බුදුන්වහන්සේ ඓතිහාසික උතුමෙකැයි පවසන මහ පුදබිම

බුදුරජාණන්වහන්සේ හා සම්බන්ධ වූ ප‍්‍රධාන සිවුවැදෑරුම් සිදුවීම් සිද්ධ වූයේ පුරාණ දඹදිව හෙවත් ජම්බුද්වීපයෙහි ය. ඒ පුරාණ දඹදිවට මෙකල ව්‍යවහාරයේ පවතින ඉන්දියාව, නේපාලය, පකිස්තානය සහ බංග්ලාදේශ් ආදී රටවල් අයත් වූයේ ය. මේ නිසා රුට්මින්දෙයි හෙවත් ලුම්බිණි (සිදුහත් කුමරු උපන් ස්ථානය) නමැති පුදබිම අයත්්වන්නේ මෙකල නේපාලයට ය. සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වීම, ප‍්‍රථම ධර්ම දේශනය පැවැත්වීම සහ බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පෑම යන සිදුවීම් තුන ම සිදුවූ පුදබිම් පිහිටියේ මෙකල ඉන්දියාවේ ය. සිදුහත් කුමරු උපන් ස්ථානයට එදා සිට කි‍්‍රස්තු වර්ෂ 3 වැනි සියවස තෙක් ලක්ෂ ගණන් බෞද්ධ ජනතාව පමණක් නො ව ලෝකයේ විවිධ ජනතාව පැමිණෙන්නට ඇත. එසේ වුව ද එක්තරා සුවිශේෂ වූ පුද්ගලයකු කි‍්‍රස්තු පූර්ව 250 වර්ෂයේ දී සිදුහත් කුමරුන් උපත ලද මේ ලුම්බිණි (රුම්මින්දෙයි) පුදබිමට පැමිණි බැව් අපි දනිමු. අප විසින් ඒ බව දැනගනු ලබන්නේ ඒ මහා පුරුෂයා ලුම්බිනි නමැති පුදබිමට පැමිණ එහි ශිලා ස්ථම්භයක් ද පිහිටුවූ නිසා ය. එපමණක් ද නො වේ. තමා පැමිණි බවත්, සිදුහත් කුමරු මෙහි උපන් බවත් ඒ ශිලා ටැඹෙහි සටහන් කර තැබීම ඒ සියල්ලට ම වඩා වැදගත් වූයේ ය. මෙසේ ශිලා ටැඹක ලියවා ඒ සිදුහත් කුමරා උපන් ස්ථානයෙහි පිහිටුවන ලද්දේ දඹදිව් තලයේ මහා අධිරාජයකු වූ අසෝක (කි‍්‍රස්තු පූර්ව 273-232) රජතුමා විසිනි.

ලුම්බිනි සල්වනය කපිලවස්තු සහ දෙව්දහ යන දෙනුවර අතර පිහිටි ඉතා මනරම් පරිසරයක පිහිටි උයනකි. සල්ගස් දහස් ගණනක සුපුෂ්පිත වූ පුෂ්පයන් ගෙන් මුළු පරිසරය ම සුවඳවත් වී පැවැතුණු වෙසක් පුර පසොළොස්වක දිනයක දී සිදුහත් බෝසතාණන්වහන්සේ උපත ලැබුවේ මේ ස්ථානයෙහි බව සඳහන් ශිලාලේඛනයක් මේ කාලයේ දී පවා දැකගැනීමට ලැබීම සැබැවින් ම බෞද්ධ ජනතාව ගේ ශ‍්‍රද්ධා භක්තිය හා බුද්ධාලම්භන ප‍්‍රීතිය ද වර්ධනය සඳහා උපස්තම්භක වන්නේ ය. ලොව ශාස්තෘවරුන් උපන් ස්ථාන අතුරෙන් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ව ඔප්පු කළ හැකි වන එක ම ස්ථානය සිද්ධාර්ථ කුමාරයා උපත ලද මේ ලුම්බිනිය යි. මීට වසර 2300කට පූර්ව කාලයේ දී අසෝක අධිරාජයා මේ ස්ථානයට පැමිණි බව ද සිදුහත් කුමරු මේ ස්ථානයෙහි උපන් බව ද සඳහන් කරමින් ලියැවුණු ඒ ශිලාලේඛනය අපි අද ලුම්බිනි ටැම් ලිපිය (රුම්මින් දෙයි) ලෙසින් හඳුන්වා දෙන්නෙමු.

