හාමුදුරුවන් අපවත් වුණත් වැඩ විසූ ගල් ලෙනෙන් පිරිත් හඬ

අතීතයේ මිනිසා ගොවිතැන් කටයුතුවලදී ද රාති‍්‍ර පැල් රැකීමේ දී ද, වන්දනා ගමන් යාමේදී ද, ඔරු පාරු පැදීමේ දී ද, පතල් කර්මාන්තයේ දී ද යනාදී වූ දෛනික චර්යාවල දී පාළුව කාන්සිය හා වෙහෙස මඟ හරවා ගැනීම සඳහා තුන් සරණය ආදී කවි ගායනා කළේ ය. එයින් සිත තුළ නිරන්තරයෙන් පහන් සිතුවිලි ගොඩ නැඟුණේ ය.

එසේ ම ඒ ප‍්‍රසන්නතාව නිරෝගී බවට ද හේතු විය. බුද්ධ වන්දනාවේ දී ද පිරිත් සජ්ඣායනයේ දී ද, බෝධි පූජාවේ දී ද අල්තාරය ඉදිරිපිට යාඥා කිරීමේ දී ද, දේවාලයේ දී ස්තෝත‍්‍ර ගායනාවේ දී ද මේ ප‍්‍රසන්නතාව මිනිසා ගේ සංවර්ධනය සඳහා කි‍්‍රයාත්මක වේ. එහෙත් බොහෝ දෙනා අද පුරුදුව ඇත්තේ උච්චාරණය අතහැර නිහඬව වන්දනා කිරීමට ය. අධ්‍යාත්මීය වශයෙන් දියුණු වූ අය හැරෙන්නට සාමාන්‍ය අය නිහඬව සිතින් වන්දනා කරනවා ය කියන කටයුත්තේ දී ඔහු හෝ ඇය තුළින් දුර්වල කමක් දකිමු. ඒ අපගේ පෞද්ගලික අදහස යි. අද බෞද්ධ කටයුත්තකදී පවා පන්සිල් ගැනීමට පෙර නමස්කාරය කීමේ දී කණට ඇහෙන්නට හඬ නඟා කියන අය ඉතා අල්පය.

කුරුපැන්නෙ හාමුදුරුවන් විසින් කළු ගලෙන් ඉදිකරන ලද කළුගල් වෙහෙර

සජ්ක්‍ධායනයේ ඇති වටිනාකම හා ඵලදායි බව වර්තමානයේ නවීන විද්‍යාවෙන් පවා සනාථ කොට ඇත. ඒ බව සුකුබා සරසවියේ ජාන ඉංජිනේරු මහාචාර්ය කාසෝ මුරාකාමි මහතා මෙසේ විස්තර කැර ඇත.

“ඕනෑම ජීවියෙක්, මිනිසකු වේවා සතකු වේවා ශාඛයක් වේවා, ඒ සෛල විශාල සංඛ්‍යාවෙකින් සැදුම් ලද්දේ වේ. සෛලයක් යනු ප‍්‍රමාණයෙන් (ආසන්න ම) මිලි මීටරයකින් පන් ලක්ෂයකින් එකකි. (1 / 500000) බරින් ග‍්‍රෑමයකින් (ආසන්නම) විසි කෝටියකින් එකකි. (1/ 200000000) ජීවිතයක් ආරම්භ වනුයේ මව් කුසෙහි හට ගත්තා වූ මෙවැනි ඒක සෛල කලලයකිනි. සංසේචනයෙන් පසු මෙම කලල සෛලය දිගින් දිගට ම ඡේදනය වී අවසාන වනවිට අග පසඟ නිර්මාණය වන්නට පටන් ගනී.” (මහායානය එහි දර්ශනය හා පරිචය ජේ. විජේසේකර - 53 පිටුව)

වෙද්‍යවරු සිය පර්යේෂණ මගින් මූලිකව සජ්ඣායනයෙන් සිත හා කය ලබන යහ වර්ධනයෙහි නිරවද්‍යතාව සහතික කැර ඇත්තා හ.

තෝකියෝ විශ්ව විද්‍යාල රෝහලේ ප‍්‍රධාන ස්නායු ශල්‍ය වෛද්‍ය මහාචාර්ය තොමියෝ හිෙරෙ මෙසේ පවසයි. “දැඩි සේ සෙමෙන් ආශ්වාස කිරීමෙන් රුධිරයෙහි ක්ෂාර ගතිය අඩු වන අතර රුධිර වාහිනී විශාල වී රුධිර ගලනය පහසුවේ. ඉන් හදවත සැහැල්ලු වන අතර මාංශ පේශි සංසිඳේ.”

මොළයේ කි‍්‍රයාත්මක වන බීටා තරංග හා ඇල්ෆා තරංගවලට ද සජ්ඣායනය ඉතා සුබදායි අන්දමින් බලපෑමක් කරයි. අකුසල සිතුවිලි හා සම්බන්ධ බීටා තරංග අභිබවා කුසල සිතුවිලි සමඟ සම්බන්ධ ඇල්ෆා තරංග උත්පාදනය කැර වර්ධනය කිරීමට ද හේතුවේ. සජ්ඣායනයේ බලපෑම පිළිබඳ පර්යේෂණවලින් අනාවරණය වන්නේ ආශ්වාස ප‍්‍රශ්වාස ගැඹුරුව ශක්තිමත්ව හා දීර්ඝව සිදුවන විට එය යමකුගේ ප‍්‍රාණවත් බව වර්ධනය වීමට ඉවහල් වන බව ය. සජ්ඣායනය තුළින් ස්වයංසාධක ස්නායු පද්ධතියට යහපත් සුව සාදනය සඳහා බලපෑම් කැරේ. ඉන් සමස්ත සිරුරේ සෞඛ්‍ය තත්ත්වය ද වැඩි දියුණු වේ.

“ශ‍්‍රද්ධාවෙන් යුතුව සජ්ඣායනයේ යෙදෙන කලට මොළයෙන් පිටවන බීටා තරංග ඇල්ෆා තරංග ලෙසට පරිවර්තනය වේ. බීටා යනු කෙටි අක‍්‍රමවත් තරංග විශේෂයකි. භාව ප‍්‍රකෝප වූ විට නොරිස්සුම් සිතුවිලි ඇති වූ විට එසේ නැත්නම් අධික ආතතියක් ඇති වූ විට මෙම කෙටි තරංග මොළයෙන් පිටවන්නට පටන් ගනී. ඇල්ෆා තරංග මට සිලුටු ය. වක‍්‍රාකාරය. යමෙක් සිත පහන්ව විවේකීව ගත කරන කල්හි ඇල්ෆා තරංග උත්පාදනය වේ.” (මහායානය එ.ද.භා.ප - 25 පිටුව)

මහායානය හෝ වේවා හීනයානය හෝ වේවා මෙහිදී කියැවෙන සජ්ඣායනය ඕනෑම ජීවිතයකට සාධාරණය වේ. එහෙත් මොළයේ ඇල්ෆා තරංග වර්ධනය වන්නේ එම සජ්ඣායනය ශ‍්‍රද්ධාවෙන් යුතුව සිදු කළහොත් පමණි. මහායානිකයෝ “නම්‍යෝ ම්‍යෝ හෝ රෙන්ගේ ක්‍යෝ” යැයි “ඔදයිමොකු’ සජ්ඣායනයේ යෙදෙමින් දැඩි සේ සෙමෙන් ආශ්වාස කිරීම හෙවත් ගැඹුරුව ශක්තිමත්ව හා දීර්ඝව ආශ්වාස ප‍්‍රශ්වාස කරන්නේ යම් සේ ද “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ යන නමස්කාර පාඨය ද එසේ ම සජ්ඣායනා කළ හැකි ය. පන්සිල් පදයන් ද වෙනත් ඕනෑම පිරිත් සූත‍්‍රයන් ද එසේ ශ‍්‍රද්ධාවෙන් යුතුව සජ්ක්‍ධායනා කළ හැකි ය.

ථේරවාදී නිකායවල මහා සංඝයා වහන්සේ ද මෙහෙණින් වහන්සේ ද සිල් මෑණිවරු ද පිරිත් සජ්ඣායනයෙන් රෝගීන් සුවපත් කරන අවස්ථා බොහෝ ය.

ගැමියන් විසින් පහන් දල්වා දිනපතා පූජා පවත්වනු ලබන කුරුපැන්නෙ හිමියන් නමින් ඉදිකළ ස්මාරක චෛත්‍යය.

එවැනි ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී ආදාහනය කිරීමෙන් පසුව ද උන්වහන්සේ විසූ ගල්ලෙන තුළින් දවස් හතක් පිරිත් සජ්ඣායනය ඇසුණා යැයි කීවොත් ඔබ මවිතයට පත්වනු නිසැකය. එහෙත් එය සත්‍යයකි. එය සනාථ කරන වයස් ගත වැඩි හිටියෝ කරවනැල්ල ප‍්‍රදේශයේ කුරුපැත්ත හා එළුවාන ගම්මානවල අදත් වාසය කරති. දෙහිඕවිට, එළුවාන ගමේ පදිංචි 66 හැවිරිදි ඇස්වත්තගේ පියදාස මහතා මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ මෙසේ පවසයි.

“ඉස්සර කොළඹ සාප්පුවක වැඩ කළ කෙනෙක් ඒ රස්සාව අතහැර මේ ප‍්‍රදේශයේ රේල් පාර හදන කාලෙ එහි වැඩට ආවා. ඔහු කළේ මේසන් (පෙදරේරු) වැඩ. මමයි ඔහුට අත්වැඩ දුන්නේ. ඔහු පිරිත් කියන්න දක්ෂයි. මන්ත‍්‍ර ගුරුකම් එහෙමත් දන්නවා. වැඩ නැති දවස්වලට ගමේ ඇවිදින්න යනවා. ඔහු කුරුපැන්න කන්ද දැකලා, කන්දේ ගල් ලෙන් එහෙම දැකලා පැවිදි වුණා.

පැවිදි වුණාට පස්සෙ නම භාවිතා කළේ ධම්මානන්ද හාමුදුරුවෝ කියලා. නිකාය ඇහුවා ම කියන්නේ බෞද්ධ තාපස නිකාය කියලා. උන් වහන්සේ ගේ ගම මම දන්නේ නෑ. බෙන්තර ප‍්‍රදේශයේ කියලයි ආරංචි. ගිහි නමත් මට මතක නැහැ.

කරවනැල්ලේ පුංචි අප්පුහාමි මේ හාමුදුරුවන්ට ඉඩමක් දුන්නා පන්සලක් හදාගන්න. උන් වහන්සේ සල්ලි ඇල්ලුවේ නෑ. වැරදියි කියන කිසි ම දෙයක් කළේ නැහැ. හැබැයි වැසිකිළි යන වේලාවට සුරුට්ටුවක් බිව්වා. මිනිස්සු උන් වහන්සේ හැඳින්නුවේ කුරුපැත්තෙ හාමුදුරුවො කියලා.

