මරණයේ කටයුතු කළේ මම බලා පොරොත්තු වුණ හැටියට නෙවෙයි. මගේ පාංශුකූලය දුන්නේ ගමේ පන්සලට. මං ඒකට කැමති නෑ මං මුංගෙන් පළිගන්නවා. පළිගන්නවාමයි” කියන්නට වීය.

මේ තරුණයාට ආවේශ වී සිටින්නේ කවුදැයි ඤාණානන්ද හිමියන්ට වැටහී ගියත් ඒ බව නොඅඟවා ප‍්‍රශ්න කරන්නට වූහ.

“මේ කව්ද? කතා කරන්නෙ?”

“ඇයි හාමුදුරුවනේ! මා අඳුනන්නේ නැද්ද? මං කර්ලිනා උපාසකම්මා.”

“ඇයි? උපාසකම්මේ මේ ළමයාට කරදර කරන්නේ?”

“හාමුදුරුවනේ! මට මෙයාගෙ ඇඟට විතරයි ඇතුළු වෙන්න පුළුවන්. ඒකයි මේ දරුවගෙ ඇඟට ආවෙ. මං අනිත් උංගෙන් පළිගන්නවා.”

“අනේ! අනේ! උපාසකම්මා සිල් සමාදන් වෙලා දන් පැන් දීලා බණ දහම් ඉගෙන ගත්තේ වෛර කරන්න ද? පළිගන්න ද?”

“ඉතින් හාමුදුරුවනේ! මුං මගේ පාංශුකූලය දුන්නේ පංසලටනෙ.”

“හරි හරි උපාසකම්මගෙ පාංශුකූලය අපිටත් ලැබුණනෙ.”

“ඔව් ඔව් මං දන්නවා. මං දැක්කා ඔබ වහන්සේ වළ උඩ තිබුණු රෙදි හතර රියන අරගෙන එනවා. ඒ වුණාට මට මේගොල්ලන්ගෙ වැඩ ගැන කේන්තියි හාමුදුරුවනේ.”

“ඔන්න ඔය තරහ මරහ හිතින් අයින්කර දාන්න. නැත්නම් තමුන්ටමයි ඒක නරක.”

“එහෙම නම් හය මාසෙන් දෙන දානය මේ ආරණ්‍ය සේනාසනයට දෙන්න ඕනෑ” යි කීවාය.

ඒ හය මාසයේ දානය ආරණ්‍ය සේනාසනයට දෙන බවට එතැන සිටි ඥාතිහු පොරොන්දු වූහ.

“හැබැයි ඒ දානයේ දී අට පිරිකර දෙකක්, ගොටු අතු දෙකක්, සෙරෙප්පු දෙකක් පූජා කරන්න ඕනෑ”යි උපාසක අම්මාගේ ආත්මය නියමයක් ද කළාය.

“ඇයි? උපාසක අම්මේ මේ දෙක දෙක පූජා කරන්න නියම කළේ” යි ඤාණානන්ද හිමියෝ ප‍්‍රශ්න කළහ.

“හාමුදුරුවනේ ඒ වැඩිපුර එක දඬුවම් වශයෙන් මං නියම කළේ”

“හොඳයි දැන් මේ ඇත්ති ඉන්නේ කොහේද?”

“අර මගේ මිනිය භූමදාන කළ තැනට ටිකක් එහායින් තියෙන ගල උඩ තමයි මම ඉන්නේ.”

“හොඳයි! දැන් හය මාසෙ පින්කමේ දී අපි මොනවාද කරන්න ඕනෑ.” හාමුදුරුවෝ නැවතත් ප‍්‍රශ්න කළහ.

“මම කන්න කැමති දේවලින් හොඳට දානෙ දීලා අර කලින් කියාපු විදිහට පිරිකර දෙක දෙක පූජා කරන්න ඕනෑ. දානෙ දවසට කලින් දවසෙ රෑ මම ඉන්න ගල උඩට ඇවිත් පේ‍්‍රත තටුව තියන්න ඕනෑ. ඒක කරන්න ඕනැ මගේ බාල දුව.”

“හා හොඳයි. හය මාසෙ පින්කමට තව වැඩි කාලයකුත් නැහැනෙ. මේ ඇත්ති දැන් මේ ළමයාගෙ ශරීරයෙන් ඉවත් වෙලා යන්නැ” යි ඤාණානන්ද හිමියෝ පැවසූහ.

ඒ සමඟ ම තරුණයා ප‍්‍රකෘතිභාවයට පත්වීය. දෑස් පිස දමමින් සිදු වූයේ කුමක් දැයි නොදැන විමතියෙන් වට පිට බලන්නට වූයේ ය. පැමිණ සිටි පිරිස ඔහු කැඳවා ගෙන ගෙදර ගියහ. එයින් පසු කාලයක් ම මේ තරුණයාට ආච්චි අම්මා ආවේශ වූයේ නැත.

හය මාසයේ පින්කම් දිනය උදා වීය. මිය ගිය අම්මා ගේ නියමය පරිදි බාල දියණිය පේ‍්‍රත තටුව ලෙස ආහාර පිඟානක් සකසා කලින් කී ගල මතට ගෙන ගොස් තැබුවා ය.

පසු දා උදේ ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන ස්වාමීන් වහන්සේ උදෙසා දානය පිළියෙල කැර ගොස් පූජා කළහ. දන් ශාලාවට වැඩම කළ ස්වාමීන් වහන්සේ දානය ලබා ගෙන තම තමන් වැඩ සිටින කුටිවලට වැඩම කළ අතර ඤාණානන්ද හිමියෝ අනූමෙවෙනි ධර්ම දේශනය සඳහා දන් ශාලාවේ නතර වූහ.

පිරිස පන්සිල්හි පිහිටුවා මියගිය මෑණියන්ට පුණ්‍යානුමෝදනය කිරීම සඳහා දුන් දානයත්, මවු ගුණත්, මේ පින්කම්හි ආනිසංසත් දේශනා කොට අවසාන වන විට ම අර තරුණයා වහාම නැගිට ළඟ සිටි තවත් යහළු තරුණ ළමයකුගේ අතින් ඇද ගෙන කැලේ කඩා ගෙන දුවන්නට වීය.

ඉතා ම වේගයෙන් දුව ගෙන ගිය තරුණයා ගොස් ඇත්තේ පේ‍්‍රත තටුව තැබු ගල උඩට ය. “මේ බලපං මුන් මට කෑම බෙදලා තියෙන හැටි. හොඳට බලා ගනිං මේ පිඟානෙ තියෙන දේවල්” යැයි එකින් එක පෙන්වා ආපසු දන් ශාලාවට දෙදෙනා ම දුව ගෙන ආවෝ ය. ඔවුන් සොයා ගෙන යන්නට පිටත් වූ පිරිස ද ආපසු හැරී පැමිණියහ. ස්වාමීන් වහන්සේ ද සිදු වූයේ කුමක්දැයි දැන ගැනීම සඳහා නතරව සිටියහ.

තරුණ මුණුපුරා යහළුවා සමඟ ඤාණානන්ද හිමියන් ඉදිරිපිට හිඳ ගත්හ. පවුලේ පිරිස ද එතැනට රැස්වූහ.

“හාමුදුරුවනේ! අපේ බාල දූගෙ වැඩත් හරිම බාලයි. මම මේ ළමයා ගල උඩට එක්කර ගෙන ගිහින් පෙන්නුවා. පේ‍්‍රත තටුව බෙදලා තිබුණෙත් පෙරේතකමෙන්. ඇපෙන් බේරෙන්න වගෙයි.

හාමුදුරුවනේ මම අඹවලට හරිම ආසයි. මේකි අඹ කෑල්ලක් බෙදලා තිබුණා මෙන්න මේ තරම් පුංචි කෑල්ලක්. (එසේ කීවේ අතේ සුළැඟිල්ල පෙන්වමිනි) ගෙදර වත්ත පුරාම තියෙන්නේ මම හිටවපු කොස් ගස්.

ඒ ගස්වල හොඳට කොස් හැදිලා තියෙනවා. මේකි මට එක ම එක වරකා මදුල යි බෙදලා තිබුණේ. ගස්ලබු කෑල්ලත් ඒ වගේ ම යි. හාමුදුරුවනේ! මට ඒ කෑම කන්න බෑ. අපි කරන්නේ ඒවා අත ගාලා සතුටු වෙන එක යි. ඒකවත් සතුටු වෙන්න පුළුවන් විදිහට තියලා නැහැ.”

