පන්සල සෞන්දර්ය ස්ථානයකි

පුවත්පත් කලාවේදී ඩී.බී.ධනපාල මහතා, කැලණි රජමහා විහාර චිත‍්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් මහතා ගැන Among Those Precent නම් පොතෙහි සඳහන් කරමින් රජමහා විහාර අලුත් ගොඩනැඟිල්ල විවෘත කිරීම ගැනත් ඒ උත්සව අවස්ථාව සෝලියස් මැන්දිස් කලාකරුවා බලාගෙන සිටි ආකාරය ගැනත් කදිම වර්ණනාත්මක ලේඛනයක් නිර්මාණය කරමින් බෞද්ධාගමික වාස්තු විද්‍යාව සම්බන්ධ අපූර්වතම මුඛ්‍ය පාඨය මතක් කර දේ.

ඒ මෙසේ ය.

ඉමං විහාරං බුද්ධස්ස පූජේමි

මේ විහාරය බුදුරජාණන් වහන්සේට පූජා කරමි යන්නයි.

සංඝාවාස සඳහා පූජා කැරෙන වෙහෙර විහාර, එසේ පූජා කාර්යයෙන් සමස්ත ශාසනය වෙත පැවැරෙන බව, ආරම්භක අවස්ථාවේ සිට ම පොරොන්දු දීම ඉතා වැදගත් කරුණකි. ඉන් ගම්‍ය වන දානමය සත් කි‍්‍රයාව මෙහි දී ඉස්මතු ව පවතී. සඟ සතුවෙන් පසුව එය පුද්ගලා’නුබද්ධ අයිතියෙන් වියුක්ත වස්තුවක් බවට පත් වන්නේ ය. අනතුරු ව අප මතකයට එනුයේ ඉතිහාසයේ එන එවැනි ම වූ තවත් සම්භාව්‍ය කියමනකි.

අගත අනගත චතුදිස සඟස

ඉපැරැණි ගල් ලෙන් සසුනට පූජා කිරීමේ දී ඒවායේ කොටන ලද ශිලා ලිපි අතර දැක්වෙන ඉහත සඳහන් පාඨය පැරැණි උරුමය හා බැඳී පවතින සුඛනම්‍ය වාක්‍ය ඛණ්ඩයකි.

දන්දීමේ පරම පවිත‍්‍ර චේතනා ගොනු කරගත් අවස්ථාවක් සේ මෙකී අදහස පුන පුනා මෙනෙහි කළ හැකි ය.

‘ආ නො ආ සිවුදිග සංඝයා හෝ පැමිණි නො පැමිණි සතර දිශාවෙන් වඩින සංඝයා වහන්සේ වෙත යන්නෙහි ගැඹුර - ක්‍ෂේත‍්‍රය කෙතෙක් දැයි සීමා නිර්ණයක් දැක්විය නො හැකි තරම් ය.

සංඝයා වහන්සේ වෙත පුද කැරුණු එවැනි වූ ගොඩනැඟිලි පොදු ආගමික දේපළ ගණයට ගැනේ. පන්සල නමින් වර්තමානයේ හැඳින්වෙන පූජ්‍යස්ථානය එය නොවන්නේ ද?

කලා විචාරක ආනන්ද කුමාරස්වාමි මහතා මෙසේ කියයි.

”මධ්‍යකාලීන යුගයේ පන්සල් වූ කලී භික්ෂූන් විසින් නියත වශයෙන් නිවාස කොටගත් සැප පහසු රහිත ගල් ලෙන් නො වේ.

මධ්‍ය කාලීන පන්සලක් ඒ කාලයට ම අයත් ගිහි නිවසකට සමාන ය. එනම් ඇතුළු බරාඳය .... මැද මිදුලක් ඇති සෘජු කෝණාශ‍්‍රාකාර ගොඩනැඟිල්ලකි. ... පොහොය ගේ තනන ලද්දේ කැප කළ භූමි ප‍්‍රදේශයක පිහිටුවන ලද සීමා - ගල් දොළසක් ඇතුළත... බණ මඩුව වූ කලී කාණු උඩ නැංවූ එළිමහන් ගොඩනැඟිලි ය. .. දාගැබ හෙවත් ස්තූපය චතුරශ‍්‍රාකාර ... ස්මාරක විශේෂයකි.”