අසෝක රජතුමා විසින් පිහිටුවන ලද සමස්ත ශිලා ලේඛන සංඛ්‍යාව (සිය අධිරාජ්‍යය තුළ) 200ක් පමණ වේ. මේ ශිලා ලේඛන වර්ග පහකි. ඒවා තුදුස් ගිරි ලිපි 2. සුළු ගිරි ලිපි 3. ටැම් ලිපි 4. සුළු ටැම් ලිපි සහ 5. ලෙන් ලිපි යනුවෙන් හඳුනාගත හැකි ය. ඒ අනුව අසෝක රජතුමා ගේ මේ සෙල්ලිපිය සුළු ටැම් ලිපියක් ලෙසින් සැලැකේ.

(Asoka – D.R.Bandarkar. 1925. P32)

ලෝකයේ විවිධ වූ ශාස්තෘවරු කලින් කල ලොව පහළ වූහ. භක්තිමතුන්ට නො ව ඉතිහාසය හා පුරාවිද්‍යාව හදාරන ශිෂ්‍යයනට හා විද්වතුනට ඇතැම් ශාස්තෘවරුන් ඓතිහාසික පුද්ගලයින් බැව් පිළිගැනීමට සාක්ෂ්‍ය සොයාගැනීම අපහසු ය. තවත් සමහර ශාස්තෘවරුන් පිළිබඳ ඓතිහාසික සාක්ෂ්‍ය දක්නට ඇතත් ඒවා ඒ ශාස්තෘවරුන් ගේ උපත හෝ ජීවිතය පිළිබඳ සෘජු ව ම සඳහන් වන ප‍්‍රකාශ නො වේ. මේ අනුව විමසා බලන විට ගෞතම බුදුරජාණන්වහන්සේ ලෙසින් බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ කුමාරයා උපන් ස්ථානය ශිලා ලේඛන ගත කොට රජකෙනකු විසින් පිහිටුවන ලද මේ ස්තම්භයේ අගය මෙතෙකැ යි කියා නිම කළ නො හැකි ය. ඒ ලුම්බිනි ටැම් ලිපිය නිසා ම නො වේ. එය ද එක් කරුණක් නිසා බුදුරජාණන් වහන්සේ ඓතිහාසික උත්තමයකු බැව් ලොවට ඇසෙන සේ හඬගා කීමට බෞද්ධයන් වන අපට අද හැකියාව ලැබී තිබීම කෙතරම් භාග්‍යයක් ද?

අපි මීළඟට ලුම්බිණි ටැම් ලිපියේ අඩංගු වී ඇති කරුණු ගැන විමසා බලමු.

සෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ලේඛන බහුතර සංඛ්‍යාවක් ලියවා ඇත්තේ බ‍්‍රාහ්මී අක්ෂරවලිනි. ඊට අමතර ව අරමැයික් ඛරෝෂ්ටි සහ ග‍්‍රීක් භාෂාවෙන් ද ලියවන ලද ශිලා ලේඛන දක්නට ලැබේ.

“දේවානංපිය පියදසි (රජු) ගේ අභිශේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හි මෙහි ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ උපන්නේ යැයි (සලකා) තමා ම පැමිණ ගෞරව කෙළේ ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අසා (ප‍්‍රකාශයට පත් කොට) දැඩි ඇල්මකින් යුතු ව ශිලා ටැඹක් පිහිටු වී ය. ලුම්බිණි ග‍්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථ ලාභය ඇති කෙළේ ය.”

