ආපසු හැරෙන්න බැහැ රාජිත

2009 රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මාන 6ක් දිනා ගැනීමට රාජිත දිසානායකගේ ආපසු හරෙන්න බැහැ වේදිකා නාට්‍ය සමත්විය. එහිදී හොදම නාට්‍ය, හොදම අධ්‍යක්ෂණය (රාජිත දිසානායක),‍ හොදම නළුවා (සෞම්‍ය ලියනගේ), හොදම සහය නිලිය(ජයනී සේනානායක), හොදම පිටපත දෙවන ස්ථානය, හොදම වේදිකා පරිපාලනය(මලිත් පීරිස්-බන්දුල හේවගේ) යන සම්මාන එම නාට්‍යයට හිමි විය.
මීට අමතරව හොදම නිලිය සම්මානය කේ.බී. හේරත්ගේ ජගන්මා වේදිකා නාට්‍යයේ මාදනී මල්වත්තද, හොදම සහය නළුවා සම්මානය අහිංසකයන්ගේ ආරාමය වේදිකා නාට්‍යයේ ජෙහාන් ශ්‍රී කාන්තද හිමිකර ගත්හ.
50 වැනි වරට පැවැති මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය සදහා චාමික හත්ලහවත්තගේ හරි අපූරු දවසක්(ආරාධිත), සංජීව උපේන්ද්‍රගේ අහිංසකයින්ගේ ආරාමය, සහන් රන්වලගේ සහන් රන්වල අසයි වෙලාව කීයද?, කේ.බී.හේරත්ගේ ජගන්මා, රාජිත දිසානායකගේ ආපසු හැරෙන්න බැහැ, සුනිල් චන්ද්‍රසිරිගේ සිහිනවලට පාට දෙන්න, කේ. මෝහන් කුමාර්ගේ මුට්ටෙ, කේ. සෙල්වරාජ්ගේ ආල් කඩලිල් ඔරු සප්තම් යන නාට්‍ය තේරීපත් විය.

නාට්‍යවේදී රාජිත දිසානායක

1994 වසරේ ‘සක්වාදාවල’ ඔස්සේ නාට්‍යකරණයට ප‍්‍රවිෂ්ට වූ රාජිත දිසානායක නාට්‍ය කලාව සුපෝෂණය කළ නව පරපුරේ නාට්‍යවේදීන් අල්ප දෙනාගෙන් ප‍්‍රමුඛයෙකි.

1999 – 2009 දශකයෙහි ඔහු නිර්මාණය කළ ‘මට වෙඩි තියන් නැද්ද’, ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරං’, ‘ආපහු හැරෙන්න බෑ’ යන නාට්‍ය ඇතුළත් උළෙලක් ජූලි 23 සිට 26 වැනිදා දක්වා පස්වරු 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.

මේ නාට්‍ය සියල්ලෙන් ම සමකාලීන ලාංකේය සමාජය චිත‍්‍රණය කෙරේ. ස්වකීය දශකයක නිර්මාණ සංහිතාව මෙලෙස පෙළ ගැස්වීමට රාජිත උත්සුක වූයේ මන්ද?

”මේ සඳහා බලපෑ කාරණා කිහිපයක් තිබෙනවා. මෙබඳු උළෙලවල් සංවිධානය කිරීම හරහා අප නියැළී සිටින රංග කලාව වෙත ජනතාවගේ අවධානය යොමු කරවා ගැනීම එකක්. දෙවැන්න පසුගිය දශකයේ මගේ නිර්මාණ වැඩි පෙ‍්‍ර්ක්ෂක පිරිසක් වෙතට ගෙන යෑමට මේ ඔස්සේ හැකිවීමයි.

පසුගිය කාලයේ අපගේ නිර්මාණ නැරඹූ, ඒවාට ඇලුම් කළ පෙ‍්‍ර්ක්ෂක පිරිසක් වගේම නොබැලූ පිරිසකුත් ඉන්නවා. මොවුන් සමඟ යළිත් මේ නිර්මාණ දෙස ආපසු හැරී බැලීම මෙහි අරමුණක්. අනෙක ඉතා කැපවීමෙන් රංග කලාවේ නියැළෙන නළු නිළි ශිල්පීන් පිරිසක් මා සමඟ එකතු වී සිටිනවා.