“හා හොඳයි. හොඳයි. දැන් අපේ උපාසකම්මාට ඒ පෙරේත තටුවලින් වැඩක් නෑ. මේ දානයෙන් අපි සතුටු වෙලා පින් අනුමෝදන් කළානෙ. දැන් ඒ පින් ලැබුණානෙ” යි හාමුදුරුවෝ පැවසූහ.

“එහෙමයි හාමුදුරුවනේ! මට පින් ලැබුණා. මම ආයෙත් මේ දරුවාට කරදර කරන්නේ නැහැ. මම දැන් හොඳ තැනකට යනවා. එහෙනම් මට අවසරයි හාමුදුරුවනේ” යි කියා ස්වාමීන් වහන්සේට වැඳ අවට සිටි පිරිස දෙස බලා බාල දියණිය දෙස මඳක් අමනාපයෙන් මෙන් බලා “මං යනවා, මං යනවා” යැයි කී තරුණයා වෙව්ලා යළිත් ප‍්‍රකෘතිතාවයට පත් වූයේ ය.

ඒ පින් ලබා ගිය උපාසකම්මා ගේ ආත්මය වෘක්ෂ දේවතාවියක් වූ බව ද ගස්නාවේ ඤාණානන්ද හිමියෝ අප සමඟ පැවසූහ.


හාමුදුරුවන් අපවත් වුණත් වැඩ විසූ ගල් ලෙනෙන් පිරිත් හඬ

තීතයේ මිනිසා ගොවිතැන් කටයුතුවලදී ද රාති‍්‍ර පැල් රැකීමේ දී ද, වන්දනා ගමන් යාමේදී ද, ඔරු පාරු පැදීමේ දී ද, පතල් කර්මාන්තයේ දී ද යනාදී වූ දෛනික චර්යාවල දී පාළුව කාන්සිය හා වෙහෙස මඟ හරවා ගැනීම සඳහා තුන් සරණය ආදී කවි ගායනා කළේ ය. එයින් සිත තුළ නිරන්තරයෙන් පහන් සිතුවිලි ගොඩ නැඟුණේ ය.

එසේ ම ඒ ප‍්‍රසන්නතාව නිරෝගී බවට ද හේතු විය. බුද්ධ වන්දනාවේ දී ද පිරිත් සජ්ඣායනයේ දී ද, බෝධි පූජාවේ දී ද අල්තාරය ඉදිරිපිට යාඥා කිරීමේ දී ද, දේවාලයේ දී ස්තෝත‍්‍ර ගායනාවේ දී ද මේ ප‍්‍රසන්නතාව මිනිසා ගේ සංවර්ධනය සඳහා කි‍්‍රයාත්මක වේ. එහෙත් බොහෝ දෙනා අද පුරුදුව ඇත්තේ උච්චාරණය අතහැර නිහඬව වන්දනා කිරීමට ය. අධ්‍යාත්මීය වශයෙන් දියුණු වූ අය හැරෙන්නට සාමාන්‍ය අය නිහඬව සිතින් වන්දනා කරනවා ය කියන කටයුත්තේ දී ඔහු හෝ ඇය තුළින් දුර්වල කමක් දකිමු. ඒ අපගේ පෞද්ගලික අදහස යි. අද බෞද්ධ කටයුත්තකදී පවා පන්සිල් ගැනීමට පෙර නමස්කාරය කීමේ දී කණට ඇහෙන්නට හඬ නඟා කියන අය ඉතා අල්පය.

කුරුපැන්නෙ හාමුදුරුවන් විසින් කළු ගලෙන් ඉදිකරන ලද කළුගල් වෙහෙර

සජ්ක්‍ධායනයේ ඇති වටිනාකම හා ඵලදායි බව වර්තමානයේ නවීන විද්‍යාවෙන් පවා සනාථ කොට ඇත. ඒ බව සුකුබා සරසවියේ ජාන ඉංජිනේරු මහාචාර්ය කාසෝ මුරාකාමි මහතා මෙසේ විස්තර කැර ඇත.

“ඕනෑම ජීවියෙක්, මිනිසකු වේවා සතකු වේවා ශාඛයක් වේවා, ඒ සෛල විශාල සංඛ්‍යාවෙකින් සැදුම් ලද්දේ වේ. සෛලයක් යනු ප‍්‍රමාණයෙන් (ආසන්න ම) මිලි මීටරයකින් පන් ලක්ෂයකින් එකකි. (1 / 500000) බරින් ග‍්‍රෑමයකින් (ආසන්නම) විසි කෝටියකින් එකකි. (1/ 200000000) ජීවිතයක් ආරම්භ වනුයේ මව් කුසෙහි හට ගත්තා වූ මෙවැනි ඒක සෛල කලලයකිනි. සංසේචනයෙන් පසු මෙම කලල සෛලය දිගින් දිගට ම ඡේදනය වී අවසාන වනවිට අග පසඟ නිර්මාණය වන්නට පටන් ගනී.” (මහායානය එහි දර්ශනය හා පරිචය ජේ. විජේසේකර - 53 පිටුව)

වෙද්‍යවරු සිය පර්යේෂණ මගින් මූලිකව සජ්ඣායනයෙන් සිත හා කය ලබන යහ වර්ධනයෙහි නිරවද්‍යතාව සහතික කැර ඇත්තා හ.

තෝකියෝ විශ්ව විද්‍යාල රෝහලේ ප‍්‍රධාන ස්නායු ශල්‍ය වෛද්‍ය මහාචාර්ය තොමියෝ හිෙරෙ මෙසේ පවසයි. “දැඩි සේ සෙමෙන් ආශ්වාස කිරීමෙන් රුධිරයෙහි ක්ෂාර ගතිය අඩු වන අතර රුධිර වාහිනී විශාල වී රුධිර ගලනය පහසුවේ. ඉන් හදවත සැහැල්ලු වන අතර මාංශ පේශි සංසිඳේ.”

මොළයේ කි‍්‍රයාත්මක වන බීටා තරංග හා ඇල්ෆා තරංගවලට ද සජ්ඣායනය ඉතා සුබදායි අන්දමින් බලපෑමක් කරයි. අකුසල සිතුවිලි හා සම්බන්ධ බීටා තරංග අභිබවා කුසල සිතුවිලි සමඟ සම්බන්ධ ඇල්ෆා තරංග උත්පාදනය කැර වර්ධනය කිරීමට ද හේතුවේ. සජ්ඣායනයේ බලපෑම පිළිබඳ පර්යේෂණවලින් අනාවරණය වන්නේ ආශ්වාස ප‍්‍රශ්වාස ගැඹුරුව ශක්තිමත්ව හා දීර්ඝව සිදුවන විට එය යමකුගේ ප‍්‍රාණවත් බව වර්ධනය වීමට ඉවහල් වන බව ය. සජ්ඣායනය තුළින් ස්වයංසාධක ස්නායු පද්ධතියට යහපත් සුව සාදනය සඳහා බලපෑම් කැරේ. ඉන් සමස්ත සිරුරේ සෞඛ්‍ය තත්ත්වය ද වැඩි දියුණු වේ.

“ශ‍්‍රද්ධාවෙන් යුතුව සජ්ඣායනයේ යෙදෙන කලට මොළයෙන් පිටවන බීටා තරංග ඇල්ෆා තරංග ලෙසට පරිවර්තනය වේ. බීටා යනු කෙටි අක‍්‍රමවත් තරංග විශේෂයකි. භාව ප‍්‍රකෝප වූ විට නොරිස්සුම් සිතුවිලි ඇති වූ විට එසේ නැත්නම් අධික ආතතියක් ඇති වූ විට මෙම කෙටි තරංග මොළයෙන් පිටවන්නට පටන් ගනී. ඇල්ෆා තරංග මට සිලුටු ය. වක‍්‍රාකාරය. යමෙක් සිත පහන්ව විවේකීව ගත කරන කල්හි ඇල්ෆා තරංග උත්පාදනය වේ.” (මහායානය එ.ද.භා.ප - 25 පිටුව)

මහායානය හෝ වේවා හීනයානය හෝ වේවා මෙහිදී කියැවෙන සජ්ඣායනය ඕනෑම ජීවිතයකට සාධාරණය වේ. එහෙත් මොළයේ ඇල්ෆා තරංග වර්ධනය වන්නේ එම සජ්ඣායනය ශ‍්‍රද්ධාවෙන් යුතුව සිදු කළහොත් පමණි. මහායානිකයෝ “නම්‍යෝ ම්‍යෝ හෝ රෙන්ගේ ක්‍යෝ” යැයි “ඔදයිමොකු’ සජ්ඣායනයේ යෙදෙමින් දැඩි සේ සෙමෙන් ආශ්වාස කිරීම හෙවත් ගැඹුරුව ශක්තිමත්ව හා දීර්ඝව ආශ්වාස ප‍්‍රශ්වාස කරන්නේ යම් සේ ද “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ යන නමස්කාර පාඨය ද එසේ ම සජ්ඣායනා කළ හැකි ය. පන්සිල් පදයන් ද වෙනත් ඕනෑම පිරිත් සූත‍්‍රයන් ද එසේ ශ‍්‍රද්ධාවෙන් යුතුව සජ්ක්‍ධායනා කළ හැකි ය.