උන් වහන්සේ හැමදාම උදේ පාන්දරයි හැන්දෑවෙයි නොවරදවා ම පිරිත් කිව්වා. ගමේත් ගම අවටත් මිනිස්සු පිරිත් අහන්න එනවා. මිනිස්සු ආවත් නාවත් උන්වහන්සේ පිරිත් කිව්වා. ඒ පිරිතෙන් අපල උපද්‍රව ලෙඩ දුක් සුවපත් වුණා. උන් වහන්සේ වැඩ සිටිය ගල්ලෙනට යන්න පාරේ සිට පඩි පෙළක් හැදුවා. ඒ මහ ගල් පලන්න, පෙරළන්න, ගෙනියන්න මන්ත‍්‍ර ශාස්ත‍්‍රයෙන් වැඩ ගත්තා. මිනිස්සු ගලේ එක පැත්තක් උස්සන කොට හාමුදුරුවො අනිත් පැත්තට අත තිබ්බා ම ගල ඉස්සෙනවා. ඒ වගේ ම කළු ගලෙන් චෛත්‍යයක් හැදුවා. මුළු චෛත්‍යයම කළුගල්වලින්. වාත්තු කළා වාගේ අවශ්‍ය හැඩයට ගල් සකස් කර මේ චෛත්‍යය හැදුවේ. අදත් යන කෙනෙකුට, දැක ගන්න පුළුවන්. මේවා කොහොම කළා ද කියා හිතා ගන්නත් අමාරුයි.

උන් වහන්සේ ගෙන් මම ඉගෙන ගත්ත මන්ත‍්‍ර තියෙනවා. සර්ප විෂ වෙදකමත් මට කියා දුන්නා.

මගුලේ යන්නත් දැකලා

කුඹුරේ මඩ කළල් කළා

වැස්සට පැල යට ඉඳලා

නාග විෂට නස්න කළා

මගුල් කරඳ කොළ හා කුඹුරු ඇට මද නර මුත‍්‍රයෙන් නස්න කළ විට නාග විෂ බහින බවයි එහි තේරුම.

මුත්තගෙ බෑයේ සුදු මද රැගෙනේ

අත්ත ගෙනා පැන් උණුකර අනාගෙනේ

පත්තෑ කෑ මුකේ ගෑවොත් විස බසිනේ

මුත්තාපල්ල බේතකි රටට නොකියන් නේ

කිල්ලෝටයේ හුණු මී පැණි සමඟ අනා ගෑවොත් පැත්තෑ විෂ බහින බව ඉන් කියැවේ.

“ඕං රීං කණ්ඩ කාලී මහා කාලී ඔඩ්ඩි අම්මා ඔට්ටු කට්ටු පූට්ටු ඒස්වාහº” මේ උළුක්කුවට මතුරන මන්ත‍්‍රයකි. මේ මන්ත‍්‍රයෙන් එඬරුතෙල්වලට මතුරා උළුක්කු වූ ස්ථානයේ ගාන්න.

ඒ කාලෙ මේ ප‍්‍රදේශයේ ඒක දත්තයා කියලා ඇතෙක් හිටියා. එක දළයයි ඒ ඇතාට තිබුණේ. ඒ නිසයි ඒක දත්තයා කියලා නම වැටුණේ. මේ ඇතා හරිම සැරයි. දවසක් මේ ඇතා පාරට ඇවිත් හිටියා. ඒ වෙලාවේ කුරුපැත්තෙ හාමුදුරුවොත් පාරේ ගමන් කරමින් සිටියා ඒ දිසාවට ම.

මිනිස්සු කෑ ගැහුවා “යන්න එපා හාමුදුරුවනේ” කියලා. මේ හාමුදුරුවො ඒ කීම නාසා ඇතා ඉන්න දිහාවට ම වැඩ ම කළා. සමහරු කේන්තියෙන් “යන්න එපා ගණයො. පල අහකට” කියලත් කෑ ගැහුවා. දැන් ඈත එන හාමුදුරුවන් දෙස ඇතා බලාගෙන ඉන්නවා.

හාමුදුරුවොත් ඇතා ඉස්සරහට ම වඩිනවා. මිනිස්සු ‘අනේ අපෝයි’ කියනවා. අන්තිමට ඇතා හොඬය උස්සලා කුංචනාද කර හාමුදුරුවෝ ඉස්සරහා දණ ගහලා නමස්කාර කළා.

ආයෙත් දවසක් භූතයෙක් වැහී පිස්සු හැදුණු තරුණ ගෑනු ළමයකු ඇගේ වැඩිහිටියන් විසින් පන්සලට කැඳවා ගෙන එනු ලැබුවා. පිරිතෙන් සුවපත් කරගන්න බලාපොරොත්තුවෙන්. ඒ කාලෙ පන්සල පාවුල කටු මැටියෙන් නවාතැන් පොළක් හදා තිබුණා පිටින් එන අයට නවාතැන් ගන්න.

මේ පිරිසත් එතැන නවාතැන් අරගෙන උදේ සවස මේ ගෑනු ළමයාව එක්කර ගෙන ගියා පිරිත් අහන්න. ඒත් මේ ළමයා සුවපත් වුණේ නෑ. ඒ වගේ ම මේ ළමයා තරුණ කෙනෙක් නිසා ගමේ ඉලංදාරි හැමදාම පූජාව වෙලාවට පිරිත් කියන වෙලාවට පංසලට ඇවිත් තාප්ප උඩ ඉඳගෙන බලා ඉන්නවා. මෙයින් වැඩි දෙනෙක් බීමත් ව එන්නේ. හාමුදුරුවන් මේ ගැන අකමැත්තෙන් හිටියේ.

මේ කෙල්ලගෙ පිස්සුව සාමාන්‍ය පිරිතෙන් සුව කරන්න බැරි තැන දවසක් හාමුදුරුවෝ ආටානාටිය සූත‍්‍රය දේශනා කළා. එදා කෙල්ල කීවා “මම බිල්ලක් අරගෙන මිසක් යන්නෙ ම නෑ” කියා.

හාමුදුරුවෝ කීවා “උඹට බිලි දෙන්න මම සූදානම් නෑ. අන්න අර පන්සලේ ඉන්න බැල්ලිගෙ වලිගය කුණු වෙලා වැටිලා තිබුණා. උඹට ඕනෑ නම් ඒක අරගනින්” කියා.

“හාමුදුරුවෝ මට අගෞරව කරනවා නේදැ” යි භූතයා ඇසුවා.

“මම භූතයන්ට මීට වඩා සලකන්නේ නෑ බං” හාමුදුරුවෝ කීවා.

“මම කාලි”

“ආ... එහෙනම් උඹ සදාකාලි ද?”

භූතයා නිරුත්තර වුණා. ටික වේලාවක් නිහඬව සිට “මට යන්න ඕනෑ” යි කීවා.

“ඉතින් පලයං. මම උඹට නවතින්න කීව යැ”යි හාමුදුරුවෝ පැවසුවා.

“හා... හා... පොඩ්ඩක් ඔහොම හිටපං” යි කියූ හාමුදුරුවෝ ළඟ තිබුණු පොල්මලක් ගෙන යමක් අධිෂ්ඨාන කැර තරුණිය අතට දුන්නා.

පොල් මල අතට ගත් උමතු තරුණිය පැන්න ගමන් අර තාප්පය උඩ හිටපු බීමත් තරුණියන්ට ගහගෙන ගහගෙන ගියා. උන්ට තාප්පයෙන් වැටෙන්නට ගැහැව්වා. පොල් මල් පාරට සමහරුන් ගේ මූණු පුපුරලා.

ඊට පස්සේ තරුණිය දුවගෙන ඇවිත් හාමුදුරුවන් අබියස සිහිසුන්ව වැටුණා. එයින් ම ඒ ළමයා සුවපත් වුණා. ඒක අමානුෂ්‍යයෙක් ශරීර ගත වී හැදුණු උමතුවක්. ඒ වගේ ම ඊට පස්සෙ ඉලංදාරි පිස්සු නැටුම් බලන්න ආවෙත් නෑ. බීගෙන පංසලට ආවෙත් නෑ.

ධම්මානන්ද හාමුදුරුවෝ 1962 වර්ෂයේ අපවත් වුණා. එතකොට උන්වහන්සේ ගේ වයස අවුරුදු අනූ එකයි. උන් වහන්සේ අපවත් වී ආදාහනය කළාට පස්සෙත් වැඩ සිටිය ගල්ලෙන තුළින් පාන්දරටත් රාති‍්‍රයටත් ඉතා ම සිහින් හඬකින් පිරිත් දේශනා කරනවා ඇහුණා. අපේ හාමුදුරුවෝ අපවත්වෙලත් පිරිත් කියනවා ය කියන ආරංචියට ගමේ අයත් ගම අවට අයත් දිනපතා 30 - 40 ක් ඒ පිරිත් අහන්න පංසලට ආවා. ඒ පිරිත් අහපු පැරැණි අය අදත් ගමේ ඉන්නවා. මමත් එයින් එක්කෙනෙක්” යැයි පියදාස මහතා කීවේය.

කුරුපැන්නේ හාමුදුරුවන්ගේ පිරිත් දේශනයේ අනුසස් දන්නා පැරැණි අය තමන්ගේ ලෙඩ දුක්වලදී කරදරවල දී තවමත් පැමිණ උන් වහන්සේ ගේ සොහොන් කොත ළඟ පහනක් දල්වා පූජා පවත්වනු දැකිය හැකි ය.

මෙම ගවේෂණය සඳහා මට සහාය වූ දියගම ඩබ්ලිව්.ජී. වීරවර්ධන මහතාටත් මධුක ගුණතිලක මහතාටත්, දැනට එහි යෝගී ජීවිතයක් ගත කරන හෝමාගම ඉන්ද්‍රරතන හිමියන්ටත් ස්තුති කරමි.

පින්තූර හා සටහන
මතුගම මහින්ද විජේතිලක
2009-05-03 - silumina
තිස්ස අබේසේකර (1939 – 2009) යනු බහු විධ කලා ප‍්‍රතිභා සපිරුණු සිනමා ප‍්‍රාඥයෙකි. එදා මෙදා ලාංකේය සිනමාවේ බිහි වූ උසස් අධ්‍යක්ෂවරුන් අල්ප දෙනාගෙන් ඔහු එක් අයෙකි. ප‍්‍රශස්ත ගණයේ තිර නාටක රචනයෙන් අබේසේකරයන් අබිබවා යා හැකි වූයෙක් එදා මෙන් අදත් මෙරට පහළ වී නොමැත.