ඒ අයගේ දායකත්වය ඇගැයුමට ලක් කිරීමත් මගේ එක් පරමාර්ථයක්. පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහන මිලකට මේ නාට්‍ය පෙළ නැරඹීමට අවස්ථාව ලබා දෙමින් ඔවුන්ගේ සහභාගීත්වය වැඩියෙන් ලබා ගැනීමට අප උත්සහ කළා. අනෙක සියලු නාට්‍ය නැරඹීමට අවශ්‍ය පෙ‍්‍ර්ක්ෂකයන්ටත් ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීමේදී අපි සහනයක් ලබා දෙනවා. දැනට අපි සාකච්ඡා කරමින් සිටිනවා කොළඹින් පිට ප‍්‍රාදේශීය මට්ටමට මේ නාට්‍ය උළෙල රැගෙන යෑමට.”

නූතන පරපුරේ බොහෝ නාට්‍යවේදින් පරිවර්තන නාට්‍ය කෙරෙහි වඩාත් නැඹුරු වූ බැව් පෙනෙනවා. ඔවුන් ලාංකේය සමාජ ප‍්‍රශ්න වෙත බැල්ම හෙළුවේ විදෙස් නාට්‍ය කෘති ඇසුරින්. ඔබ මෙරට සමාජය කියැවූයේ ස්වතන්ත‍්‍ර නිර්මාණ ඔස්සෙයි. මෙය ඔබේ නාට්‍ය භාවිතාවේ වෙසෙස් ලකුණක් සේ මා දකිනවා.

ඊට හේතුව මෙසේ කිව හැකියි. පාසල් වියේ එනම් 1988, 1989 කාල වකවානුවේ මා අත්විඳි අත්දැකීම් පාසල් වේදිකාව හරහා පළ කරන්න මට අවශ්‍ය වුණා. අපේ යාළු මිත‍්‍ර සමූහය ඇතුළත රචනා කාර්යය පැවරුණේ මටයි. අප අවට සිදුවන දේ දැකීමට, සිතීමට හැඟීම් පළ කිරීමට තිබෙන හොඳම මාධ්‍යය නාට්‍යය ලෙස මෙහිදී මට වැටහුණා. අඛණ්ඩ ව මා නාට්‍ය රචනයෙහි යෙදෙමින් අභ්‍යාස කළා.

මේ නාට්‍ය උළෙලේ නාට්‍ය හතර ගෙන බැලුවත්, කිසියම් විදිහකට පසුගිය දස වසර තුළ සමකාලීන ජීවිතය, සමාජය තුළ සිදුවන විපර්යාස, මානව සබඳතාවල වෙනස්කම් වෙත කැඩපතක් ඇල්ලීමයි මෙමඟින් සිදු වී තිබෙන්නෙ. ඒ නිසාම මේ නාට්‍ය රචනාවල ස්වරූපය සෙසු බොහෝ නාට්‍යවලට වඩා වෙනස් වුණා. ඇතැමුන්ට මෙහි අලුත් බවක් පෙනෙන්නට ඇත්තේ ඒ නිසා විය හැකියි.

සමාජය දෙස බැලීමෙන් මා තුළ ඇතිවන හැඟීම්, ආවේගයන්, විරෝධයන් මට පළ කිරීමට, අත්දැකීම් හුවමාරු කර ගැනීමට තිබෙන මාධ්‍යයක් ලෙස මා නාට්‍ය රචනා කළා. මුල් යුගයේ මේ රචනා ඇතැම් අයගේ විරෝධතාවන්ට, විවිධ ගැරහුම්වලට පවා ලක්වුණා. තවමත් සමහර නාට්‍ය ඔවුන් කැමැත්තකින් පිළිගන්න සූදානම් නැහැ.”

ඔබ නාට්‍යකරණයට පිවිසියේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසයි.

”කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ අපි මුලින්ම ඉදිරිපත් කළ නාට්‍යය ‘සක්වාදාවල’ (1994) යි. ඉන්පසු ‘හංසයින්ටත් මං ආසයි’ (1996) නාට්‍යය නිර්මාණය කළා. ලියනගේ අමරකීර්ති, පියල් කාරියවසම් ආදින් මට සමකාලීනව කොළඹ සරසවියේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන්. සෞම්‍ය ලියනගේ කැලණිය විශ්විද්‍යාලයේ වුණත් වැඩි කාලයක් ගත කළේ අපත් සමඟයි. මගේ නාට්‍යවලට මුල් වකවානුවේ සිටම ඇලුම් කළ, සමීපව විඳපු පෙ‍්‍ර්ක්ෂක සමූහයක් සිටියා.