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ලංකා විශ්වවිද්‍යාල ඉතිහාස ග‍්‍රන්ථ පළමු වෙළුමේ මුල් කාලය ගැන දක්වන අදහස ද වැදගත් වේ:-

”9 වැනි 10 වැනි ශත වර්ෂවලට අයත් මිහින්තලේ කන්ඨක චේතියේ පිහිටීම ආශ‍්‍රිත ව ඇති මහේශාක්‍ය ලීලාවත් සෞන්දර්යාත්මක ඉසව්ව ඇතුළත් පරිසරයත් අතිශය වැදගත් ය....

රුවන්වැලි සෑ අඩිතාලම වටා ඇති ප‍්‍රාකාරයට බද්ධ කළ ඇත් සොඬ සහිත හස්ති ඉදිරිපස දැක්ම හඟිනුයේ කන්දක් වැනි, දැවැන්ත වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම හස්ති සමූහයක් විසින් දරා සිටින ආකාරයයි. “(පැරැණි අලි-ඇතුන් ගහන පරිසරය හා මෙය අපූරුවට ගැලපෙන රඟ දෘශ්‍ය රූපයකට නඟා සැලැකීම වටී)”

ඒ දැවැන්ත පූජනීයස්ථාන සමඟ ගලපා ඇති සිත්කලු මුරගල් දෙපස පිහිටැවූ පඩි පෙළ සිද්ධස්ථානවල පරිසරය ආකර්ෂණශීලී කිරීමට ද සමත් ව ඇති බව දේශීය මෙන් ම විදේශීය සංචාරක සාහිත්‍ය ඇසුරින් පෙනේ.

ලංකාව ගැන පැරැණි ම ගවේෂණශීලී ‘Song of Ceylon’ නම් වාර්තා චිත‍්‍රපටය තැනූ ‘බැසිල් රයිට්’ තම කැමරා ඇසට ලක්කර ඇති පඩි පෙළවල්, මුරගල් ආදිය කදිම ආගමික සංකේත මෙන් ම සෞන්දර්යාත්මක වටපිටාව පන්සල් ආශ‍්‍රිතය වාර්තා කරමින් නිර්මාණිත ය. නූතන කාලයේ තැනූ වැදගත් වාර්තා කෙටි චිත‍්‍රපටයක් වූ ඩී.බී.නිහාල්සිංහ ගේ ‘භක්ති’ නම් කෘතියෙන් ද මෙවැනි සිත් ඇදගන්නා පිය ගැට පෙළ රූපාවළිය අමතක කළ නො හැකි සෞන්දර්ය රටාවක් මවා ඇත.

බෞද්ධ සාහිත්‍යයේ එන පන්සල් මැවීම සම්බන්ධ විස්තරයක් අපට හමුවන්නේ වෙස්සන්තර ජාතකය ආශ‍්‍රයෙනි.

”එදවස් ශක‍්‍රදේවෙන්ද්‍ර තෙමේ දහසක් නුවණැස ලා මනුෂ්‍ය ලෝකය බලන්නේ .... විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා කැඳවා .... හෝ එහි ගොස් පන්සල් දෙකක් හා සක්මන් මලු දෙකක් ... ආදී වූ දෙය මවා ‘තපස් කරන්නවුනට කැපය’යි බිත්තියේ අකුරු ලියා...”

පන්සල අද මෙන් එදා ද, සමාජයේ වැදගත් ස්ථානයක් හිමිකර ගෙන ඇත. එය පැරැණි දේශීය සමාජය සම්බන්ධයෙන් අර්ථ කථනය වී ඇත්තේ පැරැණි ගැමි සමාජ රටාව තුළ නිර්මිතවූ සැලැසුම් ව්‍යූහය අනුසාරයෙනි.

වැව ආශ‍්‍රිත කුඹුරු - ගෙවල් හා වගා බෝග - වන රොද – වන පියස ආදිය ය.

කෘෂි සංස්කෘතික පදනම මත ජීවත් වුණු ගැමියා බෞද්ධ හැදියාව ජීවිතයට ළංකරගත් බව ‘කොත විලසට බැත එක් කරගන්නේ’ ගොයම් මාලයේ එන කවි පදයෙන් කදිමට පැහැදිලි වේ.