තිස්ස දේශීය සිනමා මන්දාකිනියට සම්ප‍්‍රාප්ත වූයේ ජාත්‍යන්තර ඇගැයුම් ලැබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගම්පෙරළිය” චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්ෂ හා දෙබස් රචකයා ලෙසිනි. ඉක්බිති උසස් තිර රචනා විරල දේශීය සිනමා “වැලි කතර” ට තිස්ස අග‍්‍රගණ්‍ය “නිධානය” ක් මැ විය.

සිනමාව නුමුහුන් කලාවක් නොවන බවත් එය සාහිත්‍යාදි අවසෙස් නානා විධ කලා පයුරුපාසනයෙන් ප‍්‍රාරබ්ධ සංස්ලේශී (Synthetic) උත්තම කලාවක් බැව් “කරුමක්කාරයෝ” (1980), “මහගෙදර” (1982), “විරාගය” (1987) ඈ ස්වකීය නිර්මාණ ති‍්‍රත්වයෙන් අබේසේකරයෝ පෙන්වා දුන්හ.

සිංහල – ඉංගී‍්‍රසි ද්විභාෂා අතැඹුලක් සේ ප‍්‍රගුණ කොට එමඟින් ව්‍යක්ත ලේඛනයෙහි ද චතුර සංකථනයෙහි ද එක ලෙස නියැළිය හැකි කලාකරුවෝ දුලබ වෙති. තිස්ස එවන් විරල ගණයේ කලා ඇදුරුතුමෙකි.

ස්වකීය පෞරුෂත්වය තීව‍්‍ර කළ ගැඹුරු ස්වරයකට උරුමකම් කී තිස්ස තමාටම ආවේණික කථන ශෛලියක් ගොඩනඟා ගත්තෙකි. එම කථන විලාසය අනුකරණය කිරීමට වෙරදැරූ සන්නිවේදකයෝ අප අතර හිඟ නොවෙති.

ආතර් යූ. අමරසේනයන් ගේ ‘විසිතුර’ පුවත්පත ඔස්සේ සිනමා විචාරයට ප‍්‍රවිෂ්ට වූ තිස්ස, සිනමා මාධ්‍යයට ආවේණික විචාර මිනුම් දඬු සොයා ගිය පුරෝගාමී විචාරකයන් අල්පයෙන් ද කෙනෙකි. එසේම හේ පෙර අපරදෙදිග කලා න්‍යායන් යා කළ දාර්ශනිකයෙකි.

උසස් අධ්‍යාපනය ලබනු පිණිස මෙරට කිසිදු විශ්ව විද්‍යාලයකට පා නොතැබූ තිස්ස, පොත පත නමැති සරසවියෙන් හා ජීවිත උගැන්මෙන් පරිචයත්, බහුශ‍්‍රැත භාවයත් ලත් ස්වාධ්‍යායෙන් හෙබි උගතෙකි.

කොළඹ සරසවියේ සාහිත්‍ය සූචී (D.Lit) උපාධිය ඔහුට ගෞරවයක් ගෙන ඒමට වඩා ඊට ඔහුගෙන් ගෞරවයක් ලැබිණි.

තිස්ස ස්වකීය ජීවිතයේ ආරම්භක සමයේ උසස් ගණයේ ලේඛකයකු වීමේ ප‍්‍රණීධානයෙන් මඩනා ලද්දෙකි. එහෙත් සිනමා කලාවට ඒ ප‍්‍රතිභාව කැප වූයෙන් ඒ උත්තම ගණයේ සාහිත්‍යකරුවා අපට අහිමි විය.

සිංහල බසෙහි රස රිසියෙන් හේ පාඨකයා ඔකඳ කළ අපූරුව ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඔහුගේ ”Bringing Tony home” කෘතිය (ග්‍රේෂන් සම්මාන ලැබූ) කියවූ කල මා හට දැනුණේ සොම්නසක් නොව දොම්නසකි.

මන්ද තිස්ස අඛණ්ඩව ඉංගි‍්‍රසි බසෙන් සාහිත්‍යකරණයෙහි නියැළිණි නම් ඔහු බුකර් සම්මානයකට පවා උරුමකම් කිව හැකි, ජාත්‍යන්තර තලයට පිවිසිය හැකි, ලාංකික ලේඛකයකු බව මට පෙනී ගිය හෙයිනි. තිස්සගේ මහා ප‍්‍රතිභාව අපතේ ගියා දැයි මට වරෙක සිතේ.

ඔහුට නිවන් සුව පතනවාද? නැතිනම් මේ ප‍්‍රතිභාව සමඟම යළිත් ලංකාවේ උපදින්නට වරම් ලැබේවා යැයි සිතනවාද? මේ වූ කලි තවමත් ඔහුගේ සමුගැන්මෙන් පසු මා හට විසඳ්‍ර ගත නොහැකි වූ උභතෝකෝටියකි. මම රාති‍්‍රයේ කවුළු පියන්පත් හැර සෞම්‍ය සඳ එළියෙන් බබළන අහස් කුස දෙස බලමි.

එකල්හී තිස්ස අබේසේකරයන්ගේ පන්හිඳෙන් ලියැවුණු මාලිනී බුලත්සිංහල ගැයූ සුමධුර ගීතයක් සීතල මඳ පවනත් සමඟ මා සවනත වැකේ.

”සඳ මෝරා උඩු ගුවනට
එන කලට
ඔබේ මුහුණ පෙනෙනවා
කවුළු දොරින් මට”

නුවන් නයනජිත් කුමාර

වැලිකතරින් රටට ලැබුණු නිධානය

ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ

ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ වියෝවෙන් මෙරට චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට සිදුවූ අලාභය පිරවිය නොහැකි හිඩැසකි. මේ අඩුපාඩුව හමුවේ මා ප‍්‍රධාන වශයෙන් බද්ධ වන්නේ අප දෙදෙනා ම අලුම්කළ විෂය සිනමාව වීම හේතුවෙනි.

1966 දී පමණ චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ කටයුතු කරගෙන යන වකවානුවේ මට තිස්ස මුණගැසුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා එවකට පදිංචි වී සිටි දෙහිවල නිවසේදී ය. විශ්ව විද්‍යාලයෙන් පිටවුණු මම කේ.ඇල්. ද සිල්වා අධ්‍යක්ෂණය කරන ලද “නියද රටා” වාර්තා චිත‍්‍රපටයේ කැමරාකරණයට දායක වීමි. එහි සංස්කරණය උරගෑමට හා ප‍්‍රදර්ශනය කිරීමට ලෙස්ටර් ඇඳුරුතුමාට තිස්සත් එක්වී සිටි බව අද මෙන් මා හට මතක ය.

ඒ චිත‍්‍රපටය නැරැඹීමෙන් පසු තිස්ස හා මා අතර ඇතිවූ මිතුදම කිට්ටු ආශ‍්‍රයකට පෙරළිණි. එවකට ආචාර්ය පීරිස් මැතිතුමාගේ “සහාය අධ්‍යක්ෂක” ලෙසත්, “අමතර දෙබස් රචක” ලෙසත් ඔහු කටයුතු කරමින් සිටියේ ය.

අපගේ මිතුදම බෙහෙවින් ගැඹුරු වූයේ අප දෙදෙනාම සිනමාවට වශී වී සිටි බැවිනි. සිනමාව ගැන ලියැවුණු සෑම පොතක් ම කියවීමත්, එහි නිෂ්පාදනය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවට පැමිණි අවස්ථාත් එමටය. තිස්සගේ චිත‍්‍රපට රචනය පිළිබඳ තිබු ගැඹුරු අවධානය පිළිබඳව තියුණු පැහැදීමක් මා සිතට ක‍්‍රම ක‍්‍රමයෙන් ඇතුළු විය.

අන් අයගේ චිත‍්‍රපටවල කැමරාකරණය හා සංස්කරණය කරමින් සිටි මා 1967 වන විට චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට තීරණය කළ අවස්ථාවේ එහි කතාව පිළිබඳ අප දෙදෙනා අතර ඇතිවූ වාද විවාද, සාකච්ඡා එමට ය. විශ්ව සාහිත්‍ය පුළුල් ලෙස කියැවීමෙන් ලද පෝෂණයෙන් ඔපමට්ටම් වූ ඔහුගේ සුවිසෙස්වූ රචනා ශක්තිය පිළිබඳ ව මා සිත තුළ වූ පැහැදීම පල දැරුවේ “මරුකතර” නම්වූ චිත‍්‍රපටයේ කථාව, තිර රචනය, දෙබස් ලිවීම ඔහුට බාර කිරීමෙනි. පසුව “වැලිකතර” ලෙස නම වෙනස් වූ මේ චිත‍්‍රපටය තිස්සගේ පළමුවෙනි හා බොහෝ දෙනාගේ අදහස අනුව විශිෂ්ට වූ තිර රචනයයි.

“වැලිකතර” පෝෂණය කිරීමට අති දක්ෂ පිරිසක් දායක විය. ගාමිණි, ජෝ, සුවිනිතා රංගනයෙන් හා සෝමදාස ඇල්විටිගලයන් සංගීතයෙන්. ඒ අයගේ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමට අඩිතාලම සැකසුවේ තිස්ස ය. “වැලිකතර”ට පසුව ඔහුගේ දෙවෙනි තිර රචනය වූයේ මුදලිනායක සෝමරත්නයන්ගේ කතාව මත ලියැවුණු “බිනරමලි” චිත‍්‍රපටයයි.

අද පවා “වැලිකතර” දෙබස් සිහිගැන්වෙන අවස්ථා එමට ය. “නෝනා පයින් යන්න... යනකොට හුළං වදී...” ගෝරිං මුදලාලි ගීතා රන්දෙණියට කියයි. “රජ දැක්මට අවසර ද?...” වික‍්‍රම රන්දෙනිය තම බිරිඳට විහිළු කරයි. “උඹ කොහෙටද පැනලා යන්න හදන්නේ...” වික‍්‍රම කරන අභියෝගයට ගෝරිං කැපෙන වදනකින් පිළිතුරු දෙයි. “යන්නේ කොහෙද කියල මම දන්නේ නැහැ. නමුත් යන පාර දන්නවා. මීට අවුරුදු 13 කට කලින් සර් පැනල ගියෙත් ඒ පාරේ...”

තිස්සගේ නොමැකෙන දෙබස් පමණක් නොව ඔහු ගොඩනැගු චරිත තුන, වික‍්‍රම, ගීතා, ගෝරිං හුදෙක් ම ප‍්‍රබල ජීවමාන හා සිනමානුරූපි චරිත විය. ඔහුගේ රචනයේ රමණීය භාෂා භාවිතය සිනමා මාධ්‍යය මැනැවින් හා ගැඹුරු අවබෝධය තුළින් බිහිවූවකි. සාහිත්‍යයෙන් පෝෂණය වූ මේ සුවිශේෂ හැකියාව ආරයෙන් එන්නක් ලෙස මම දකිමි. “වැලිකතරි”න් තම සහජ හැකියාවන් ඔප්පු කරමින් අලුත් දිවියකට පා තැබී ය. “අමතර දෙබස් රචක” අග‍්‍රගණ්‍ය “තිර රචක” විය.