මොවුන් නිරන්තරයෙන් වැඩි දියුණු වුණා. නිදර්ශනයක් ලෙස මගේ “වීරයා මැරිලා” නාට්‍යය අපි දර්ශනවාර 100 ඉක්මවූවා. එමෙන්ම “සිහින හොරු අරන්” නාට්‍යය දර්ශන වාර 60 කට වඩා අපි පෙන්නුවා. ලංකාවේ ප‍්‍රාදේශීය මට්ටමෙන් වගේම ඉන්දියාවේ භාරත් රංග මහෝත්සවයෙත් අපි මෙය වේදිකා ගත කළා. ඊට අමතරව යුරෝපයේ රටවල් පහක ලාංකික පෙ‍්‍ර්ක්ෂකයන් උදෙසා මෙය පෙන්විය හැකි වුණා.

‘ආපහු හැරෙන්න බැහැ’ නාට්‍යයටත් දර්ශන වාර 50 ඉක්මවන්නට අවස්ථාව ලැබී තිබෙනවා. පෙ‍්‍ර්ක්ෂකයා නාට්‍ය කලාවෙන් ඈත් වූ සමයක අපේ නාට්‍ය වෙතට කිසියම් පෙ‍්‍ර්ක්ෂකාගාරයක් ඇති කර ගැනීමට අපි සමත් වුණා. ඒ විශ්වාසයත් සමඟ තමයි පෙර අප කළ නාට්‍ය යළිත් මෙලෙස රංග ගත කරන්නේ”

ඔබේ බොහෝ නාට්‍ය නිර්මාණවලට පාදක වූයේ සමාජ, දේශපාලන තේමාවන්. ඒවා නරඹන විට ප්ලෙකනෙව්, ලුනචර්ස්කි, ජෝර්ජ් ලුකාෂ් වැනි විචාරකයන්ගේ සමාජීය සාහිත්යික මතවාද මට සිහිපත් වෙනවා. පෙර පරපුරේ ඔබට ආභාසයක් වූ නාට්‍යවේදින් ගැන පැවසුවොත්?

”කුඩා කාලයේ සිට ම නාට්‍ය නැරඹීමේ පුරුද්ද මට තිබුණා. මගේ පියා මාව නාට්‍ය බලන්න එක්ක ගියා. මට ආභාසයක් වූ ප‍්‍රමුඛතම නාට්‍යවේදියා ධර්මසිරි බණ්ඩාරනායක. එමෙන්ම මා වඩාත් පි‍්‍රය කළ නාට්‍ය ලෙස සයිමන් නවගත්තේගමගේ ‘සුභ සහ යස’ හා පරාක‍්‍රම නිරිඇල්ලගේ ‘උත්තමාවි’ හඳුන්වන්න පුළුවන්. සමාජ, දේශපාලන තේමා රැගත් නාට්‍යවලට මගේ හිත ඇදී ගියා. කොහොමටත් අපේ සියලු නාට්‍යකරුවන්ගේ නාට්‍ය නැරඹීම මගේ පුරුද්දක්.”

අද්‍යතන නාට්‍යවේදියාගේ සමාජ මෙහෙවර පිළිබඳ ඔබේ අර්ථකථනය කෙසේද?

”මූලික වශයෙන් කලාව වැඩි වශයෙන් කතා කරන්නේ දේශපාලනික අරමුණු සමඟයි. නාට්‍ය රචකයාට ඉන් මිදෙන්න බැහැ.

ඒ වගේම ඔවුන්ට වින්දනාත්මක මෙහෙවරක් සඳහා මැදිහත් වීමටත් වගකීමක් තියෙනවා. අපි විශේෂයෙන් නාට්‍ය ඔස්සේ ඇති කළ යුත්තේ වින්දනාත්මක සිතීමක් සඳහා පෙලැඹවීමක්. මේ රසවින්දනාත්මක අත්දැකීම හරහා තමා පිළිබඳ ව තමා ජීවත්වන සමාජය, වටපිටාව පිළිබඳ හැඟිමක් ඇති කරවීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. තමන් කවුද යනු මිනිසුන්ට දැන ගැනීමට ලැබෙන කැඩපත තමයි කලාව. මානව සබඳතා සේම අන් අයගේ වේදනාවන් දැන ගැනීමට උදව්වෙන්නේ මේ කලා මාධ්‍යයන්. මේ ඇසුරේ අඩුව තමයි සමාජයේ බොහෝවිට අපට දකින්න ලැබෙන්නෙ.

88, 89 අවධිවල අපට ඇතිවූ මරණ භය, ජීවත්වීමේ ආශාව පිළිබඳ හැඟීම, එවැනි අඳුරු කාලවලවලදී අපට දැනුණු වේදනාව ප‍්‍රකාශ කරන්න නාට්‍ය කලාව ඉවහල් වුණා. 1994 වන විට අප තුළ තිබූ අපේක්ෂා බිඳ වැටීමේ ශෝකය පළ කරන්න අප මේ මාධ්‍යය යොදා ගත්තා. තවත් පැත්තකින් නූතන ජනමාධ්‍ය මිනිස් සිතුම් පැතුම් හැසිරවීමට පටන් ගැනීමත් සමඟ අප මුහුණ පෑ අත්දැකීම් අන්‍යයන් සමඟ බෙදා ගැනීමටත් නාට්‍ය කලාව ඉවහල් වුණා.”