අසෝක ධංම ලිපි - ටැම්ලිපි හා ලෙන් ලිපි මහාචාර්ය අබය ආරියසිංහ 2000 පි. 58 - 59)

මේ පිළිබඳ ව මහාචාර්ය අබය ආරියසිංහ විද්වතාණෝ මෙසේ ද පවසති.

“මහා පරිනිර්වාණ සූත‍්‍රයෙහි තථාගතයන් වහන්සේ උපන් ස්ථානය බුදු වූ තැන, දම්සක් පැවැත්වූ තැන හා පිරිනිවන් පෑමට නියමිත තැන් පහන් සංවේගය දනවන බැව් උන්වහන්සේ දේශනා කර තිබේ. මෙයින් බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය ලුම්බිණිය ඒ අනුව වැදගත් වේ. එබැවින් ඒ ස්ථානය කෙරෙහි දැඩි ඇල්මක් ඇති කරවීමට අසෝක රජතුමා කි‍්‍රයාකර ඇති බව මෙයින් ඔප්පුවේ. (එම ග‍්‍රන්ථය පි. 75)

ලුම්බිණි ටැම් ලිපිය බ‍්‍රාහ්මි අක්ෂරවලින් ලියා ඇත්තේ මෙසේ ය.

දෙවනපියෙන පියදසින ලජින විසතිවසාභිසිතෙන

අතන අගාච මහියිතෙ හිද බුද ජාතෙ සාක්‍යමුනිති

සිලාවිගඩභිච කලාපිත සිලාකභෙච උසපපිතෙ

හිද භගවං ජාතෙති ලුංබිනිගාමෙ උබලිකමෙ අථභාගියෙච

(INSCRIPTIONS OF ASOKA - D.C SIRCAR - 1957 - P. 42)

එදා අසෝක රජතුමා ලුම්බිණියට පැමිණියේ රජ වී වසර විස්සක් ගත වූ පසු ව බැව් ඒ ටැම් ලිපියෙහි ම සඳහන් කර ඇත. අසෝක රජතුමා ලුම්බිණියට පැමිණීම පිළිබඳ ජන ප‍්‍රවාදයක් ද ඇත. ඒ අනුව අසෝක රජතුමා ලුම්බිණියට පැමිණියේ තනිවම නො වේ. රාජ රාජ මහාමාත්‍යාදීන් සමඟ ය. ඒ සමඟ තවත් සුවිශේෂ වූ පූජණීය වූ භික්ෂුන් වහන්සේ නමක් ද පැමිණි බැව් ජනප‍්‍රවාදයේ පවතී. උන්වහන්සේ නම් උපගුප්ත හිමි ය. උපගුප්ත හිමි අසෝක රජතුමා ගේ අධ්‍යාත්මික කටයුතු පිළිබඳ උපදේශකවරයාණන් ද වූයේ ය. උපගුප්ත හිමි උන්වහන්සේ ගේ දකුණු අත දික්කොට මේ ස්ථානයෙහි සිදුහත් කුමරා උපත ලැබුවේ යැයි අසෝක රජතුමාට ඒ අවස්ථාවේදී පැවසූ බැව් එකී පුරාවෘත්තයෙන් ප‍්‍රකාශ වේ. ඉන්පසු ව මේ පූජණීය ස්ථානයේ වූ රුක් සෙවණේ සිදුහත් කුමරුන් උපත ලැබූ බැව් ඒ අසල සල්ගසක් පෙන්වා උපගුප්ත හිමියෝ ප‍්‍රකාශ කළහ. (භාරත - ලංකා බෞද්ධ උරුමය පි.70)