‘වැලිකතරින්’ විවර වූ දොරින් ‘නිධානයක්’ බිහිවිය. ඉන් පසු චිත‍්‍රපට ගණනාවක් ඔහුගෙන් හා ඔහු වෙත ගලා ආවේ ය. තවත් “තිස්ස” කෙනෙකු බිහි නොවන බවත් සිතමි. තිස්ස සිනමා තිර රචනය වෙන ම සාහිත්‍යයක් බව අවබෝධ කරගෙන සිනමාවම රූප ශබ්ද ගැළපීමෙන් කුතුහලය දනවන රසවත් කථාවක් ඉදිරිපත් කිරීමේ කාර්ය භාරයක් බව පැහැදිලිව ම පූර්ණ ව හා ගැඹුරින් අවබෝධ කරගත් ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චිත‍්‍රපට තිර රචකයා වේ.

ඉන්පසු තිස්සගේ හැකියාවන් වෙනත් පැතිවලට යොමු වූ අතර, රාජ්‍ය චිත‍්‍රපට අංශය හරහා තිස්ස වාර්තා චිත‍්‍රපට අධ්‍යක්ෂණයට යොමු විය. විවිධ ක්ෂේත‍්‍රවල ඔහුගේ තියුණු බුද්ධිය යොමු විය. රූපවාහිනිය, රංගනය වාර්තාකරණය, චිත‍්‍රපට අධ්‍යක්ෂණය, නවකතා සහ පොත් පත් රචනය, මේ කාර්යයන්ට ඔහු දායක ව නමුදු, මාගේ මුල් නිගමනය නොවනස් ව පවතී.

තිස්ස නිවන් සැප ලැබේවා!

මේ උසස් ආචාර්යවරයාට අපි තක්සලාවක් හදා දුන්නාද?

රූපණවේදී ජැක්සන් ඇන්තනී

“ලංකාවේ සිනමාලංකාරය සොයාගත්තේ තිස්ස අබේසේකරයි. ඔහු කෘතහස්ත අධ්‍යක්ෂවරයෙක්, තිරනාටක රචකයෙක්, නළුවෙක්. මේ සියල්ල ම ඇත්ත. ඔහු ලියූ පොත්, නිර්මාණය කළ චිත‍්‍රපට ආදිය මඟින් මේ භූමිකා අපට තවදුරටත් පරිශීලනය කරන්න පුළුවන්. නමුත් මා වඩාත් කනගාටුවන්නේ තිස්ස නමැති සිනමාලංකාරිකයා අපට අහිමිවීම ගැනයි.

ඔහු තමයි අපට සිටි උසස් ම සිනමා ගුරුවරයා. නමුත් ඔහුට තක්සලාවක් අප හදා දුන්නාද? ද්විභාෂාවෙන් ම ලියන්නට දෙසුම් පැවැත්විය හැකි මේ ශූර සන්නිවේදකයාගෙන් සේවය ලබා ගන්න ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයට හැකි වුණාද? එතැන සිදුවූයේ ආධ්‍යාපනික කුහකකමක්.

සිනමාව ඉගැන්වීමට අපට සිටි සුදුසු ම ගුරුවරයා පසෙක තබා මේ රටේ සිනමා පාඨමාලා පැවැත්වුණා. නව ශිෂ්‍ය පරම්පරාවකට ඔහුගෙන් දැනුම ලබා ගැනීමට තිබූ අවස්ථාව මේ නිසා අහිමි වුණා.

තිස්සගේ සැබෑ ගුණය සිනමා විචාරකයන් ග‍්‍රහණය කොට ගත්තේ නැහැ. සෞන්දර්ය විශ්වවිද්‍යාලය තිස්සට බාහිර කථිකාචාර්ය පදවියක් පිරිනැමුවා.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඔහුට ආචාර්ය උපාධියක් දුන්නා. නමුත් මේ සියල්ල ඔහුට ලැබුණේ වයස්ගතව රෝගාතුර ව සිටි කාලයක.

නමුත් තිස්ස ගස්, ගල්වලට පවා කතාකළ ඔහුගේ තාරුණ්‍යයේ දී මෙබඳු අවස්ථා ලැබුණේ නම් සිනමාවේ අනාගතයට කොතරම් නම් සේවාවක් ඉටු වේවිද!”


අපටත් වඩා ඔහු ජීවත්වුණා නම් හොඳයි

ප‍්‍රවීණ සිනමාවේදිනී සුමිත‍්‍රා පීරිස්

තිස්ස අබේසේකරයන්ගේ දැනුම ලංකාවට පමණක් සීමා වුණේ නැහැ. විශ්වයේ නොයෙකුත් ක්ෂේත‍්‍ර පිළිබඳ පුළුල් ඥාන සම්භාරයක් ඔහුට තිබුණා. සිංහල, ඉංග‍්‍රීසි භාෂා යුගල ම ඔහු අතැඹුලක් සේ දැන සිටියා. තිස්ස අප ඇසුරු කිරීම අරඹන විට ඔහුට යන්තම් අවුරුදු 20 පමණ වන්නට ඇති.

අඩසියවසක කාලයක් ඔහු ලෙස්ටර්වත් මාවත් ඇසුරු කළා. තිස්ස ක‍්‍රමයෙන් අපේ මිතුරෙක්, සහෝදරයෙක් බවට පත්වුණා. ලෙස්ටර්ගේ ‘සන්දේශය’ නිර්දය ලෙස විචාරයට ලක් කළ ලිපියක් ඔහු ලෙස්ටර්ට එවා තිබුණා. අපට අවශ්‍ය වුණා මොහු කවුරුන්දැයි දැන හඳුනාගන්න.

ලෙස්ටර්ට ඔහුගේ දක්ෂතා පිළිබඳ වැටහුණු නිසා ‘ගම්පෙරළිය’ චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්ෂ හා දෙබස් රචක වශයෙන් දායක කොට ගත්තා. පසුව ලෙස්ටර් ගේ ‘දෙලොවක් අතර’ චිත‍්‍රපටයේදී තිස්සගේ දක්ෂතා වැඩියෙන් මුවහත් වුණා. මෙහි තිරරචනය සාර්ථක ව ලිවීමට රෙජී සිරිවර්ධනත්, ලෙස්ටර් හා තිස්සත් මහත් පරිශ‍්‍රමයක් දැරුවා. එහිදී ලෙස්ටර්ගෙන් හා රෙජීගෙන් ලැබුණු උපදෙස් ඉතා නිහතමානීව ඔහු පිළිගත්තා.

තිස්ස ලියූ උසස් තිරරචනය ලෙස්ටර් ගේ ‘නිධානය’ බව අප කවුරුත් හොඳින් දන්නා දෙයක්. මට කනගාටු ඔහුගේ දැනුම, ප‍්‍රතිභාව උපරිම අවස්ථාවට ළංවෙමින් තිබියදී ඔහු අපෙන් සමුගැනීම ගැනයි.

ඇමරිකානු පොත් ප‍්‍රකාශන සමාගමක් තිස්ස ලියූ ’Bringing Tony home’ ප‍්‍රකාශයට පත් කළා. මෙය ලාංකික ලේඛකයකු ලැබූ භාග්‍යයක්. ඔහු මේ ග‍්‍රන්ථය ඉතා සතුටින් ලෙස්ටර්ට පිළිගැන්නුවා.

අන්තර්ජාලයෙන් මේ පොත ගැන පළවූ විචාර දැකලා ලේඛකයකු වශයෙන් විශාල බලාපොරොත්තුවක් තිස්සගේ හිතේ තිබුණා. නමුත් එය ඵල දැරීමට පෙර ඔහු අපට අහිමි වීම දුකක්. තිස්ස සෑම නිර්මාණයකටම ඉතා වෙහෙස වුණා.

පුළුවන් හැම උත්සවයකට, පොත් දොරට වැඩීමකටම සහභාගි වුණා. මරණය අප කාටත් නියතයි. නමුත් තව කලක් අපටත් වඩා ඔහු ජීවත්වුණා නම් හොඳ යැයි මට හිතෙනවා. ලෙස්ටර් තිස්සගේ මරණය ගැන දැඩි ලෙස කම්පාවෙන් ඉන්නේ. ඔහුට ඒ ගැන කතාකරන්නවත් බැහැ.

තිස්ස දැඩි ලෙස අසනීපෙන් යැයි දැනගත්දා සිට ඔහු වරින් වර රෑ දෙගොඩහරියේ “තිස්සට දැන් සනීප”දැයි මගෙන් ඇසුවා. තිස්සගේ මරණය ඔහුට එකවරම දැන්වීමට මා බියවුණා. උදෑසන පත‍්‍ර පවා ටික වේලාවක් සඟවා තැබීමට මා සේවකයන්ට නියම කළා.

සැබෑ තත්ත්වය මා ඔහුට කීවේ බොහොම අමාරුවෙන්. ගඟඅද්දර, මායා, ලොකු දුව වැනි මා අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපට ඔහුගේ තිර රචනයෙන් කලඑළි වුණා. තිස්සට නිවන් සුව ලැබේවා යැයි අපි පතනවා.

ඔහුගේ නිර්මාණවල, විචාරවල තිබුණේ බහු පඨිත ආඛ්‍යානයක්

සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි

“අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා ‘අනුගාමික නිධිය’ යනුවෙන් යෙදුමක්. එහි අරුත ආත්මයෙන් ආත්මයට සංසාරයේ තමා සමඟ එන නිධානයක් බඳුපිනක්”. තිස්ස අබේසේකරයන් සතුව මේ නිධානය තිබුණා.

එපමණක් නොවෙයි එතුමා එය නිර්ලෝභීව අපට බෙදා දෙන්න කැමැති වුණා. මේ බෙදා දීමේදී ඔහුගේ ආකෘතිය වුණේ සිනමාව හා සාහිත්‍යයයි.

සිනමා නිර්මාණකරණයේදීත් සාහිත්‍යකරණයේදීත් තිස්ස අබේසේකරයන් අපට කී දේ තුළත් ලියූ දේ තුළත් ගැඹුරක් තිබුණා.

ඔහු ඕනෑම දෙයකට ප‍්‍රවේශවීමේදී ඒ තුළ තිබුණේ බහු පඨිත ආඛ්‍යානයක්. එනම් එහි කියැවීම් බොහොමයක් අන්තර්ගත වුණා. තිස්සගේ නිර්මාණවල මෙන්ම විචාර චින්තාවන්හි ද මේ ස්වරූපය දකින්න ලැබුණා. තිස්ස පඩිවරයෙක්.