ථේරවාදී නිකායවල මහා සංඝයා වහන්සේ ද මෙහෙණින් වහන්සේ ද සිල් මෑණිවරු ද පිරිත් සජ්ඣායනයෙන් රෝගීන් සුවපත් කරන අවස්ථා බොහෝ ය.

ගැමියන් විසින් පහන් දල්වා දිනපතා පූජා පවත්වනු ලබන කුරුපැන්නෙ හිමියන් නමින් ඉදිකළ ස්මාරක චෛත්‍යය.

එවැනි ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී ආදාහනය කිරීමෙන් පසුව ද උන්වහන්සේ විසූ ගල්ලෙන තුළින් දවස් හතක් පිරිත් සජ්ඣායනය ඇසුණා යැයි කීවොත් ඔබ මවිතයට පත්වනු නිසැකය. එහෙත් එය සත්‍යයකි. එය සනාථ කරන වයස් ගත වැඩි හිටියෝ කරවනැල්ල ප‍්‍රදේශයේ කුරුපැත්ත හා එළුවාන ගම්මානවල අදත් වාසය කරති. දෙහිඕවිට, එළුවාන ගමේ පදිංචි 66 හැවිරිදි ඇස්වත්තගේ පියදාස මහතා මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ මෙසේ පවසයි.

“ඉස්සර කොළඹ සාප්පුවක වැඩ කළ කෙනෙක් ඒ රස්සාව අතහැර මේ ප‍්‍රදේශයේ රේල් පාර හදන කාලෙ එහි වැඩට ආවා. ඔහු කළේ මේසන් (පෙදරේරු) වැඩ. මමයි ඔහුට අත්වැඩ දුන්නේ. ඔහු පිරිත් කියන්න දක්ෂයි. මන්ත‍්‍ර ගුරුකම් එහෙමත් දන්නවා. වැඩ නැති දවස්වලට ගමේ ඇවිදින්න යනවා. ඔහු කුරුපැන්න කන්ද දැකලා, කන්දේ ගල් ලෙන් එහෙම දැකලා පැවිදි වුණා.

පැවිදි වුණාට පස්සෙ නම භාවිතා කළේ ධම්මානන්ද හාමුදුරුවෝ කියලා. නිකාය ඇහුවා ම කියන්නේ බෞද්ධ තාපස නිකාය කියලා. උන් වහන්සේ ගේ ගම මම දන්නේ නෑ. බෙන්තර ප‍්‍රදේශයේ කියලයි ආරංචි. ගිහි නමත් මට මතක නැහැ.

කරවනැල්ලේ පුංචි අප්පුහාමි මේ හාමුදුරුවන්ට ඉඩමක් දුන්නා පන්සලක් හදාගන්න. උන් වහන්සේ සල්ලි ඇල්ලුවේ නෑ. වැරදියි කියන කිසි ම දෙයක් කළේ නැහැ. හැබැයි වැසිකිළි යන වේලාවට සුරුට්ටුවක් බිව්වා. මිනිස්සු උන් වහන්සේ හැඳින්නුවේ කුරුපැත්තෙ හාමුදුරුවො කියලා.

උන් වහන්සේ හැමදාම උදේ පාන්දරයි හැන්දෑවෙයි නොවරදවා ම පිරිත් කිව්වා. ගමේත් ගම අවටත් මිනිස්සු පිරිත් අහන්න එනවා. මිනිස්සු ආවත් නාවත් උන්වහන්සේ පිරිත් කිව්වා. ඒ පිරිතෙන් අපල උපද්‍රව ලෙඩ දුක් සුවපත් වුණා. උන් වහන්සේ වැඩ සිටිය ගල්ලෙනට යන්න පාරේ සිට පඩි පෙළක් හැදුවා. ඒ මහ ගල් පලන්න, පෙරළන්න, ගෙනියන්න මන්ත‍්‍ර ශාස්ත‍්‍රයෙන් වැඩ ගත්තා. මිනිස්සු ගලේ එක පැත්තක් උස්සන කොට හාමුදුරුවො අනිත් පැත්තට අත තිබ්බා ම ගල ඉස්සෙනවා. ඒ වගේ ම කළු ගලෙන් චෛත්‍යයක් හැදුවා. මුළු චෛත්‍යයම කළුගල්වලින්. වාත්තු කළා වාගේ අවශ්‍ය හැඩයට ගල් සකස් කර මේ චෛත්‍යය හැදුවේ. අදත් යන කෙනෙකුට, දැක ගන්න පුළුවන්. මේවා කොහොම කළා ද කියා හිතා ගන්නත් අමාරුයි.

උන් වහන්සේ ගෙන් මම ඉගෙන ගත්ත මන්ත‍්‍ර තියෙනවා. සර්ප විෂ වෙදකමත් මට කියා දුන්නා.

මගුලේ යන්නත් දැකලා

කුඹුරේ මඩ කළල් කළා

වැස්සට පැල යට ඉඳලා

නාග විෂට නස්න කළා

මගුල් කරඳ කොළ හා කුඹුරු ඇට මද නර මුත‍්‍රයෙන් නස්න කළ විට නාග විෂ බහින බවයි එහි තේරුම.

මුත්තගෙ බෑයේ සුදු මද රැගෙනේ

අත්ත ගෙනා පැන් උණුකර අනාගෙනේ

පත්තෑ කෑ මුකේ ගෑවොත් විස බසිනේ

මුත්තාපල්ල බේතකි රටට නොකියන් නේ

කිල්ලෝටයේ හුණු මී පැණි සමඟ අනා ගෑවොත් පැත්තෑ විෂ බහින බව ඉන් කියැවේ.

“ඕං රීං කණ්ඩ කාලී මහා කාලී ඔඩ්ඩි අම්මා ඔට්ටු කට්ටු පූට්ටු ඒස්වාහº” මේ උළුක්කුවට මතුරන මන්ත‍්‍රයකි. මේ මන්ත‍්‍රයෙන් එඬරුතෙල්වලට මතුරා උළුක්කු වූ ස්ථානයේ ගාන්න.

ඒ කාලෙ මේ ප‍්‍රදේශයේ ඒක දත්තයා කියලා ඇතෙක් හිටියා. එක දළයයි ඒ ඇතාට තිබුණේ. ඒ නිසයි ඒක දත්තයා කියලා නම වැටුණේ. මේ ඇතා හරිම සැරයි. දවසක් මේ ඇතා පාරට ඇවිත් හිටියා. ඒ වෙලාවේ කුරුපැත්තෙ හාමුදුරුවොත් පාරේ ගමන් කරමින් සිටියා ඒ දිසාවට ම.

මිනිස්සු කෑ ගැහුවා “යන්න එපා හාමුදුරුවනේ” කියලා. මේ හාමුදුරුවො ඒ කීම නාසා ඇතා ඉන්න දිහාවට ම වැඩ ම කළා. සමහරු කේන්තියෙන් “යන්න එපා ගණයො. පල අහකට” කියලත් කෑ ගැහුවා. දැන් ඈත එන හාමුදුරුවන් දෙස ඇතා බලාගෙන ඉන්නවා.

හාමුදුරුවොත් ඇතා ඉස්සරහට ම වඩිනවා. මිනිස්සු ‘අනේ අපෝයි’ කියනවා. අන්තිමට ඇතා හොඬය උස්සලා කුංචනාද කර හාමුදුරුවෝ ඉස්සරහා දණ ගහලා නමස්කාර කළා.