අනුරාධපුර කාලවකවානුව එනම් සංස්කෘතියක් බිහිකළ යුගයක් ද ලෙස ඇතැමෙක් අදහස් කරති. අ’පුර සංස්කෘතිය ශතවර්ෂ එකහමාරක් පමණ ම වර්ධිත බෞද්ධ සංස්කෘතියක් ම විය. අ’පුර මුල් කාලයේ ම ඉදි කරන ලද ථූපාරමයත්, මහා ථූපය ලෙස හැඳින්වෙන රුවන්වැලි මහා සෑයත් අහසින් බලන කල වාර්තාවන දර්ශනය, සෞන්දර්යකාමී දේශාටකයන් ගේ කතාබහට හැමවිට ම ලක් ව ඇති ලංකාව වෙනුවෙන් වූ ධනාත්මක චින්තන රටාවට වැටෙන්නකි.

සැතැපුම් ගණනක් දිගට පළලට පැතිර පවත්නා අ’පුර නිම්නයේ පොළෝ ගැබ හදිසියේ උඩට නෙරා ආ යෝධ කඳු ගැට මෙන් ඈතට දිස්වන මේ ස්තූප, පැරැණි සභ්‍යත්වයේ සංකේත ලෙස සෞම්‍ය සිතිවිලි මවාලන්නට සමත් ව ඇත. පැරැණි මහ සෑ මළුව බෙර ඇසක් සේ දිස්වුණු බවට වූ ඉතිහාසගත ප‍්‍රවෘත්තිය මෙහි දී මතකයට ඒ.

බෞද්ධ වූ සිතුවිලි රටාව කෙරෙන් කෘෂි සමාජ ස්තරය ආශ‍්‍රිතව ‘පන්සල’ සංකල්ප ව්‍යූහය, ක‍්‍රමික සංවර්ධන තලයකට පිවිසියේ ශතවර්ෂ ගණනක දිවි පෙවෙත සමඟ ය. කෘෂිකර්මය ආශ‍්‍රිත මධ්‍යකාලීන සමාජ රටාව කුමාරස්වාමි මහතා මධ්‍යකාලීන සිංහල කලා ග‍්‍රන්ථයෙන් විස්කර කරනුයේ ජනතාවට අයත් ආගමික කලාවක් ලෙසය. “එහෙයින් ම එය ජනප‍්‍රිය කලාවක් විය. එය ආගම හා ප‍්‍රජාව සමඟ ඒකීය භාවයට පැමිණි රජුන් සිටි ජනතාවගේ කලාවකි” යනු විසිනි.

බෞද්ධයන් ගේ ඕනෑ එපාකම්, සිතුම් පැතුම්, සිරිත් විරිත් සමඟ ම රැකීගෙන ආ ගුණ දහම් (ගැමි) සමාජය හදා වඩා පෝෂණය කළ බව පෙනේ.

බෞද්ධ හිමිවරුන් ගේ වාසස්ථානයක් බවට පෙරැළුණු බව අදහස් කරන ඉන්දියාවේ අජන්තා කලා ලෙන් පරිශ‍්‍රය බොහෝ විට විචාරකයින් හඳුන්වා දී ඇත්තේ පරම්පරා ගණනක බෞද්ධ භික්ෂූන් වහන්සේලා ’සමාධිගත ව වැඩසිටි පන්සලක් හැටියට ය’.

නිහඬ ව දහම් පිරූ නිස්කලංක කඳු බෑවුමක් මෙන්, ගල්පර්වත පරිශ‍්‍රයක් මෙන් – අශ්ව ලාඩමක ආකෘතිය දනවන ජලාශ‍්‍ර ඉසව්වක් මෙන් ද අජන්තා කලාබිම හඳුන්වා දිය හැකි ය.

සංස්කෘතික මූලාශ‍්‍රය බුදුදහම කෙරෙන් ද, එය ආශ‍්‍රිත කොට ගෙන ද ඉපැදී, පෝෂණය වී, වර්ධනය වී පැතිරී යෑම ගැන ඓතිහාසික සාධක අප රට තුළ ද දක්නට ලැබුණු බව පාහියන්, හියුංසාන් ආදීන්ගේ දේශාටනික වාර්තාවලින් දැකගත හැකි ය.