තමා පඩිවරයකු බව කිසිවකුට පවසා ඒ ගැන ලියවා නොගත්ත පඩිවරයෙක්.

ඔහුගේ හිතේ පුංචි කොනක මා ගැන මතකයක් තිබුණා. මගේ නිර්මාණ එතුමා ප‍්‍රසිද්ධියේ අගය කළා. මා ගැන අන්‍යයන්ට කියාදුන්නා. ප‍්‍රසිද්ධියේ මා වෙනුවෙන් සාක්ෂි දැරුවා. මා සිනමාකරුවකු කිරීමේ ගෞරවය මුළුමනින් ම හිමිවන්නේ ඔහුට.

‘අග්නිදාහය’ නමැති මගේ පළමු සිනමා කෘතිය නිර්මාණය කිරීමට එතුමා මට පියකු මෙන් බලකර සිටියා.

තිස්ස අබේසේකරයන්ගේ වියෝවෙන්

මට තාවකාලික ව අහිමි වූයේ වඩාත් උණුසුම, සිසිල සැපයූ දැවැන්ත සෙවණැල්ල මෙන් ම මගේ සාංසාරික ගුරුවරයා.

බුදුන්වහන්සේ ඓතිහාසික උතුමෙකැයි පවසන මහ පුදබිම

බුදුරජාණන්වහන්සේ හා සම්බන්ධ වූ ප‍්‍රධාන සිවුවැදෑරුම් සිදුවීම් සිද්ධ වූයේ පුරාණ දඹදිව හෙවත් ජම්බුද්වීපයෙහි ය. ඒ පුරාණ දඹදිවට මෙකල ව්‍යවහාරයේ පවතින ඉන්දියාව, නේපාලය, පකිස්තානය සහ බංග්ලාදේශ් ආදී රටවල් අයත් වූයේ ය. මේ නිසා රුට්මින්දෙයි හෙවත් ලුම්බිණි (සිදුහත් කුමරු උපන් ස්ථානය) නමැති පුදබිම අයත්්වන්නේ මෙකල නේපාලයට ය. සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වීම, ප‍්‍රථම ධර්ම දේශනය පැවැත්වීම සහ බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පෑම යන සිදුවීම් තුන ම සිදුවූ පුදබිම් පිහිටියේ මෙකල ඉන්දියාවේ ය. සිදුහත් කුමරු උපන් ස්ථානයට එදා සිට කි‍්‍රස්තු වර්ෂ 3 වැනි සියවස තෙක් ලක්ෂ ගණන් බෞද්ධ ජනතාව පමණක් නො ව ලෝකයේ විවිධ ජනතාව පැමිණෙන්නට ඇත. එසේ වුව ද එක්තරා සුවිශේෂ වූ පුද්ගලයකු කි‍්‍රස්තු පූර්ව 250 වර්ෂයේ දී සිදුහත් කුමරුන් උපත ලද මේ ලුම්බිණි (රුම්මින්දෙයි) පුදබිමට පැමිණි බැව් අපි දනිමු. අප විසින් ඒ බව දැනගනු ලබන්නේ ඒ මහා පුරුෂයා ලුම්බිනි නමැති පුදබිමට පැමිණ එහි ශිලා ස්ථම්භයක් ද පිහිටුවූ නිසා ය. එපමණක් ද නො වේ. තමා පැමිණි බවත්, සිදුහත් කුමරු මෙහි උපන් බවත් ඒ ශිලා ටැඹෙහි සටහන් කර තැබීම ඒ සියල්ලට ම වඩා වැදගත් වූයේ ය. මෙසේ ශිලා ටැඹක ලියවා ඒ සිදුහත් කුමරා උපන් ස්ථානයෙහි පිහිටුවන ලද්දේ දඹදිව් තලයේ මහා අධිරාජයකු වූ අසෝක (කි‍්‍රස්තු පූර්ව 273-232) රජතුමා විසිනි.

ලුම්බිනි සල්වනය කපිලවස්තු සහ දෙව්දහ යන දෙනුවර අතර පිහිටි ඉතා මනරම් පරිසරයක පිහිටි උයනකි. සල්ගස් දහස් ගණනක සුපුෂ්පිත වූ පුෂ්පයන් ගෙන් මුළු පරිසරය ම සුවඳවත් වී පැවැතුණු වෙසක් පුර පසොළොස්වක දිනයක දී සිදුහත් බෝසතාණන්වහන්සේ උපත ලැබුවේ මේ ස්ථානයෙහි බව සඳහන් ශිලාලේඛනයක් මේ කාලයේ දී පවා දැකගැනීමට ලැබීම සැබැවින් ම බෞද්ධ ජනතාව ගේ ශ‍්‍රද්ධා භක්තිය හා බුද්ධාලම්භන ප‍්‍රීතිය ද වර්ධනය සඳහා උපස්තම්භක වන්නේ ය. ලොව ශාස්තෘවරුන් උපන් ස්ථාන අතුරෙන් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ව ඔප්පු කළ හැකි වන එක ම ස්ථානය සිද්ධාර්ථ කුමාරයා උපත ලද මේ ලුම්බිනිය යි. මීට වසර 2300කට පූර්ව කාලයේ දී අසෝක අධිරාජයා මේ ස්ථානයට පැමිණි බව ද සිදුහත් කුමරු මේ ස්ථානයෙහි උපන් බව ද සඳහන් කරමින් ලියැවුණු ඒ ශිලාලේඛනය අපි අද ලුම්බිනි ටැම් ලිපිය (රුම්මින් දෙයි) ලෙසින් හඳුන්වා දෙන්නෙමු.

අසෝක රජතුමා විසින් පිහිටුවන ලද සමස්ත ශිලා ලේඛන සංඛ්‍යාව (සිය අධිරාජ්‍යය තුළ) 200ක් පමණ වේ. මේ ශිලා ලේඛන වර්ග පහකි. ඒවා තුදුස් ගිරි ලිපි 2. සුළු ගිරි ලිපි 3. ටැම් ලිපි 4. සුළු ටැම් ලිපි සහ 5. ලෙන් ලිපි යනුවෙන් හඳුනාගත හැකි ය. ඒ අනුව අසෝක රජතුමා ගේ මේ සෙල්ලිපිය සුළු ටැම් ලිපියක් ලෙසින් සැලැකේ.

(Asoka – D.R.Bandarkar. 1925. P32)

ලෝකයේ විවිධ වූ ශාස්තෘවරු කලින් කල ලොව පහළ වූහ. භක්තිමතුන්ට නො ව ඉතිහාසය හා පුරාවිද්‍යාව හදාරන ශිෂ්‍යයනට හා විද්වතුනට ඇතැම් ශාස්තෘවරුන් ඓතිහාසික පුද්ගලයින් බැව් පිළිගැනීමට සාක්ෂ්‍ය සොයාගැනීම අපහසු ය. තවත් සමහර ශාස්තෘවරුන් පිළිබඳ ඓතිහාසික සාක්ෂ්‍ය දක්නට ඇතත් ඒවා ඒ ශාස්තෘවරුන් ගේ උපත හෝ ජීවිතය පිළිබඳ සෘජු ව ම සඳහන් වන ප‍්‍රකාශ නො වේ. මේ අනුව විමසා බලන විට ගෞතම බුදුරජාණන්වහන්සේ ලෙසින් බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ කුමාරයා උපන් ස්ථානය ශිලා ලේඛන ගත කොට රජකෙනකු විසින් පිහිටුවන ලද මේ ස්තම්භයේ අගය මෙතෙකැ යි කියා නිම කළ නො හැකි ය. ඒ ලුම්බිනි ටැම් ලිපිය නිසා ම නො වේ. එය ද එක් කරුණක් නිසා බුදුරජාණන් වහන්සේ ඓතිහාසික උත්තමයකු බැව් ලොවට ඇසෙන සේ හඬගා කීමට බෞද්ධයන් වන අපට අද හැකියාව ලැබී තිබීම කෙතරම් භාග්‍යයක් ද?

අපි මීළඟට ලුම්බිණි ටැම් ලිපියේ අඩංගු වී ඇති කරුණු ගැන විමසා බලමු.

සෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ලේඛන බහුතර සංඛ්‍යාවක් ලියවා ඇත්තේ බ‍්‍රාහ්මී අක්ෂරවලිනි. ඊට අමතර ව අරමැයික් ඛරෝෂ්ටි සහ ග‍්‍රීක් භාෂාවෙන් ද ලියවන ලද ශිලා ලේඛන දක්නට ලැබේ.

“දේවානංපිය පියදසි (රජු) ගේ අභිශේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හි මෙහි ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ උපන්නේ යැයි (සලකා) තමා ම පැමිණ ගෞරව කෙළේ ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අසා (ප‍්‍රකාශයට පත් කොට) දැඩි ඇල්මකින් යුතු ව ශිලා ටැඹක් පිහිටු වී ය. ලුම්බිණි ග‍්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථ ලාභය ඇති කෙළේ ය.”

අසෝක ධංම ලිපි - ටැම්ලිපි හා ලෙන් ලිපි මහාචාර්ය අබය ආරියසිංහ 2000 පි. 58 - 59)

මේ පිළිබඳ ව මහාචාර්ය අබය ආරියසිංහ විද්වතාණෝ මෙසේ ද පවසති.

“මහා පරිනිර්වාණ සූත‍්‍රයෙහි තථාගතයන් වහන්සේ උපන් ස්ථානය බුදු වූ තැන, දම්සක් පැවැත්වූ තැන හා පිරිනිවන් පෑමට නියමිත තැන් පහන් සංවේගය දනවන බැව් උන්වහන්සේ දේශනා කර තිබේ. මෙයින් බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය ලුම්බිණිය ඒ අනුව වැදගත් වේ. එබැවින් ඒ ස්ථානය කෙරෙහි දැඩි ඇල්මක් ඇති කරවීමට අසෝක රජතුමා කි‍්‍රයාකර ඇති බව මෙයින් ඔප්පුවේ. (එම ග‍්‍රන්ථය පි. 75)

ලුම්බිණි ටැම් ලිපිය බ‍්‍රාහ්මි අක්ෂරවලින් ලියා ඇත්තේ මෙසේ ය.