ආයෙත් දවසක් භූතයෙක් වැහී පිස්සු හැදුණු තරුණ ගෑනු ළමයකු ඇගේ වැඩිහිටියන් විසින් පන්සලට කැඳවා ගෙන එනු ලැබුවා. පිරිතෙන් සුවපත් කරගන්න බලාපොරොත්තුවෙන්. ඒ කාලෙ පන්සල පාවුල කටු මැටියෙන් නවාතැන් පොළක් හදා තිබුණා පිටින් එන අයට නවාතැන් ගන්න.

මේ පිරිසත් එතැන නවාතැන් අරගෙන උදේ සවස මේ ගෑනු ළමයාව එක්කර ගෙන ගියා පිරිත් අහන්න. ඒත් මේ ළමයා සුවපත් වුණේ නෑ. ඒ වගේ ම මේ ළමයා තරුණ කෙනෙක් නිසා ගමේ ඉලංදාරි හැමදාම පූජාව වෙලාවට පිරිත් කියන වෙලාවට පංසලට ඇවිත් තාප්ප උඩ ඉඳගෙන බලා ඉන්නවා. මෙයින් වැඩි දෙනෙක් බීමත් ව එන්නේ. හාමුදුරුවන් මේ ගැන අකමැත්තෙන් හිටියේ.

මේ කෙල්ලගෙ පිස්සුව සාමාන්‍ය පිරිතෙන් සුව කරන්න බැරි තැන දවසක් හාමුදුරුවෝ ආටානාටිය සූත‍්‍රය දේශනා කළා. එදා කෙල්ල කීවා “මම බිල්ලක් අරගෙන මිසක් යන්නෙ ම නෑ” කියා.

හාමුදුරුවෝ කීවා “උඹට බිලි දෙන්න මම සූදානම් නෑ. අන්න අර පන්සලේ ඉන්න බැල්ලිගෙ වලිගය කුණු වෙලා වැටිලා තිබුණා. උඹට ඕනෑ නම් ඒක අරගනින්” කියා.

“හාමුදුරුවෝ මට අගෞරව කරනවා නේදැ” යි භූතයා ඇසුවා.

“මම භූතයන්ට මීට වඩා සලකන්නේ නෑ බං” හාමුදුරුවෝ කීවා.

“මම කාලි”

“ආ... එහෙනම් උඹ සදාකාලි ද?”

භූතයා නිරුත්තර වුණා. ටික වේලාවක් නිහඬව සිට “මට යන්න ඕනෑ” යි කීවා.

“ඉතින් පලයං. මම උඹට නවතින්න කීව යැ”යි හාමුදුරුවෝ පැවසුවා.

“හා... හා... පොඩ්ඩක් ඔහොම හිටපං” යි කියූ හාමුදුරුවෝ ළඟ තිබුණු පොල්මලක් ගෙන යමක් අධිෂ්ඨාන කැර තරුණිය අතට දුන්නා.

පොල් මල අතට ගත් උමතු තරුණිය පැන්න ගමන් අර තාප්පය උඩ හිටපු බීමත් තරුණියන්ට ගහගෙන ගහගෙන ගියා. උන්ට තාප්පයෙන් වැටෙන්නට ගැහැව්වා. පොල් මල් පාරට සමහරුන් ගේ මූණු පුපුරලා.

ඊට පස්සේ තරුණිය දුවගෙන ඇවිත් හාමුදුරුවන් අබියස සිහිසුන්ව වැටුණා. එයින් ම ඒ ළමයා සුවපත් වුණා. ඒක අමානුෂ්‍යයෙක් ශරීර ගත වී හැදුණු උමතුවක්. ඒ වගේ ම ඊට පස්සෙ ඉලංදාරි පිස්සු නැටුම් බලන්න ආවෙත් නෑ. බීගෙන පංසලට ආවෙත් නෑ.

ධම්මානන්ද හාමුදුරුවෝ 1962 වර්ෂයේ අපවත් වුණා. එතකොට උන්වහන්සේ ගේ වයස අවුරුදු අනූ එකයි. උන් වහන්සේ අපවත් වී ආදාහනය කළාට පස්සෙත් වැඩ සිටිය ගල්ලෙන තුළින් පාන්දරටත් රාති‍්‍රයටත් ඉතා ම සිහින් හඬකින් පිරිත් දේශනා කරනවා ඇහුණා. අපේ හාමුදුරුවෝ අපවත්වෙලත් පිරිත් කියනවා ය කියන ආරංචියට ගමේ අයත් ගම අවට අයත් දිනපතා 30 - 40 ක් ඒ පිරිත් අහන්න පංසලට ආවා. ඒ පිරිත් අහපු පැරැණි අය අදත් ගමේ ඉන්නවා. මමත් එයින් එක්කෙනෙක්” යැයි පියදාස මහතා කීවේය.

කුරුපැන්නේ හාමුදුරුවන්ගේ පිරිත් දේශනයේ අනුසස් දන්නා පැරැණි අය තමන්ගේ ලෙඩ දුක්වලදී කරදරවල දී තවමත් පැමිණ උන් වහන්සේ ගේ සොහොන් කොත ළඟ පහනක් දල්වා පූජා පවත්වනු දැකිය හැකි ය.

මෙම ගවේෂණය සඳහා මට සහාය වූ දියගම ඩබ්ලිව්.ජී. වීරවර්ධන මහතාටත් මධුක ගුණතිලක මහතාටත්, දැනට එහි යෝගී ජීවිතයක් ගත කරන හෝමාගම ඉන්ද්‍රරතන හිමියන්ටත් ස්තුති කරමි.

පින්තූර හා සටහන
මතුගම මහින්ද විජේතිලක
2009-05-03 - silumina

මරණයට බියවීම

සතුන් මැරීමට හා සත්ත්ව හිංසාවට ඇබ්බැහිවූ මිනිස්සු මරණයෙන් පසුව ඒ පාපකර්මයේ ආදීනව වශයෙන් අමනුස්සයන් වී උපත ලබති. ඒ අමනුස්සයෝ ද සතුන් මරණ ස්ථානවලට සමීපව ජීවත්වෙති. උහු සතුන් මැරීම පි‍්‍රය කරන අතර ඒ සතුන්ගේ ලේ මස් හා ඉවතලන අපද්‍රව්‍ය ආහාරයට ගනිති. ඒවා උන්ගේ පි‍්‍රයතම ආහාර වේ. සොරකම, කාමමිථ්‍යාචාරය, මුසාවාදය හා සුරාපානය ආදි දුසිරිත්හි යෙදුණු මිනිස්සු ද මරණයෙන් පසු අමනුස්සයන් වී ඒ දුසිරිත්වල යෙදෙන්නන්ට සමීපව ජීවත් වෙති.

මේ පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයක සිදුවූ දෙයකි. පියසේනත් ඔහුගේ පුතුන් වන සරත් හා සුනිල්, දෙදෙනා ද සතුන් මැරීමේ යෙදුණෝ වෙති. හරක් මිලයට ගෙන මරා මස් කොට විකුණූහ. අවට ගම්මානවලින් හොරෙන් ගෙනෙන හරක් ද මරා විකුණූහ. හොර හරක් ලොරි ගණන් ප‍්‍රවාහනය කොට මුස්ලිමුන් ජීවත්වන ප‍්‍රදේශවල මස්මඩුවලට විකුණන ධර්මසේන මුදලාලිට මේ පිය පුත්තු හරක් සැපයීම ද කළහ. එසේ ම කසිප්පු නිෂ්පාදනය හා විකිණීම ද සිදු කළහ. මේ කටයුතුවලට ඔවුන්ගේ බිරියෝ ද පූර්ණ සහයෝගය ලබා දුන්හ.

පියසේන හරකුන් ගෙනැවිත් ගේ ඉදිරිපිට දෙල් ගසේ බැඳ හරකාගේ හිසට දෑත බදා පොරව පහරක් එල්ල කිරීමෙන් මැරීම සිරිතක් ලෙස කළේය. බෙල්ල ගසට තබා බඳින හරකා තමන්ට අනතුරක් සිදුවන බව ඉවෙන් මෙන් දැන දෑස් උඩ තබා ගෙන මරණ බයේ දඟලයි. ඊට පසු ගසේ බැඳි කඹය ලිහා දැමුව ද හිස දෙපළු වූ හරකා පැය බාගයක් පමණ මළ මුත‍්‍ර පිටකරමින් දඟල දඟලා මරණයට පත් වෙයි. සරත් හා සුනිල් ළදරු වියේ සිට ම තාත්තා ගේ මේ කි‍්‍රයාදාමයන් දෙස සිනා සෙමින් බලා සිටියහ. ඉගෙනුමට වැඩි උනන්දුවක් නැති සරත් හා සුනිල් පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වී වයස අවුරුදු 16-17 සිට ම තාත්තා ගේ රැකියාවට ම පුරුදු වූහ.