පසුගිය දශක කිහිපයේ සිදුවූ සමාජ විපරිණාමය නාට්‍ය කලාවේ ප‍්‍රගමනයට වඩාත් අහිතකර ලෙස බලපෑවා. මේ අනුව ඔබ ඇතුළු තරුණ නාට්‍යකරුවන් අල්පදෙනෙක් මේ ක්ෂේත‍්‍රයේ ස්ථාවර වීම මා දකින්නේ දැඩි අරගලයක ප‍්‍රතිඵලයක් ලෙසයි.

”ඔබ කී අවධියේ පෙ‍්‍ර්ක්ෂකයන් රඟහල අත්හරිමින් සිටියා. වියතුන්, විචාරකයන් හා ජනමාධ්‍ය නාට්‍ය කලාව අත්හැරියා. මේ නිසා අපගේ කෘතිවලට හිමි විය යුතු අවධානය ලැබුණේ නැහැ. ඒ පිළිබඳ අපට වේදනාවක් නැහැ. මන්ද යම් පිරිසක් අප සමඟ අත්වැල් බැඳගෙන සිටියා. හුදෙකලා නොවීමේ පී‍්‍රතිය අපට තිබෙනවා. විශාල පරිමාණයෙන් සමාජය භාර නොගත්තත් අපට සමීප වූ පිරිස ප‍්‍රමාණවත්.

දශක දෙකක් අපි කි‍්‍රයාකාරීව නාට්‍යකරණයේ නියැළුණේ කොහොමද? යන ප‍්‍රශ්නය මා මගෙන් ම ඇසුවොත් පිළිතුර තමයි මා සමඟ එකතු වූ ශිල්පීන්ගේ හයිය. අනුග‍්‍රාහකයන් මට සිටියේ නැහැ. කවදත් හොඳ කලා කෘතීන් වැළඳගත් පෙ‍්‍ර්ක්ෂකාගාරය විශාල නැහැ. නමුත් මේ පෙ‍්‍ර්ක්ෂකාගාරය වඩාත් වර්ධනය කර ගැනීමට අපි උත්සාහ කළ යුතුයි. මිනිසුන්ගේ රසවින්දනය, දැනුම, අධ්‍යාපනය, සෞඛ්‍ය පිළිබඳ දැනුම, සංස්කෘතික දැනුම වර්ධනය කිරීමට ජනමාධ්‍ය මඟින් ඉටු විය යුතු කාර්ය භාරය ගිලිහී ගොස් තිබෙනවා.

මේ නිසා ජනමාධ්‍ය තමන්ගෙන් ඉටු විය යුතු සමාජ මෙහෙවර යළි සිතා බැලීම වටිනවා. මෙරට උසස් සාහිත්‍යයට කලාවට මුල් තැන ලැබෙන ජනමාධ්‍ය සංස්කෘතියක් අවශ්‍යයි. සංස්කෘතික ජීවිතයක් පිළිබඳ අපේ සමාජයට තවමත් අවබෝධයක් නැහැ. හොඳ පොතක් නොකියවීම, උසස් නාට්‍යයක් නොබැලීම වටිනා කමක් ලෙස සලකන සමාජයකයි අපි මේ නාට්‍ය කරන්නෙ.

අද මිනිසුන් බහුල ව සමාජ විරෝධයන් පළ කරන්න ශාරීරික ප‍්‍රචණ්ඩත්වය යොදා ගන්නේ ඇයි? උසස් කලා නිර්මාණ සාහිත්‍ය ඇසුරු නොකළ නිසයි. කලා මාධ්‍යයෙන් භාව විශෝධනය සඳහා ඉඩකඩ හදනවා. කෙනෙක් තව කෙනෙකුට පහර දෙන විට මොන තරම් අජූවද? කියා පෙන්වා දෙන කැඩපතක් ලැබෙනවා කලාව ඇතුළෙදි. අනෙකාගේ වේදනාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. කලාව පරිශීලනය කරන අය සාන්තුවරයන් කියා මා කියන්නෙ නැහැ. නමුත් කිසියම් ආත්ම සංයමයක් කලාව ඇසුරු කරන්නන් තුළ තිබෙනවා.”



1 comments:

Unknown said...

Guys just sharing, I've found this interesting! Check it out! https://goo.gl/OjG3jZ

more info

Post a Comment