දෙවනපියෙන පියදසින ලජින විසතිවසාභිසිතෙන

අතන අගාච මහියිතෙ හිද බුද ජාතෙ සාක්‍යමුනිති

සිලාවිගඩභිච කලාපිත සිලාකභෙච උසපපිතෙ

හිද භගවං ජාතෙති ලුංබිනිගාමෙ උබලිකමෙ අථභාගියෙච

(INSCRIPTIONS OF ASOKA - D.C SIRCAR - 1957 - P. 42)

එදා අසෝක රජතුමා ලුම්බිණියට පැමිණියේ රජ වී වසර විස්සක් ගත වූ පසු ව බැව් ඒ ටැම් ලිපියෙහි ම සඳහන් කර ඇත. අසෝක රජතුමා ලුම්බිණියට පැමිණීම පිළිබඳ ජන ප‍්‍රවාදයක් ද ඇත. ඒ අනුව අසෝක රජතුමා ලුම්බිණියට පැමිණියේ තනිවම නො වේ. රාජ රාජ මහාමාත්‍යාදීන් සමඟ ය. ඒ සමඟ තවත් සුවිශේෂ වූ පූජණීය වූ භික්ෂුන් වහන්සේ නමක් ද පැමිණි බැව් ජනප‍්‍රවාදයේ පවතී. උන්වහන්සේ නම් උපගුප්ත හිමි ය. උපගුප්ත හිමි අසෝක රජතුමා ගේ අධ්‍යාත්මික කටයුතු පිළිබඳ උපදේශකවරයාණන් ද වූයේ ය. උපගුප්ත හිමි උන්වහන්සේ ගේ දකුණු අත දික්කොට මේ ස්ථානයෙහි සිදුහත් කුමරා උපත ලැබුවේ යැයි අසෝක රජතුමාට ඒ අවස්ථාවේදී පැවසූ බැව් එකී පුරාවෘත්තයෙන් ප‍්‍රකාශ වේ. ඉන්පසු ව මේ පූජණීය ස්ථානයේ වූ රුක් සෙවණේ සිදුහත් කුමරුන් උපත ලැබූ බැව් ඒ අසල සල්ගසක් පෙන්වා උපගුප්ත හිමියෝ ප‍්‍රකාශ කළහ. (භාරත - ලංකා බෞද්ධ උරුමය පි.70)

ලුම්බිණි ටැම් ලිපිය සොයා ගැනීම

මීට වසර 112 පෙර (කි‍්‍ර.ව. 1896) නේපාලයේ කත්මණ්ඩු නගරයේ සිට සැතපුම් 90 පමණ නිරිත දිගින් පිහිටි මේ ප‍්‍රදේශයේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවල යෙදුණේ. ඉතා ප‍්‍රකට පුරාවිද්‍යාඥයකු වූ ඇලෝසිස් ඇන්ටන් පිය්‍යුහර් මහතා ය. භයිරවා නගරයෙන් සැතපුම් 12 පමණ දුරින් පිහිටි රාම්මින්දෙයි නම් වූ ගමෙහි වැලි ගලින් නිම කරන ලද අඩි 21 පමණ උස් වූ ශිලා ටැඹක් හමු වූයේ ය. එහි මුදුන කැඩී තිබිණි. වටකුරු වූ ඒ ශිලා ස්තම්භය තවත් පරීක්ෂා කළ ඒ ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයාට ඒ ශිලා ස්තම්භයෙහි අකුරු ලියා ඇති බව ද දැකගන්නට ලැබිණි.

ඒ දක්වා ම සිද්ධාර්ථ කුමාරයා උපන් ස්ථානය පුරාණ කාලයට පසු ව ස්ථිර ලෙසට ම දැන ගෙන සිටියේ නැත. ලුම්බිණි සල් උයන යනු කල්පිත ස්ථානයක් යැයි ද සමහරු කල්පනා කළහ. සමහර බටහිර ප¾ඩිවරු බුදුරජාණන් වහන්සේ ගේ ඓතිහාසිකත්වය පවා පිළිගැනීමට මැලි වූහ. මෙසේ පැවැති ඒ සියලු ම දුර්මත බිඳ හෙළීමට මේ ටැඹෙහි ලියූ ශිලා ලේඛන (ටැම් ලිපිය) උපකාරී වූයේ ය. ඒ ලුම්බිනී ටැම් ලිපිය 1898 වර්ෂයේ දී කියවන ලද්දේ ආචාර්ය ජේ.ජී. බය්‍යුලර් මහතා විසිනි. ඔහු අසෝක ශිලා ලේඛන පරිවර්තනය කිරීමේ කටයුතු 1878 වර්ෂයේ සිට සිදු කළ ඉතා ප‍්‍රකට ප¾ඩිවරයෙකි.

බුදු රජාණන් වහන්සේ ගේ උපත... බුද්ධත්වය හා මහා පරිනිර්වාණය යන සිදුවීම් තුන පමණක් නො ව බුදුරජාණන් වහන්සේ ගේ ජීවිතය හා සම්බන්ධවූ ස්ථාන රැසක් අද දවසේ දී පවා දැනගැනීමට අවස්ථාව උදා වී ඇත්තේ අසෝක රජතුමාට පින් සිදුවන්නට බව ලොව ප‍්‍රකට කරුණකි. මේ පිළිබඳ ව ආචාර්ය ආනන්ද ඩබ්ලිව්.පී. ගුරුගේ” විද්වතා අසෝක රජතුමා පිළිබඳ ව මෙසේ සඳහන් කරයි.

“ඉන්දියාවේ පොදු ජනතාවට අසෝක රජතුමා ගැන දැනගන්නට ලැබී දැනට ශතවර්ෂ එක හමාරකට වඩා නැත. එසේ දැනගන්නට ලැබුණේ ද විදේශීය විද්වතුන් විසින් අසෝක රජුගේ ශිලා ලිපි සොයා ගෙන කියවා තේරුම් ගෙන පරිවර්තනය කරනු ලැබීම නිසා ය. එහෙත් අනෙක් අතට නේපාලය. තිබ්බතය හා චීනය යන රටවල සිට ශ‍්‍රී ලංකාව දක්වා මුළු මහත් අග්නිදිග ආසියාවේ, ආසියාවේ ද සෑම නිකායකට ම අයත් බෞද්ධයන් අසෝක රජු පිළිබඳ මතකය භක්ත්‍යාදර පරස්සර කෘතවේදීත්වයෙන් යුතු ව චිරස්ථායි කොට පවත්වා ගෙන ඇතුවා පමණක් නො ව බුදු සසුනට සිටි මහත් ම හිතවතා හා අනුග‍්‍රාහකයා වශයෙන් තමන් ගේ ඉතිහාසයේ ද ඔහුට විශිෂ්ට තැනක් දී ඇත.

(ධර්මාශෝක සුවිනිශ්චිත ජීවන චරිතය - ආචාර්ය ආනන්ද ගුරුගේ පිටුව - 621)

ලුම්බිණි පුද බිම - වැඳ පුදා ගැනීමට කි‍්‍ර.ව. 406 දී චීන සංචාරක භික්ෂූන් වහන්සේ නමක් වූ පාහියන් හිමියෝ වැඩම කළහ. උන්වහන්සේ ගේ වාර්තා වල සිදුහත් කුමරු උපන් සල් ගසේ සෙවණ වැඳ පුදා ගත්හ. සිදුහත් උපතට පසු ව මහාමායා දේවිය ස්නානය කළ පොකුණ පිළිබඳ ව ද ෆාහියන් හිමියෝ සිය වාර්තාවේ සඳහන් කරති. කි‍්‍රස්තු වර්ෂ 637 දී ලුම්බිණිය වැඳ පුදා ගැනීමට පැමිණි තවත් චීන ජාතික භික්ෂුන්වහන්සේ නමක් වූ හියුංෂාං හිමියෝ ද ලුම්බිණි පුදබිම පිළිබඳ අගනා විස්තරයක් සිය වාර්තාවල සඳහන් කරති. කි‍්‍රස්තු වර්ෂ 12 වන සියවස තෙක් ම වන්දනීය භාවයට පත් වූ ස්ථානයක් ලෙසින් ලුම්බිණි පුදබිම පැවතිණි. ඉන් පසු ව මහ වනයට යට වූ මේ පුදබිම නැවත සොයා ගන්නා ලද්දේ ඉහතින් සඳහන් කළ ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයා විසිනි. ඔහු ගේ ගවේෂණයෙන් පසු කරන ලද කැණීම්වල දී පහත සඳහන් ස්ථාන ලුම්බිණි පුද බිමෙන් මතු කරගන්නා ලදී.

1. මායා දේවී විහාරය 2. නාක්‍ය (සිද්ධාර්ථ) පොකුණ 3. විහාරයක නටබුන් බාර හාර සඳහා සාදන ලද කුඩා දාගැබ් ආදියවේ.

BUDDHIST SRINE IN INDIA - D.C. AHIR. P.3

මේ කරුණු අනුව අසෝක රජතුමා චීන ජාතික භික්ෂුන්වහන්සේලා සහ යුරෝපීය පුරාවිද්‍යාඥයන් (ඇලෙක්සැන්ඩර් කනිංහැම් ප‍්‍රමුඛ) මේ භාරතීය පුදබිම් යළි සොයා ගැනීමට උපකාරී වූ බව සිහිපත් කළ යුතු ය. මෑත භාගයේ දී අනගාරික ධර්මපාල තුමා නොවන්නට බුද්ධගයාව ඇතුළු මේ පුදබිම් අද තිබෙන තත්ත්වයෙන් දැකගැනීමට අවස්ථාව නොලැබෙන බව ද ලාංකික අප අමතක නො කළ යුතු ය. අනගාරික ධර්මපාල තුමා එදා පිහිටුවන ලද මහා බෝධි සමාගම නිසා අදත් මේ පුදබිම් අපට වැඳ පුදා ගැනීමට ලැබෙන්නේ ඉන්පසු මේ කාලය තෙක් ම ඇප - කැප වී කි‍්‍රයා කරන මහා සංඝරත්නය ද නිසා ය.

සිරිසමන් විජේතුංග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා සහාය අධ්‍යක්ෂ

පන්සල සෞන්දර්ය ස්ථානයකි

පුවත්පත් කලාවේදී ඩී.බී.ධනපාල මහතා, කැලණි රජමහා විහාර චිත‍්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් මහතා ගැන Among Those Precent නම් පොතෙහි සඳහන් කරමින් රජමහා විහාර අලුත් ගොඩනැඟිල්ල විවෘත කිරීම ගැනත් ඒ උත්සව අවස්ථාව සෝලියස් මැන්දිස් කලාකරුවා බලාගෙන සිටි ආකාරය ගැනත් කදිම වර්ණනාත්මක ලේඛනයක් නිර්මාණය කරමින් බෞද්ධාගමික වාස්තු විද්‍යාව සම්බන්ධ අපූර්වතම මුඛ්‍ය පාඨය මතක් කර දේ.

ඒ මෙසේ ය.

ඉමං විහාරං බුද්ධස්ස පූජේමි

මේ විහාරය බුදුරජාණන් වහන්සේට පූජා කරමි යන්නයි.