පියසේන ගේ නිවස වරිච්චි කටුමැටි බිත්තියෙන් තැනු කුඩා නිවසකි. පියසේන නිදන ඇඳ අසල ම කුඩා ජනේලයකි. එයින් පිට පැත්තේ ගසෙක ගෙදර ඇති දැඩි කරන පුල්ලී බැඳ සිටී. දුඹුරු පැහැති පුෂ්ටිමත් සිරුර පුරා සුදු පුල්ලි වැටී ඇති බැවින් මේ එළදෙනට පුල්ලී යැයි කියති. දිනපතා පාන්දර පියසේන ගේ බිරිය මේ පුල්ලීගෙන් කිරිබෝතල් 5-6 ක් දොවා ගන්නීය. නිදි ඇඳේ සිටින පියසේන පාන්දර අවදි වූ සැණින් කට සෝදා ජනේලයෙන් පිටතට දමා, ලොකු වීදුරුවකින් එකක් කිරි එක හුස්මට බීගෙන බීගෙන යයි. ඒ ඔහුගේ සිරිතය. ඉතුරු කිරි ගෙදර අය පානය කොට, ඉතිරිය ගම්වැසියන්ට විකුණයි.

මෙයින් වසර කීපයකට පෙර එක් නත්තලක් උදාවීය. නත්තලට ලොකු කසිප්පු වඩියක් ද පෙරන්නට යෙදිණි. පියසේන එදින උදෙන් ම ගමේ ඇවිදින්නට ගියේය. ගම කෙළවර නිවසකින් එළදෙනක් මිලදී ගෙන ගෙදර ගෙනාවේය. ගෙනැවිත් මිදුලේ දෙල් ගසේ බෙල්ල ගසට තබා බැන්දේය. කසිප්පු වීදුරු දෙකක් උගුරට ම හලා ගත් පියසේන පොරව අතට ගත්තේය. තමන් ඉදිරියට එන මාරයා දුටු එළදෙන මරණයේ පෙරනිමිති දැක දඟලන්නට වූවාය. පියසේන කොක් හඬ නඟා සිනාසුණේය. පියසේනගේ බිරිය ගෙනැවිත් දුන් තවත් කසිප්පු වීදුරුවක් උගුරට හළා ගෙන පිටි අතින් කට පිසදා ගත්තේය.

“ඕන්න... හරකියේ දැන් ඉතින් උඹ යන ලෝකය සිහිකර ගනින්...” යැයි කියා හෙº... හෙº... ගා ඔච්චමට සිනාසුණේය. දෑත බදා ඉහළට එසැවූ පොරව එළදෙනගේ හිසට එල්ල කළේය. මරබියෙන් දඟලමින් සිටි එළදෙනගේ හිසට එල්ලවූ පොරෝ පහර පියසේනගේ වෙරිමත නිසා මඳක් ලුහුටා ගියේය. එළදෙනගේ අඟකට වැදී අඟ කඩාගෙන ලිස්සා ගොස් ගෙල ගසට තබා බැඳි නයිලෝන් කඹය කැපී ගියේය.

අඟක් කඩාගෙන යෑමට තරම් වේගවත් පහරකින් තුවාල වූ එළදෙන දැඩි වේදනාවෙන් උඩ පැන්නාය. ඒ පියසේනගේ ඇඟ මතටය. බිම වැටුණු පියසේනගේ පපුවත් කුරවලින් තුවාල කරගෙන එළදෙන දිව්වාය. දිව්වා නොවේ ඉගිලුණාය. පියසේන ද තුවාල පිටින්ම එළදෙන පසුපස දිව්වේය. ඔහුගේ පුතෙකු ද අසල කුඩා කඩය ළඟ සිටි මිතුරන් සමඟ එළදෙන අල්ලා ගැනීම සඳහා පසුපස දිව්වේය. එළදෙන කෙළින් ම දිව්වේ තමන් කලින් සිටි ගෙදරටය.

ගෙදර මිදුලට දුවගෙන ගිය එළදෙන ඉස්තෝප්පුවේ සිටි නිවැසියන් දෙස මඳක් බලා සිටියේ “මගේ කිරි ටික දොවාගෙන බිව් උඹලා අන්තිමට මා මසට වික්කා නේදැ”යි නෝක්කාඩු කියා දොස් පවරන්නා සේය.

ඒ සමඟ ම කඹ කැති පොලු රැගෙන තමන් පසු පස හඹා එන මාර පිරිස දුටු එළදෙන එතැනින් වැව ඉස්මත්තේ පිහිටි දඹුලු කැලයට පැන ගත්තා ය. ඒ කැලයට ගිය සතෙක් නැවත අල්ලා ගැනීම බොරුවකි.

පියසේන කේන්තියෙන් ම ආපසු ගෙදර ගියේය. “පලයන් ගිහින් පුල්ලිව අරගෙන වරේන්” යැයි බිරියට නියෝග කළේය. හිතක් පපුවක් නැති මේ ගැහැනියට ද එහි අමුත්තක් නැත. පුල්ලී දිගේලි කැර සිටි තැනින් ලිහා ගෙනැවිත් ඒ දෙල් ගහේ ම බෙල්ල ගසට තබා “ඔන්න ඔහොම හිටින්” යැයි බැඳ දුන්නාය. උදේ පාන්දර හිස් බඩ ම බිව් කිරි බෝතල් තුන් කාලේ අයිතිකාරිය, කිරි අම්මාට පියසේන එවර එල්ල කළ පොරෝ පහර වැරදුණේ නැත. හිස දෙපළු වී ගියේය. මරහඬ නඟා ගෙන පුල්ලී උඩුකුරුව දඟලද්දී ම පියසේන මන්නා පහරකින් පපුව දෙපළු කොට ඇතුළට අත දමා පීකුද්ද කපා බිරිය අතට දුන්නේය. ඇය වහාම එය රැගෙන කුස්සියට රිංගුවේ පුල්ලී තවත් වේලාවක් දඟලන බව දන්නා නිසාය. එතෙක් මෙය වහා පිස පියසේනට “බයිට්” එකට (කටගැස්මට) දිය යුතු බව දන්නා නිසාය.

කලින් එළදෙන මරුවිකල්ලෙන් ඇඟට පැනීමත්, පපුව පාගෙන දුව යෑමත්, එයින් පසු එළදෙන අල්ලා ගන්නට පසුපස දුව යෑමත් නිසා වෙහෙසව සිටි පියසේන මඳක් විවේක ගත්තේය. කසිප්පු බෝතලය ද ළඟට ගෙන අගුපිළේ හිඳ, බිත්තියට හේත්තු වූයේය.

මේ අතර කඩේ පිටුපස සූදු පිටියේ සිටි සුනිල් පැරදී ගෙදර ආවේ තාත්තාගෙන් මුදලක් ඉල්ලා ගැනීමටය. කුස්සියෙන් එන පීකුදු සුවඳ පියසේනගේ හිත කෑදර කමෙන් පිපිරියාස කරයි. දැන් පුල්ලී දඟලා හමාරය. දැන් ඇය හම ගසා මස් කරන්නට ද උවමනාය. තරමක් දුරින් වූ ලන්දේ බැඳ සිටින පුල්ලීගේ පැටවා “උම්බෑ...” කියමින් හඬන හඩ් අද අමුතු බවක් ඇත. මේ නරුමයන්ට ඒවා වැටහෙන්නේ නැත.

සුනිල් තාත්තාගෙන් මුදලක් ඉල්ලුවේය. වෙහෙසත් වෙරි මතත් නිසා පියාගෙන් ලැබුණු උත්තරය පුතාට ඔරොත්තු දුන්නේ නැත. වචන පරුෂ වචන බවට පත්වී ඊ වේගයෙන් කන් සිදුරු පසාරු කැරගෙන ගියේය. බිත්තියට හේත්තු කැර තිබු පොරව සුනිල් අතට ආවේය. “බහ්...” එකම පොරෝ පහරින් හිස දෙපළු වූ පියසේන ද පුල්ලී අසල ම, පුල්ලී ගේ ලේ ගොඩේ ම කුජීත වූයේය. මේ කීවේ වසර ගණනකට පැරැණි කතාවකි. අදට මාස දෙකකට පෙර සිදුවූ අලුත් සිදුවීමක් ඒ කතාවට ඈඳෙන්නේ මෙසේය.