පන්සල, එහි පිහිටීම අනුව ම සෞන්දර්ය ස්ථානයක් විය. පර්වත මුදුන්, මුල් වෙහෙර විහාර ආශ‍්‍රිත පුද බිම් හැටියට අපි දනිමු. එහෙත් එය –ඊට ම සීමා වූ පරිශ‍්‍රයක් පමණකැ යි ඉන් අදහස් නො කැරේ. වෙනත්, පූජනීය ස්ථාන පිහිටීම ගැන සලකා බැලීමේ දී වෙනත් ආකාර භූ ලක්ෂණ දැක්ක හැකි ය. කඳු ශිකරවලින් තොර වූ යාපනයේ නාග විහාරය, කැලණිය රජ මහා විහාරය ඒ අතර ප‍්‍රසිද්ධ තැනක් උසුලයි.

පන්සලේ ඓතිහාසික පටන්ගැන්ම රාජ්‍යානුග‍්‍රහයෙන් එසේ වර්ධනය වුව ද ‘මහා’ (මහා විහාර ආදී තන්හි එන) විශේෂණය කෙමෙන් නැති වී යන්නටත්, රටේ ඓතිහාසික, සමාජ - සංස්කෘතික හැලහැප්පීම් නිසා ආගමික දේහය නොයෙක් ස්වරූපවලට ඉලක්ක වීමත් පන්සලේ අධිකාරි බලය සම්බන්ධ නවමු වර්ණ රටා වැඩි වර්ධනය කිරීමට සමත් විය.

මාර්ටින් වික‍්‍රමසිංහ මහතා යක්කඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාරාම උපහාර අංකයට (1967) ලිපියක් සපයමින් වැදගත් නිරීක්ෂණයක් ඉදිරිපත් කරයි.

”අප රට අධ්‍යාපනඥයෝ සීයක් අවුරුද්දකට වැඩි කාලයක් අපගේ සිංහලකම් නැති කොට ඉංග‍්‍රීසි වර්ගයාගේම උප වර්ගයක් කරනු පිණිස වෑයම් කළහ.. මීට අවුරුදු පහළොවකට පමණ පෙර ඔවුහු සිංහල සංස්කෘතියක් ගැන කථා කරනු නොඉවසූහ. සමහරු එය ජාතික ඔල්මාදයෙන් නොමඟ ගියවුන්ගේ අවිචාර දෙසුමක් යයි කීහ.”

පන්සල පොදුවේ ගත් කල සංස්කෘතික මධ්‍යස්ථානයක්ද විය. එය ඉබේට ම සිදුවූවකි. පොදු ජන රුචිය, පොදු ජන ආශ‍්‍රිත සම්ප‍්‍රදායයන් වැඩි වර්ධනය කරගත් පන්සල පරිවර්තන රාශියකට භාජනය වූ බව පෙනේ.

සමාජ, දේශපාලනික ස්තරය දෙදරත් ම, ඒවාට සමාන්තර ව මෙන් නැඟුණු තාක්‍ෂණික ඇතැම් වල් පැළෑටි විසින් ඇති කැරුණේ අසහනකාරී දාහයකි. යුදය, ආගමික (ජාතික) කෝලාහල, ආර්ථික ව්‍යවසාය කරණ කොට ගෙන නිර්මාණය වූයේ ‘අමුතු’ - ‘අලුත්’ ස්වභාවයක ධන – නිර්ධන ගැටුමකි. නාගරික, නාගරික නොවන සමාජ ස්තරයකි.

මෙහි දී ’සිත සොම්නසින් සිහි කර කර බුදු ගුණය’ වැනි සංදේශ කවියට අන්වර්ථ පිරිවෙන් (පන්සල්) වටපිටාව අද අතුරුදන් ව ඇති සේ පෙනේ. සමාජයේ වෙනත් ආයතනවලට සාපේක්‍ෂ ව කල්පනා කිරීමේ දී මෙය ‘ස්වාභාවික’ වෙනසක් වන්නට හැකි ය.

බලන්ගොඩ ආනන්ද මෛති‍්‍රය හිමිපාණන් ගේ ‘බුද්ධ භක්තිය’ (1954) පොතේ මෙසේ ලියා දක්වා ඇත.

”පෙර බුදු රජුන් හෝ සංඝයා දක්නට යන රජහු පවා ආරාම භූමියෙන් මෑත දී ම තම යාන වාහනවලින් බැස හිස් වැසුම්, පා වැසුම් ගලවා විහාරය කරා යෙති... සැදැහැවතා කුඩා සාමණේර නමට වුව ද කුඩා යයි අගරු නො කොට ගෞරවයෙන් සලකයි. ගිනි පුපුර කුඩා යැයි එය හා සෙල්ලම් කිරීම අන්තරාය කරයි.”