ලුම්බිණි ටැම් ලිපිය සොයා ගැනීම

මීට වසර 112 පෙර (කි‍්‍ර.ව. 1896) නේපාලයේ කත්මණ්ඩු නගරයේ සිට සැතපුම් 90 පමණ නිරිත දිගින් පිහිටි මේ ප‍්‍රදේශයේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවල යෙදුණේ. ඉතා ප‍්‍රකට පුරාවිද්‍යාඥයකු වූ ඇලෝසිස් ඇන්ටන් පිය්‍යුහර් මහතා ය. භයිරවා නගරයෙන් සැතපුම් 12 පමණ දුරින් පිහිටි රාම්මින්දෙයි නම් වූ ගමෙහි වැලි ගලින් නිම කරන ලද අඩි 21 පමණ උස් වූ ශිලා ටැඹක් හමු වූයේ ය. එහි මුදුන කැඩී තිබිණි. වටකුරු වූ ඒ ශිලා ස්තම්භය තවත් පරීක්ෂා කළ ඒ ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයාට ඒ ශිලා ස්තම්භයෙහි අකුරු ලියා ඇති බව ද දැකගන්නට ලැබිණි.

ඒ දක්වා ම සිද්ධාර්ථ කුමාරයා උපන් ස්ථානය පුරාණ කාලයට පසු ව ස්ථිර ලෙසට ම දැන ගෙන සිටියේ නැත. ලුම්බිණි සල් උයන යනු කල්පිත ස්ථානයක් යැයි ද සමහරු කල්පනා කළහ. සමහර බටහිර ප¾ඩිවරු බුදුරජාණන් වහන්සේ ගේ ඓතිහාසිකත්වය පවා පිළිගැනීමට මැලි වූහ. මෙසේ පැවැති ඒ සියලු ම දුර්මත බිඳ හෙළීමට මේ ටැඹෙහි ලියූ ශිලා ලේඛන (ටැම් ලිපිය) උපකාරී වූයේ ය. ඒ ලුම්බිනී ටැම් ලිපිය 1898 වර්ෂයේ දී කියවන ලද්දේ ආචාර්ය ජේ.ජී. බය්‍යුලර් මහතා විසිනි. ඔහු අසෝක ශිලා ලේඛන පරිවර්තනය කිරීමේ කටයුතු 1878 වර්ෂයේ සිට සිදු කළ ඉතා ප‍්‍රකට ප¾ඩිවරයෙකි.

බුදු රජාණන් වහන්සේ ගේ උපත... බුද්ධත්වය හා මහා පරිනිර්වාණය යන සිදුවීම් තුන පමණක් නො ව බුදුරජාණන් වහන්සේ ගේ ජීවිතය හා සම්බන්ධවූ ස්ථාන රැසක් අද දවසේ දී පවා දැනගැනීමට අවස්ථාව උදා වී ඇත්තේ අසෝක රජතුමාට පින් සිදුවන්නට බව ලොව ප‍්‍රකට කරුණකි. මේ පිළිබඳ ව ආචාර්ය ආනන්ද ඩබ්ලිව්.පී. ගුරුගේ” විද්වතා අසෝක රජතුමා පිළිබඳ ව මෙසේ සඳහන් කරයි.

“ඉන්දියාවේ පොදු ජනතාවට අසෝක රජතුමා ගැන දැනගන්නට ලැබී දැනට ශතවර්ෂ එක හමාරකට වඩා නැත. එසේ දැනගන්නට ලැබුණේ ද විදේශීය විද්වතුන් විසින් අසෝක රජුගේ ශිලා ලිපි සොයා ගෙන කියවා තේරුම් ගෙන පරිවර්තනය කරනු ලැබීම නිසා ය. එහෙත් අනෙක් අතට නේපාලය. තිබ්බතය හා චීනය යන රටවල සිට ශ‍්‍රී ලංකාව දක්වා මුළු මහත් අග්නිදිග ආසියාවේ, ආසියාවේ ද සෑම නිකායකට ම අයත් බෞද්ධයන් අසෝක රජු පිළිබඳ මතකය භක්ත්‍යාදර පරස්සර කෘතවේදීත්වයෙන් යුතු ව චිරස්ථායි කොට පවත්වා ගෙන ඇතුවා පමණක් නො ව බුදු සසුනට සිටි මහත් ම හිතවතා හා අනුග‍්‍රාහකයා වශයෙන් තමන් ගේ ඉතිහාසයේ ද ඔහුට විශිෂ්ට තැනක් දී ඇත.