දැන් සරත් ද විවාහකයෙකි. ඔහුගේ බිරිය ද මේ පවුලට ම ගැළපෙන තැනැත්තියකි. මොවුන් පදිංචි නිවස අසල ගල්කණු ගොඩැල්ලකි. එනම් පෞරාණික ගල්කණු සහිත පුරාවිද්‍යාත්මක භූමියකි. වල් බිහිවූ පැරැණි පූජ්‍ය ස්ථානයකි. ඉන් එහා පැත්තේ ගමේ සුසාන භූමියයි.

සරත් ගල්කණු ගොඩැල්ලේ ගාත් හතර බැඳ දමා තිබුණු තඩි ඌරා ළඟට ගියේය. ඔහුගේ බිරිය ද ඊට අවශ්‍ය ආම්පන්න ද රැගෙන ඔහු පසුපස ගියාය. ගාත් හතර බැඳ තැබීම නිසා වියරුව සිටින ඌරා පිඹින සද්දය ඊට යාර පනහක් තරම් දුරින් පිහිටි කඩය ළඟට ද ඇසෙයි. සරත් ගේ මුවහත් පිහි පහර ඌරාගේ උගුරු දණ්ඩ හරහා එහා මෙහා ගියේය.

ලේ විදින ඌරාගේ පපුව දිගට පිහිය ඇද්දේය. නියමිත තැනට අත දැමු සරත් පීකුද්ද කපා බිරිය අතට දුන්නේය. ඇය කුස්සියට ඉගිලුණාය. ඌරා තවමත් දඟලයි. ලුණු මිරිස් සමඟ තෙම්පරාදු වන පීකුදු සුවඳ සරත්ට දැනේ. කසිප්පු කාලක් දෙවරකට ගුඩුස් ගුඩුස් ගෑවේය. සරත් හුළු අත්තක් දල්වා තවමත් දඟලන ඌරාගේ මවිල් පුච්චන්නට පටන් ගත්තේය. ඒ පැත්ත මේ පැත්ත පෙරළමින් පිච්චුවේය.

බිරිය පීකුදු තෙම්පරාදුව මැටි කෝප්පයකට දමා ගෙන ආවා ය. සරත් උණු උණුවේම කෑල්ලක් දෙකක් තලු මැරුවේය. “මරු... උඹත් කාහං...” බිරියට කීවේය. “මට එපා මං ලුණු ඇඹුල් බලන්න ටිකක් කෑවා. ඔයා කන්නැ”යි ඇය කීවාය.

“දැන් ඉතින් ඉක්මනින් ඕක මස් කරන්න. හැන්දැ වෙන්න කලින් කඩ ළඟට ගිහින් දෙන්නත් එපායැ”යි තවදුරටත් කීවාය.

සරත්ට එය නෑසුණා සේය. ඔහු ගොරවන්නට වූයේය. පිඹින්නට වූයේය. දෑත් පහළට දමා දෙකට නැමී ඌරෙකු සේම මළ ඌරා වටා කරකැවෙන්නට වීය.

“රත්නසිරි අයියේ... අනේ ඉක්මනට එන්නෝ... සරත්ට ලෙඩාක්...”යි සරත්ගේ බිරිය නුදුරු කඩේ මිදුලේ සිටි රත්නසිරි දැක කෑ ගැසුවාය. රත්නසිරි ද ඒ දෙස බලා “ඕකට වෙරි...”යි කියා සිනාසුණේය.

“නෑ... නෑ... රත්නසිරි අයියේ ඉක්මනින් එන්නෝ...”යි ඇය නැවත ද කෑ ගැසුවාය. ඒ හඬට සරත්ගේ මව ද එතැනට දුවගෙන ඇවිත් විලාප දෙන්නට වූවාය.

ඇත්තට ම මෙතැන මොකක් හෝ අමුත්තක් සිදුවී ඇතැයි සිතූ රත්නසිරි ද කඩය ළඟ සිටි තවත් කීප දෙනකු ද කැඳවාගෙන එතැනට දිව්වේ ය. මේ වන විට සරත් ඌරෙකු සේ පිඹිමින් ගල් කණු ගොඩැල්ල නගිමින් සුසාන භූමිය දෙසට ගමන් කරමින් සිටියේය. ඉදිරියෙන් ම දුවගෙන ගිය රත්නසිරි සරත් අල්ලා නතර කැර ගැනීම සඳහා ඇඟට අත තබන විටම සරත්ගේ අතට විදුලිසැර වැදුණා සේ පස්සට වීසි වුණේය. රත්නසිරි කල්පනා කළේය. තමන් බෙල්ලත්තර බෝධි සත්ත්ව මාලිගයේදී බන්දවා ගත් පිරිත් නූල දකුණු අතේ ඇත. ඒ ගැන සිතූ ඔහු එහි පවතින බලය ගැන අධිෂ්ඨාන කොට සරත් ගේ බෙල්ලට ම පැන්නේය. සරත් ඉතා නපුරු හඬකින් ගොරවා රත්නසිරිව බිම පෙරළා යට කැර ගත්තේය. රත්නසිරි ද සම්පූර්ණ ජවය යොදා සරත්ගේ ග‍්‍රහණයෙන් මිදුණේය. ඒ සමඟ ම එතැනට පැමිණි අනිකුත් උදවියගේ සහාය ඇතිව සරත් අල්ලා අතපය බැඳ නිවසට ගෙනාවේය. ඉන්පසු පිළිවෙත් ගණනාවක් සිදුකොට සරත් සුවපත් කැර ගත් අතර දැන් ඔහු සතුන් මැරීම, සතුන් එකතු කැර මසට විකිණීම හා කසිප්පු ජාවාරම අතහැර යහපත් ජීවිතයක් ගෙවන බව දැනගන්නට ඇත. පන්සල් යන බව ද ආරංචිය.

එසේ ම මේ ගමට පැමිණ ගවයන් එකතු කැර ගෙන සතියකට ගවයන් 40-50 ක් ලොරි පිටින් මස් මඩුවට ගෙන යන මහා ධනවත් ධර්මසේන මුදලාලි ද දැන් කර්මානුකූල රෝගයකට ගොදුරුව ඇත. ඔහුගේ සිරුර පුරා අඟලක් නෑර හටගත් කුෂ්ටයක් නිසා කසමින්, තොරතෝංචියක් නැතුව කසමින්, විලාප දෙමින් දුක් විඳී. එය මුදල් බලයෙන් සුව කළ නොහැකිව සිටී. මේවා මල් වට්ටියක් පුදා බෝධි පූජාවකින් පමණක් ම සුව කළ නොහැකි බවත්, තමන් කළ කර්මය තමන් ම ගෙවිය යුතු බවත් ගලිගමුවේ ඤාණදීප හිමියෝ පවසති. තමන් මාස කීපයක් ආරණ්‍යගත වී බණ භාවනා කොට දැඩි වීර්යයක් වෙහෙසක් ගෙන ධ්‍යාන සමාපත්ති වඩා කර්මය ගෙවිය යුතුය. එසේ නැතහොත් දුක් මහන්සි වී, අසාධාරණයෙන් හෝ ඉපැයූ ධනය අලුතින් ආරණ්‍ය සේනාසන ආරම්භ කිරීමට, භාවනා කුටි ඉදිකිරීමට, වෙහෙර විහාර ඉදිකිරීමට, දුප්පතුන්ට නිවාස ඉදිකිරීමට වැනි දෙයට වැය කොට කර්මය ගෙවිය යුතු යැයි ද පැවසූහ.

(මේ සිද්ධී පිළිබඳ තොරතුරු සැපයූ වයි.ආර්.පී. පද්මසිරි මහතාට, සම්පත් අබේවීර මහතාට සහ මතුගම මහින්ද විජේතිලක මහතාට ස්තුතිය)


අංජනම





















ආසාව මිනිස් සිතේ ස්වභාවයකි. පි‍්‍රයමනාප දේ දැකීමට, ඇසීමට, ආඝ‍්‍රාණයට, කෑමට බීමට ඇති කැමැත්තත්, ශරීරයට සුව පහසු පහස ලබා දීමට ඇති කැමැත්තත්, මිනිසුන් අතර පමණක් නොව සතා සිවුපාවා වෙත ද පවතී.