සංඝාවාස සඳහා පූජා කැරෙන වෙහෙර විහාර, එසේ පූජා කාර්යයෙන් සමස්ත ශාසනය වෙත පැවැරෙන බව, ආරම්භක අවස්ථාවේ සිට ම පොරොන්දු දීම ඉතා වැදගත් කරුණකි. ඉන් ගම්‍ය වන දානමය සත් කි‍්‍රයාව මෙහි දී ඉස්මතු ව පවතී. සඟ සතුවෙන් පසුව එය පුද්ගලා’නුබද්ධ අයිතියෙන් වියුක්ත වස්තුවක් බවට පත් වන්නේ ය. අනතුරු ව අප මතකයට එනුයේ ඉතිහාසයේ එන එවැනි ම වූ තවත් සම්භාව්‍ය කියමනකි.

අගත අනගත චතුදිස සඟස

ඉපැරැණි ගල් ලෙන් සසුනට පූජා කිරීමේ දී ඒවායේ කොටන ලද ශිලා ලිපි අතර දැක්වෙන ඉහත සඳහන් පාඨය පැරැණි උරුමය හා බැඳී පවතින සුඛනම්‍ය වාක්‍ය ඛණ්ඩයකි.

දන්දීමේ පරම පවිත‍්‍ර චේතනා ගොනු කරගත් අවස්ථාවක් සේ මෙකී අදහස පුන පුනා මෙනෙහි කළ හැකි ය.

‘ආ නො ආ සිවුදිග සංඝයා හෝ පැමිණි නො පැමිණි සතර දිශාවෙන් වඩින සංඝයා වහන්සේ වෙත යන්නෙහි ගැඹුර - ක්‍ෂේත‍්‍රය කෙතෙක් දැයි සීමා නිර්ණයක් දැක්විය නො හැකි තරම් ය.

සංඝයා වහන්සේ වෙත පුද කැරුණු එවැනි වූ ගොඩනැඟිලි පොදු ආගමික දේපළ ගණයට ගැනේ. පන්සල නමින් වර්තමානයේ හැඳින්වෙන පූජ්‍යස්ථානය එය නොවන්නේ ද?

කලා විචාරක ආනන්ද කුමාරස්වාමි මහතා මෙසේ කියයි.

”මධ්‍යකාලීන යුගයේ පන්සල් වූ කලී භික්ෂූන් විසින් නියත වශයෙන් නිවාස කොටගත් සැප පහසු රහිත ගල් ලෙන් නො වේ.

මධ්‍ය කාලීන පන්සලක් ඒ කාලයට ම අයත් ගිහි නිවසකට සමාන ය. එනම් ඇතුළු බරාඳය .... මැද මිදුලක් ඇති සෘජු කෝණාශ‍්‍රාකාර ගොඩනැඟිල්ලකි. ... පොහොය ගේ තනන ලද්දේ කැප කළ භූමි ප‍්‍රදේශයක පිහිටුවන ලද සීමා - ගල් දොළසක් ඇතුළත... බණ මඩුව වූ කලී කාණු උඩ නැංවූ එළිමහන් ගොඩනැඟිලි ය. .. දාගැබ හෙවත් ස්තූපය චතුරශ‍්‍රාකාර ... ස්මාරක විශේෂයකි.”

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ලංකා විශ්වවිද්‍යාල ඉතිහාස ග‍්‍රන්ථ පළමු වෙළුමේ මුල් කාලය ගැන දක්වන අදහස ද වැදගත් වේ:-

”9 වැනි 10 වැනි ශත වර්ෂවලට අයත් මිහින්තලේ කන්ඨක චේතියේ පිහිටීම ආශ‍්‍රිත ව ඇති මහේශාක්‍ය ලීලාවත් සෞන්දර්යාත්මක ඉසව්ව ඇතුළත් පරිසරයත් අතිශය වැදගත් ය....

රුවන්වැලි සෑ අඩිතාලම වටා ඇති ප‍්‍රාකාරයට බද්ධ කළ ඇත් සොඬ සහිත හස්ති ඉදිරිපස දැක්ම හඟිනුයේ කන්දක් වැනි, දැවැන්ත වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම හස්ති සමූහයක් විසින් දරා සිටින ආකාරයයි. “(පැරැණි අලි-ඇතුන් ගහන පරිසරය හා මෙය අපූරුවට ගැලපෙන රඟ දෘශ්‍ය රූපයකට නඟා සැලැකීම වටී)”

ඒ දැවැන්ත පූජනීයස්ථාන සමඟ ගලපා ඇති සිත්කලු මුරගල් දෙපස පිහිටැවූ පඩි පෙළ සිද්ධස්ථානවල පරිසරය ආකර්ෂණශීලී කිරීමට ද සමත් ව ඇති බව දේශීය මෙන් ම විදේශීය සංචාරක සාහිත්‍ය ඇසුරින් පෙනේ.

ලංකාව ගැන පැරැණි ම ගවේෂණශීලී ‘Song of Ceylon’ නම් වාර්තා චිත‍්‍රපටය තැනූ ‘බැසිල් රයිට්’ තම කැමරා ඇසට ලක්කර ඇති පඩි පෙළවල්, මුරගල් ආදිය කදිම ආගමික සංකේත මෙන් ම සෞන්දර්යාත්මක වටපිටාව පන්සල් ආශ‍්‍රිතය වාර්තා කරමින් නිර්මාණිත ය. නූතන කාලයේ තැනූ වැදගත් වාර්තා කෙටි චිත‍්‍රපටයක් වූ ඩී.බී.නිහාල්සිංහ ගේ ‘භක්ති’ නම් කෘතියෙන් ද මෙවැනි සිත් ඇදගන්නා පිය ගැට පෙළ රූපාවළිය අමතක කළ නො හැකි සෞන්දර්ය රටාවක් මවා ඇත.

බෞද්ධ සාහිත්‍යයේ එන පන්සල් මැවීම සම්බන්ධ විස්තරයක් අපට හමුවන්නේ වෙස්සන්තර ජාතකය ආශ‍්‍රයෙනි.

”එදවස් ශක‍්‍රදේවෙන්ද්‍ර තෙමේ දහසක් නුවණැස ලා මනුෂ්‍ය ලෝකය බලන්නේ .... විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා කැඳවා .... හෝ එහි ගොස් පන්සල් දෙකක් හා සක්මන් මලු දෙකක් ... ආදී වූ දෙය මවා ‘තපස් කරන්නවුනට කැපය’යි බිත්තියේ අකුරු ලියා...”

පන්සල අද මෙන් එදා ද, සමාජයේ වැදගත් ස්ථානයක් හිමිකර ගෙන ඇත. එය පැරැණි දේශීය සමාජය සම්බන්ධයෙන් අර්ථ කථනය වී ඇත්තේ පැරැණි ගැමි සමාජ රටාව තුළ නිර්මිතවූ සැලැසුම් ව්‍යූහය අනුසාරයෙනි.

වැව ආශ‍්‍රිත කුඹුරු - ගෙවල් හා වගා බෝග - වන රොද – වන පියස ආදිය ය.

කෘෂි සංස්කෘතික පදනම මත ජීවත් වුණු ගැමියා බෞද්ධ හැදියාව ජීවිතයට ළංකරගත් බව ‘කොත විලසට බැත එක් කරගන්නේ’ ගොයම් මාලයේ එන කවි පදයෙන් කදිමට පැහැදිලි වේ.

අනුරාධපුර කාලවකවානුව එනම් සංස්කෘතියක් බිහිකළ යුගයක් ද ලෙස ඇතැමෙක් අදහස් කරති. අ’පුර සංස්කෘතිය ශතවර්ෂ එකහමාරක් පමණ ම වර්ධිත බෞද්ධ සංස්කෘතියක් ම විය. අ’පුර මුල් කාලයේ ම ඉදි කරන ලද ථූපාරමයත්, මහා ථූපය ලෙස හැඳින්වෙන රුවන්වැලි මහා සෑයත් අහසින් බලන කල වාර්තාවන දර්ශනය, සෞන්දර්යකාමී දේශාටකයන් ගේ කතාබහට හැමවිට ම ලක් ව ඇති ලංකාව වෙනුවෙන් වූ ධනාත්මක චින්තන රටාවට වැටෙන්නකි.

සැතැපුම් ගණනක් දිගට පළලට පැතිර පවත්නා අ’පුර නිම්නයේ පොළෝ ගැබ හදිසියේ උඩට නෙරා ආ යෝධ කඳු ගැට මෙන් ඈතට දිස්වන මේ ස්තූප, පැරැණි සභ්‍යත්වයේ සංකේත ලෙස සෞම්‍ය සිතිවිලි මවාලන්නට සමත් ව ඇත. පැරැණි මහ සෑ මළුව බෙර ඇසක් සේ දිස්වුණු බවට වූ ඉතිහාසගත ප‍්‍රවෘත්තිය මෙහි දී මතකයට ඒ.

බෞද්ධ වූ සිතුවිලි රටාව කෙරෙන් කෘෂි සමාජ ස්තරය ආශ‍්‍රිතව ‘පන්සල’ සංකල්ප ව්‍යූහය, ක‍්‍රමික සංවර්ධන තලයකට පිවිසියේ ශතවර්ෂ ගණනක දිවි පෙවෙත සමඟ ය. කෘෂිකර්මය ආශ‍්‍රිත මධ්‍යකාලීන සමාජ රටාව කුමාරස්වාමි මහතා මධ්‍යකාලීන සිංහල කලා ග‍්‍රන්ථයෙන් විස්කර කරනුයේ ජනතාවට අයත් ආගමික කලාවක් ලෙසය. “එහෙයින් ම එය ජනප‍්‍රිය කලාවක් විය. එය ආගම හා ප‍්‍රජාව සමඟ ඒකීය භාවයට පැමිණි රජුන් සිටි ජනතාවගේ කලාවකි” යනු විසිනි.

බෞද්ධයන් ගේ ඕනෑ එපාකම්, සිතුම් පැතුම්, සිරිත් විරිත් සමඟ ම රැකීගෙන ආ ගුණ දහම් (ගැමි) සමාජය හදා වඩා පෝෂණය කළ බව පෙනේ.

බෞද්ධ හිමිවරුන් ගේ වාසස්ථානයක් බවට පෙරැළුණු බව අදහස් කරන ඉන්දියාවේ අජන්තා කලා ලෙන් පරිශ‍්‍රය බොහෝ විට විචාරකයින් හඳුන්වා දී ඇත්තේ පරම්පරා ගණනක බෞද්ධ භික්ෂූන් වහන්සේලා ’සමාධිගත ව වැඩසිටි පන්සලක් හැටියට ය’.