(ධර්මාශෝක සුවිනිශ්චිත ජීවන චරිතය - ආචාර්ය ආනන්ද ගුරුගේ පිටුව - 621)

ලුම්බිණි පුද බිම - වැඳ පුදා ගැනීමට කි‍්‍ර.ව. 406 දී චීන සංචාරක භික්ෂූන් වහන්සේ නමක් වූ පාහියන් හිමියෝ වැඩම කළහ. උන්වහන්සේ ගේ වාර්තා වල සිදුහත් කුමරු උපන් සල් ගසේ සෙවණ වැඳ පුදා ගත්හ. සිදුහත් උපතට පසු ව මහාමායා දේවිය ස්නානය කළ පොකුණ පිළිබඳ ව ද ෆාහියන් හිමියෝ සිය වාර්තාවේ සඳහන් කරති. කි‍්‍රස්තු වර්ෂ 637 දී ලුම්බිණිය වැඳ පුදා ගැනීමට පැමිණි තවත් චීන ජාතික භික්ෂුන්වහන්සේ නමක් වූ හියුංෂාං හිමියෝ ද ලුම්බිණි පුදබිම පිළිබඳ අගනා විස්තරයක් සිය වාර්තාවල සඳහන් කරති. කි‍්‍රස්තු වර්ෂ 12 වන සියවස තෙක් ම වන්දනීය භාවයට පත් වූ ස්ථානයක් ලෙසින් ලුම්බිණි පුදබිම පැවතිණි. ඉන් පසු ව මහ වනයට යට වූ මේ පුදබිම නැවත සොයා ගන්නා ලද්දේ ඉහතින් සඳහන් කළ ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයා විසිනි. ඔහු ගේ ගවේෂණයෙන් පසු කරන ලද කැණීම්වල දී පහත සඳහන් ස්ථාන ලුම්බිණි පුද බිමෙන් මතු කරගන්නා ලදී.

1. මායා දේවී විහාරය 2. නාක්‍ය (සිද්ධාර්ථ) පොකුණ 3. විහාරයක නටබුන් බාර හාර සඳහා සාදන ලද කුඩා දාගැබ් ආදියවේ.

BUDDHIST SRINE IN INDIA - D.C. AHIR. P.3

මේ කරුණු අනුව අසෝක රජතුමා චීන ජාතික භික්ෂුන්වහන්සේලා සහ යුරෝපීය පුරාවිද්‍යාඥයන් (ඇලෙක්සැන්ඩර් කනිංහැම් ප‍්‍රමුඛ) මේ භාරතීය පුදබිම් යළි සොයා ගැනීමට උපකාරී වූ බව සිහිපත් කළ යුතු ය. මෑත භාගයේ දී අනගාරික ධර්මපාල තුමා නොවන්නට බුද්ධගයාව ඇතුළු මේ පුදබිම් අද තිබෙන තත්ත්වයෙන් දැකගැනීමට අවස්ථාව නොලැබෙන බව ද ලාංකික අප අමතක නො කළ යුතු ය. අනගාරික ධර්මපාල තුමා එදා පිහිටුවන ලද මහා බෝධි සමාගම නිසා අදත් මේ පුදබිම් අපට වැඳ පුදා ගැනීමට ලැබෙන්නේ ඉන්පසු මේ කාලය තෙක් ම ඇප - කැප වී කි‍්‍රයා කරන මහා සංඝරත්නය ද නිසා ය.

සිරිසමන් විජේතුංග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා සහාය අධ්‍යක්ෂ

1 comments:

pathum madusanka said...

Good dr

Post a Comment