කුහුඹුවන් හා මීමැස්සෝ වැසි කාලයේ ප‍්‍රයෝජන ගැනීම සඳහා ආහාර ගබඩා කැර ගනිති. ඒ හැරෙන්නට කිසිම සතෙක් තමන්ගේ කුසට ප‍්‍රමාණවත් ආහාරයක් අනුභව කරනවාට වඩා තොග රැස් කැර ගැනීමට කටයුතු නොකරයි.

එහෙත් මිනිසා තමන්ට පමණක් නොව තවමත් නූපන් දරු මුණුපුරන් සඳහා ද ධන සම්පත් රැස් කැර ගැනීම සඳහා කටයුතු කරන්නේ කිසි දිනක සෑහීමකට පත් නොවෙමිනි. ආසාව උග‍්‍ර වී දැඩි තණ්හාව බවට පත්වෙමින් වතුපිටි මිල මුදල් රැස් කිරීමට හඹා යති.

එවැනි උත්සාහයක් දැරූ විදේශීය වතු වැවිලිකරුවකු හා ඔහුගෙන් පසු ඊට වෙහෙසුණු අපේ මිනිසුන් කීප දෙනකුගේ කතාවකි මේ.

මේ කතාවේ මුල් කොටසට අවුරුදු දෙසිය ගණනකට සමීප ඉතිහාසයක් ඇත. දෙවැනි කොටසට ඇත්තේ අවුරුදු තිස් පහක පමණ ඉතිහාසයකි.

කතාව මතු වෙන්නේ දෙවැනි කොටසෙනි. එහු කතා නායකයා මගේ මිතුරෙකි. කාලයක් මෙරට ජනපි‍්‍රය ගුප්ත විද්‍යා පත‍්‍රයකට ලිපි සැපැයූ ලේඛකයෙකි. කොයිතරම් මිතුරුකමක් තිබුණත් ඔහු මේ කතාව මා සමඟ කීවේ නැත.

ඒ නිසා ඔහුගේ නම සඳහන් නොකරන්නට වගබලා ගනිමි. ඒ වෙනත් දෙයක් නිසා නොව බැණුම් අහන්නට බැරි නිසාය.

බොහෝ යක්ෂයන් භූතයන් සමඟ පයුරුපාසානයේ යෙදුණු මේ මිත‍්‍රයා මා දන්නා හඳුනන ස්වාමීන් වහන්සේ නමක සමඟ මේ කතාව කියා තිබිණි. මම එය උන්වහන්සේගෙන් අසා දැන ගත්තෙමි. දැන් අපි කතාවට යමු.

මෙය අදින් සියවස් දෙකකට ආසන්න කාලයෙක බදුල්ල ප‍්‍රදේශයේ සිදුවූවකි. ඔහු විදේශිකයෙකි. සුදු ජාතිකයෙකි. වැවිලිකරුවෙකි.

බදුල්ල ප‍්‍රදේශයේ විශාල වතුයායක තේ වගා කළේය. ඒ යුගයේ මැණික් සඳහා අද මෙන් විශාල ඉල්ලුමක් නොතිබුණත් මැණික්වල වටිනාකම මේ සුද්දා දැන සිටියේය.

තේ වගා කරන අතර හේ මැණික් ගැරවීම ද මැණික් මිලදී ගැනීම ද සිදු කෙළේය. සුළු මුදලක් ගෙවා මැණික් මිල දී ගත් අතර ඔහු ඒවා ලොකු වීදුරු බෝතල් පහක එක්රැස් කළේය.

මේ වතුයාය හරහා ගලා ගිය ඇළක් ද වීය. බංගලාවට එහායින් ගලා ගියමි ඇළට බංගලාවේ හා වත්තේ වතුර ද ගලා ගියේය. මේ ඇළේ ද සුද්දා මැණික් ගැරෙව්වේය.

මේ අතර එංගලන්තයේ ජීවත්වූ ඔහුගේ බිරිය අසනීප වී ඇති බව දැනගන්නට ලැබීම නිසා ඔහුට සිය රට බලා යෑමට සිදුවිය.

ඔහු සියරට යෑමට පෙර ඉතා විශ්වාසවන්ත වූ සේවකයකු ලවා ඇළ අසල වළක් කපා මැණික් බෝතල් පහ එහි තැන්පත් කොට කොන්කී‍්‍රට් දමා වසා දැම්මෙව්වේය.

එකල අද මෙන් නොව ගුවන් යානා ගමනාගමනය ඉතා විරල වූ අතර බහුල වශයෙන් වූයේ නැව් ගමනාගමනයයි.

සුද්දා බිරිය බැලීමට යෑම සඳහා නැව් නැංගේය. එහෙත් නැව ගමන් ආරම්භ කොට දින දෙකක් ගත වන විට මැලේරියාව වැළඳීම නිසා එයින් ම සුද්දා මියගියේය.

බංගලාවේ සිටි විශ්වාසවන්ත සේවකයා ද මැලේරියාව වැළඳී මිය ගියේය. සුද්දා මිය ගියේ මැණික් බෝතල් තුන පිළිබඳ ආශාව තදින් සිත්හි තබාගෙනය.

කෙසේ නමුත් මේ මැණික් නිධානය පිළිබඳව බංගලාවේ සිට මියගිය සේවකයාගේ බිරිය දැන සිටියාය. වතුයාය මැදින් ගලා ගිය ඇළේ දිය පහරේ වේගයෙන් ම කාලයක් ගතව ගියේය.

මේ අතර වරින්වර කීප දෙනකුම මේ මැණික් තොගය ලබා ගැනීම සඳහා මිනිසුන් පවා බිලි දෙමින් කටයුතු කළත් එසේ උත්සාහ කළ අය කුමන හේතුවකින් හෝ මිය ගියා මිසක මැණික් ලබා ගැනීමට නම් නොහැකි විය.

එක්දහස් නවසිය හැටේ දශකයේ අග භාගය මේ රටේ ගුප්ත විද්‍යා පුවත්පත් ඉතා ජනපි‍්‍රය වූ යුගයක් විය. අපේ මිත‍්‍රයා ද ගුප්ත විද්‍යාධරයන් සමඟ නොයෙකුත් ගවේෂණ සිදු කළේය. අත්හදා බැලීම් කළේය.

මේ අතර බදුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයන් හතර දෙනෙක් අපේ මිත‍්‍රයා සොයා ගෙන ආවෝය. දසකන් මන්ත‍්‍රණයක් රහසේ පැවැත්විණි. වැඩේ සාර්ථක වුණොත් අපේ මිත‍්‍රයාට ලැබෙන මැණික් කොටස ද සුළුපටු නොවීය.

ඒ කොටස මැණික් බෝතල් පහෙන් එකකි. ඔහු ද ඔවුන් සමඟ වාචික ගිවිසුමකට එළැඹියේය. මේ භාරදූර කාර්යය සඳහා මූලික වියදම් පිණිස සෑහෙන මුදලක් ද ලැබුණේය.

අපේ මිත‍්‍රයා ළඟ බලවත් අඳුනක් වීය. එය ඔහුට නොපෙනුණු අතර වෙනත් කෙනකුට හොඳින් පෙනුණේය. බදුල්ලේ වත්තේ නිධානය අසලින් පස් ටිකක් ගෙන්වා අවශ්‍ය පුද පූජා පවත්වා අඳුන බැලෙව්වේය.

ගලා යන ඇළ පාරක්, ඒ අසල දෙල් ගසක්, අඩි පහක් යට මැණික් බෝතල් පහක්, රැවුල වවා ගත් සුද්දෙක් ලන්තෑරුමක් අතින් ගෙන නපුරු බැල්මකින් යුතුව එතැන සිටිනා බවත්, මිනිසකු බිල්ලට දිය යුතු බවත් අඳුන බැලු අය පැවසුවේය. අඳුන බැලූ පුද්ගලයා කොයි තරම් බියට පත් වූයේ ද යත්.

“අනේ මහත්තයෝ මීට පස්සේ නම් මම අඳුන බලන්නෙත් නෑ. මට අඳුන බලන්න අඬ ගහන්නත් එපා” යැයි කියා යන්න ගියේය.

මේ වන විට අපේ මිත‍්‍රයා ගුප්ත විද්‍යා ගවේෂණ සඳහා මලයාලම් ඇදුරකු හා මිත‍්‍ර වී සිටියේය. ඔහුට කර්ණමුණ්ඩ බලයෙන් භූතයන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබිණි.