එහෙත් මෙසේ පිළිපදින ගිහියෝ කොතෙක් වෙත් ද? එදා පන්සල ගමේ ක්‍ෂේත‍්‍රගත ප‍්‍රවාහයක් විය. පන්සල අවට සියල්ල පන්සල් ධූරාවලියට කැප වූ පන්සලේ ම අවයව ලෙස ද පෙනෙන්නට තිබිණි. මාතලේ අලුවිහාරේ පැවැති ති‍්‍රපිටකය ලේඛනගත කිරීමේ මහා පුණ්‍යෙ¤ත්සවය සම්බන්ධ එක් කියමනක් මෙහි දී මතක් වේ.

’දුප්පත් ගැමියෝ තල්කොළ දුන්නු’

අංශු මාත‍්‍ර සම්මාදමක් හෝ කිරීම ගැන දුප්පතා හිතුවේ ගර්වයෙනි. අප කුඩා කාලයේ රුවන්වැලි සෑ හුනු පිරියම් කිරීම ගැන ‘සල්ලියෙන්’ ‘සතෙන්’ සම්මාදම් කැරිණි. ගමේ පන්සලට ඇතැම් විට ‘ආධාර’ කෙළේ ‘මල් වට්ටි වෙන්දේසියට’ සහභාගී වීම වැනි ඉතා කුඩා ආකාර සම්මාදම් රටාවක් පෙළගැසුණු නිසා ය.

ගමේ පන්සලේ කලා කටයුතු කෙළේ ගමේ කලාකරුවා ය. ඉන් ඔහු පුහුණුව සමඟ ලබා ගත්තේ ‘පින’ ය. ඉන් ඔහු සෑහීමකට පත් වූයේ, ආත්ම තෘප්තිය ලබා ගත්තේ පුරුදු කරගෙන ආ සත්තාව පරිද්දෙනි.

ගමට ගැමිකම එපාවීම එක් පැත්තකින් ද නගරයේ දායකයා ‘කැපවීමකින්’ තොර ඇත්තකු වීම අනෙක් පැත්තෙන් ද පවතින සමාජ විෂමතා මේ සියල්ල අනාවරණය කරන සුලු වීම විසින් ද සෞන්දර්ය ජනනයෙන් පන්සල ඉවත් ව ඇති සේ එක් වර ම පෙනෙන බවක් හැඟෙන්නේ නැත.

පෙර පන්සල පිහිටියේ සුන්දර වටපිටාවක ය. එය බුදු බණේ අග‍්‍ර අදහස් උදහස්වලට බොහෝ කොට ළං වූ සේ පෙනේ. පන්සල් පරිසරය සුන්දර භූමි භාගයක් ලෙස එදා වෙන් වූයේ එහි යම් නිත්‍ය රටාවක් තිබුණු හෙයිනි. ඔසු උයන්, උපවන ආදිය පන්සල් ආශ‍්‍රිත ව තිබීමත් ජනයා ආකර්ෂණය කළ කරුණු අතර වේ.

පන්සල් භූමි සැකැස්ම ගැන අවධානය යොමු කළ යුතු කාලය පැමිණ ඇත. ජපාන, තායිලන්ත වැනි රටවල සැකැස්ම හැඩතල ආදිය ගැන සැලැකිලිවන්ත වීම දැන් ඉතිහාස ගත කරුණක් ලෙස සලකන්නකි. අපේ ඉතිහාසයෙන් ම අපට උගත හැකි පාඩම් බොහෝ ය.

සෞන්දර්යය අගය කරන විහාරාරාම, ස්වභාවධර්මය වැදගත් සේ සලකන හිමිවරුන් ගැන නොයෙක් විට අසන්නට ලැබේ. අපේ වන සෙනසුන් මේ ගැන කදිම උදාහරණ නොවන්නේ ද?

සිදුහත් තවුස් තුමා බවුන් වැඩීමට යෝග්‍ය තැනක් ලෙස උරුවෙලාව දුටුයේ මෙසේ ය.

භූමි භාගය සිත් අලවන සුලු ය

වන ගොමුව ප‍්‍රසාද දනවන සුලු ය

මනා වූ සුදු වැලි තලා ඇති ගලා බස්නා නදිය රමණීය ය.

1 comments:

pathum madusanka said...

Good

Post a Comment