මේ දෙදෙනා ඒ වන විටත් පාළුවට ගොස් තිබුණු වතු බංගලාවට ගොස් වැඩ කටයුතු ආරම්භ කළහ. ඔවුන්ට අවශ්‍ය ආහාරපාන පහසුකම් සැපයීම වැඩය බාරදුන් හතර දෙනා අතින් සිදුවීය.

මෙය ඉතා බාරදූර කාර්යයක් බැවින් මාසයක් පමණ ජීවම් කිරීම් කටයුතුවලට ගත වන බව ද ප‍්‍රකාශ වීය. මේ මැණික් නිධානයට අරක් ගත් යක්ෂයා මිනී බිල්ලක් ඉල්ලා සිටි අතර, මිනී මරන්නට නොහැකි බවත්, ඒ සඳහා ලේ පයින්ට් නවයක් දීමට යක්ෂයා සමඟ ගිවිස ගත්තේය.

එය මුදලක් දී ලේ බැංකුවෙන් ලබා ගැනීමට රෝහල් සේවකයකු ද කැමති කරවා ගත්තේය.

දැන් අපේ මිත‍්‍රයාත් මලයාලම් ඇදුරාත් පාළු බංගලාවේ සිට රහසිගතව ජීවම් කටයුතු කැර ගෙන යති.

ඔවුන් දහවල් නාන්නට ගියේ ද ඇළේ මැණික් නිධානය තිබු ස්ථානය අසලට ම ය. දැන් අපේ මිත‍්‍රයා ගේ කල්පනාව මැණික් නිධානය රැගෙන මලයාලම්කරු සමඟ අනිත් හතර දෙනාට හොරෙන් පලා යෑමට ය.

දිනක් මේ දෙදෙනා දහවල් නාන්නට ගියේය. මලයාලම්කරු ගලක් උඩ හිඳ ගෙන සිටියේය. අපේ මිත‍්‍රයා ඉක්මණින් ම නාන්නට පටන් ගත්තේ ය.

දිය යට ගිය මිත‍්‍රයා දියෙන් උඩට ඇවිත් බලන විට මලයාලම්කරු විකෘති වී අමුතු ස්වභාවයක් ගෙන සිටියේය.

“අයිෂෙ, මොකද? කරන්නේ. ඕයි නානවනං නානවා. තමුසෙලා සැප ගන්න ද ඇවිත් ඉන්නේ” යි හදිසියේ ම කැලෙන් මතු වූ අර හතර දෙනාගෙන් එකෙක් ඇසුවේය.

පෙරදී “මහත්තයා, මහත්තයා” යැයි කතා කළ ඔවුන් කතා කරන්නේ ද “ඕයි, අයිෂේ, තමුසේ” ආදී වශයෙනි. මේ වන විට අස්වභාවික ස්වරූපයක් ගෙන සිටි මලයාලම්කරු හූ තියාගෙන ගලෙන් පහළට වැටුණේය.

ඔහුට සාත්තු සප්පායම් කොට සිහිය ආ පසුව අනිත් පස්දෙනා ඔහු බංගලාවට ගෙන ගියහ.

තමාගේ තුනටියේ ඇටයක් පුපුරා ඇති බවත්, දැන් නැගිටින්නට තබා හෙල්ලෙන්නටවත් නොහැකි බවත් මලයාලම්කරු පැවසුවේය. ගමේ හතර දෙනා ඔහුට සිංහල වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ලබා දීමට සූදානම් වන විට එය නුසුදුසු බවත්, එසේ කළොත් මේ රහස පවා හෙළිදරව් විය හැකි බවත්, තමන්ට පුරුදු වී ඇත්තේ ද ඉංගී‍්‍රසි බෙහෙත් බවත්, ආබාධිතයා පැවසූ බැවින් ඔහු රෝහල් ගත කළේය. මලයාලම්කරුගේ සාත්තුවට නතරවීමට අපේ මිත‍්‍රයාට සිදුවීය.

අනිත් හතර දෙනා මේ දෙදෙනාට අවශ්‍ය පහසුකම්, ආහාරපාන සපයා දී නැවත හෙට උදෙන් ම එන බව පවසා පිටත්ව ගියහ.

රෝගියා රෝහලට ඇතුළත් කොට පැය කීපයක් ගතවුණත් තවමත් ප‍්‍රතිකාරයක් නැත.

අභ්‍යන්තර බිඳීමක් නිසා වෛද්‍යවරු පරීක්ෂණ කරන්නේ ;හට උදේය. ඒත් රෝගියාගේ කෙඳිරි ගෑම නම් ටිකක් අඩුවී තිබීම සාත්තුකාරයාගේ හිතට තරමක සහනයක් වීය.

අපේ මිත‍්‍රයා මේ ගමන ආවේ දහසක් බලාපොරොත්තු තබා ගෙනය. අවශ්‍ය ප‍්‍රධාන කාර්යභාරය සඳහා කැඳවාගෙන ආ ඇදුරාගේ කොන්ද බිඳී ඇත.

මේකත් භූතයන්ගේ ම වැඩක් ද? මැණික් නිධානය ගැනීම වළක්වාලීම සඳහා කළ දෙයක්ද? එහෙම වුණොත් මේ තරම් දවස් මහන්සිවීම වතුරේ යාවිද? මැණික් බෝතල් පහක්. පරම්පරා දහයකටත් ඇති. ඒත් ඉතින්? ඔහුගේ ඔළුව යකාගේ කම්මල වැනිය.

රාති‍්‍ර නවයට පමණ මලයාලම්කරු ඇඳෙන් නැගිට්ටේය. තමන්ගේ ඔලගුව සකස් කැර ගත්තේය.

“මොනවා? තමුසෙට ඉබේම සනීප වුණාද? හෙල්ලෙන්න බෑ කියලා අපේ කරපිටින් ආ මිනිහා දැන් නැගිටලා. මොකක්ද තමුසෙට වුණේ?” අපේ මිත‍්‍රයා ඇසීය.

“මටනම් මොනවත් වුණේ නෑ. මහත්තයාට වෙන්න තිබුණු දේ මම යන්තම් ගලෙන් ලිස්සලා බේර ගත්තා.

මහත්තයා මීට පස්සේ නම් ඔය වගේ වැඩ බාර ගන්න එහෙම එපා. මම නම් එන්නේ නෑ” යි ඇදුරා කීවේය.

“ඇයි? ඇයි? මොකක්ද වුණේ?”

“මහත්තයා දවල් නාන කොට අර හතර දෙනා කැලේ ඉඳල මතු වුණේ පිස්තෝල හතරකුත් අතේ තියා ගෙන. මම දැනගත්තා මේ අය එන්නේ මහත්තයා මරලා මට කියලා නිධානෙ අරගන්න. ඊට පස්සෙ මාව මරා දානවාට කිසිම සැකයක් නෑ.

දැන් නිධානය ගත්තත් ඔය මිනිස්සු අපි දෙන්නව මරනවා. නොගත්තත් මරනවා. මහත්තයා තණ්හාවෙන් අන්ධ වුණාම උන්ට හොඳ නරක පේන්නේ නෑ. මහත්තයට මේ අනතුර නොපෙනුණෙත් ඔය තණ්හාව නිසාමයි. ඔය මැණික්වලට වඩා ජීවිතේ වටිනවා.

ඒකයි මම ගලෙන් ලිස්සලා වැටිලා තුනටිය බිඳුණා කීවේ එතැනින් මහත්තයත් බේරාගන්න ඕනැ නිසයි. දැන් හෙමින් සැරේ මේ ඉස්පිරිතාලෙන් පැනලා යමු යන්න. පයින් ගියත් එළිවෙන කොට හැතැප්ම දහයක් පහළොවක් යා ගන්න පුළුවන්” කියමින් මලයාලම්කරු වටපිට බැලුවේය.

රෝහල් සේවකයන් පෙනෙන තෙක් මානයක නැත. අනිකුත් රෝගීන් ගොරව ගොරවා නින්දේය. ඔහු වාට්ටුවෙන් පිටවූයේය.

අඩියට දෙකට මහ පාරට පැන ගත්තේය. ඔහු අනුගමනය කරනවා හැරෙන්නට අපේ මිත‍්‍රයාට ද වෙනත් කළ හැකි දෙයක් නොවීය.

“තන්හාය ජායතී ශෝකෝ. තණ්හාය ජායතීය භයං” අර හතර දෙනාට අහුවුණොත් බේරී පලා යන්නට ද නොලැබෙනු ඇත.

අඳුර මැදින් දෙදෙනෙක් ජීවිතය සොයා ඉක්මන් පියවර තැබූහ.