නිහඬ ව දහම් පිරූ නිස්කලංක කඳු බෑවුමක් මෙන්, ගල්පර්වත පරිශ‍්‍රයක් මෙන් – අශ්ව ලාඩමක ආකෘතිය දනවන ජලාශ‍්‍ර ඉසව්වක් මෙන් ද අජන්තා කලාබිම හඳුන්වා දිය හැකි ය.

සංස්කෘතික මූලාශ‍්‍රය බුදුදහම කෙරෙන් ද, එය ආශ‍්‍රිත කොට ගෙන ද ඉපැදී, පෝෂණය වී, වර්ධනය වී පැතිරී යෑම ගැන ඓතිහාසික සාධක අප රට තුළ ද දක්නට ලැබුණු බව පාහියන්, හියුංසාන් ආදීන්ගේ දේශාටනික වාර්තාවලින් දැකගත හැකි ය.

පන්සල, එහි පිහිටීම අනුව ම සෞන්දර්ය ස්ථානයක් විය. පර්වත මුදුන්, මුල් වෙහෙර විහාර ආශ‍්‍රිත පුද බිම් හැටියට අපි දනිමු. එහෙත් එය –ඊට ම සීමා වූ පරිශ‍්‍රයක් පමණකැ යි ඉන් අදහස් නො කැරේ. වෙනත්, පූජනීය ස්ථාන පිහිටීම ගැන සලකා බැලීමේ දී වෙනත් ආකාර භූ ලක්ෂණ දැක්ක හැකි ය. කඳු ශිකරවලින් තොර වූ යාපනයේ නාග විහාරය, කැලණිය රජ මහා විහාරය ඒ අතර ප‍්‍රසිද්ධ තැනක් උසුලයි.

පන්සලේ ඓතිහාසික පටන්ගැන්ම රාජ්‍යානුග‍්‍රහයෙන් එසේ වර්ධනය වුව ද ‘මහා’ (මහා විහාර ආදී තන්හි එන) විශේෂණය කෙමෙන් නැති වී යන්නටත්, රටේ ඓතිහාසික, සමාජ - සංස්කෘතික හැලහැප්පීම් නිසා ආගමික දේහය නොයෙක් ස්වරූපවලට ඉලක්ක වීමත් පන්සලේ අධිකාරි බලය සම්බන්ධ නවමු වර්ණ රටා වැඩි වර්ධනය කිරීමට සමත් විය.

මාර්ටින් වික‍්‍රමසිංහ මහතා යක්කඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාරාම උපහාර අංකයට (1967) ලිපියක් සපයමින් වැදගත් නිරීක්ෂණයක් ඉදිරිපත් කරයි.

”අප රට අධ්‍යාපනඥයෝ සීයක් අවුරුද්දකට වැඩි කාලයක් අපගේ සිංහලකම් නැති කොට ඉංග‍්‍රීසි වර්ගයාගේම උප වර්ගයක් කරනු පිණිස වෑයම් කළහ.. මීට අවුරුදු පහළොවකට පමණ පෙර ඔවුහු සිංහල සංස්කෘතියක් ගැන කථා කරනු නොඉවසූහ. සමහරු එය ජාතික ඔල්මාදයෙන් නොමඟ ගියවුන්ගේ අවිචාර දෙසුමක් යයි කීහ.”

පන්සල පොදුවේ ගත් කල සංස්කෘතික මධ්‍යස්ථානයක්ද විය. එය ඉබේට ම සිදුවූවකි. පොදු ජන රුචිය, පොදු ජන ආශ‍්‍රිත සම්ප‍්‍රදායයන් වැඩි වර්ධනය කරගත් පන්සල පරිවර්තන රාශියකට භාජනය වූ බව පෙනේ.

සමාජ, දේශපාලනික ස්තරය දෙදරත් ම, ඒවාට සමාන්තර ව මෙන් නැඟුණු තාක්‍ෂණික ඇතැම් වල් පැළෑටි විසින් ඇති කැරුණේ අසහනකාරී දාහයකි. යුදය, ආගමික (ජාතික) කෝලාහල, ආර්ථික ව්‍යවසාය කරණ කොට ගෙන නිර්මාණය වූයේ ‘අමුතු’ - ‘අලුත්’ ස්වභාවයක ධන – නිර්ධන ගැටුමකි. නාගරික, නාගරික නොවන සමාජ ස්තරයකි.

මෙහි දී ’සිත සොම්නසින් සිහි කර කර බුදු ගුණය’ වැනි සංදේශ කවියට අන්වර්ථ පිරිවෙන් (පන්සල්) වටපිටාව අද අතුරුදන් ව ඇති සේ පෙනේ. සමාජයේ වෙනත් ආයතනවලට සාපේක්‍ෂ ව කල්පනා කිරීමේ දී මෙය ‘ස්වාභාවික’ වෙනසක් වන්නට හැකි ය.

බලන්ගොඩ ආනන්ද මෛති‍්‍රය හිමිපාණන් ගේ ‘බුද්ධ භක්තිය’ (1954) පොතේ මෙසේ ලියා දක්වා ඇත.

”පෙර බුදු රජුන් හෝ සංඝයා දක්නට යන රජහු පවා ආරාම භූමියෙන් මෑත දී ම තම යාන වාහනවලින් බැස හිස් වැසුම්, පා වැසුම් ගලවා විහාරය කරා යෙති... සැදැහැවතා කුඩා සාමණේර නමට වුව ද කුඩා යයි අගරු නො කොට ගෞරවයෙන් සලකයි. ගිනි පුපුර කුඩා යැයි එය හා සෙල්ලම් කිරීම අන්තරාය කරයි.”

එහෙත් මෙසේ පිළිපදින ගිහියෝ කොතෙක් වෙත් ද? එදා පන්සල ගමේ ක්‍ෂේත‍්‍රගත ප‍්‍රවාහයක් විය. පන්සල අවට සියල්ල පන්සල් ධූරාවලියට කැප වූ පන්සලේ ම අවයව ලෙස ද පෙනෙන්නට තිබිණි. මාතලේ අලුවිහාරේ පැවැති ති‍්‍රපිටකය ලේඛනගත කිරීමේ මහා පුණ්‍යෙ¤ත්සවය සම්බන්ධ එක් කියමනක් මෙහි දී මතක් වේ.

’දුප්පත් ගැමියෝ තල්කොළ දුන්නු’

අංශු මාත‍්‍ර සම්මාදමක් හෝ කිරීම ගැන දුප්පතා හිතුවේ ගර්වයෙනි. අප කුඩා කාලයේ රුවන්වැලි සෑ හුනු පිරියම් කිරීම ගැන ‘සල්ලියෙන්’ ‘සතෙන්’ සම්මාදම් කැරිණි. ගමේ පන්සලට ඇතැම් විට ‘ආධාර’ කෙළේ ‘මල් වට්ටි වෙන්දේසියට’ සහභාගී වීම වැනි ඉතා කුඩා ආකාර සම්මාදම් රටාවක් පෙළගැසුණු නිසා ය.

ගමේ පන්සලේ කලා කටයුතු කෙළේ ගමේ කලාකරුවා ය. ඉන් ඔහු පුහුණුව සමඟ ලබා ගත්තේ ‘පින’ ය. ඉන් ඔහු සෑහීමකට පත් වූයේ, ආත්ම තෘප්තිය ලබා ගත්තේ පුරුදු කරගෙන ආ සත්තාව පරිද්දෙනි.

ගමට ගැමිකම එපාවීම එක් පැත්තකින් ද නගරයේ දායකයා ‘කැපවීමකින්’ තොර ඇත්තකු වීම අනෙක් පැත්තෙන් ද පවතින සමාජ විෂමතා මේ සියල්ල අනාවරණය කරන සුලු වීම විසින් ද සෞන්දර්ය ජනනයෙන් පන්සල ඉවත් ව ඇති සේ එක් වර ම පෙනෙන බවක් හැඟෙන්නේ නැත.

පෙර පන්සල පිහිටියේ සුන්දර වටපිටාවක ය. එය බුදු බණේ අග‍්‍ර අදහස් උදහස්වලට බොහෝ කොට ළං වූ සේ පෙනේ. පන්සල් පරිසරය සුන්දර භූමි භාගයක් ලෙස එදා වෙන් වූයේ එහි යම් නිත්‍ය රටාවක් තිබුණු හෙයිනි. ඔසු උයන්, උපවන ආදිය පන්සල් ආශ‍්‍රිත ව තිබීමත් ජනයා ආකර්ෂණය කළ කරුණු අතර වේ.

පන්සල් භූමි සැකැස්ම ගැන අවධානය යොමු කළ යුතු කාලය පැමිණ ඇත. ජපාන, තායිලන්ත වැනි රටවල සැකැස්ම හැඩතල ආදිය ගැන සැලැකිලිවන්ත වීම දැන් ඉතිහාස ගත කරුණක් ලෙස සලකන්නකි. අපේ ඉතිහාසයෙන් ම අපට උගත හැකි පාඩම් බොහෝ ය.

සෞන්දර්යය අගය කරන විහාරාරාම, ස්වභාවධර්මය වැදගත් සේ සලකන හිමිවරුන් ගැන නොයෙක් විට අසන්නට ලැබේ. අපේ වන සෙනසුන් මේ ගැන කදිම උදාහරණ නොවන්නේ ද?

සිදුහත් තවුස් තුමා බවුන් වැඩීමට යෝග්‍ය තැනක් ලෙස උරුවෙලාව දුටුයේ මෙසේ ය.

භූමි භාගය සිත් අලවන සුලු ය

වන ගොමුව ප‍්‍රසාද දනවන සුලු ය

මනා වූ සුදු වැලි තලා ඇති ගලා බස්නා නදිය රමණීය ය.

මරණයට බියවීම

සතුන් මැරීමට හා සත්ත්ව හිංසාවට ඇබ්බැහිවූ මිනිස්සු මරණයෙන් පසුව ඒ පාපකර්මයේ ආදීනව වශයෙන් අමනුස්සයන් වී උපත ලබති. ඒ අමනුස්සයෝ ද සතුන් මරණ ස්ථානවලට සමීපව ජීවත්වෙති. උහු සතුන් මැරීම පි‍්‍රය කරන අතර ඒ සතුන්ගේ ලේ මස් හා ඉවතලන අපද්‍රව්‍ය ආහාරයට ගනිති. ඒවා උන්ගේ පි‍්‍රයතම ආහාර වේ. සොරකම, කාමමිථ්‍යාචාරය, මුසාවාදය හා සුරාපානය ආදි දුසිරිත්හි යෙදුණු මිනිස්සු ද මරණයෙන් පසු අමනුස්සයන් වී ඒ දුසිරිත්වල යෙදෙන්නන්ට සමීපව ජීවත් වෙති.

මේ පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයක සිදුවූ දෙයකි. පියසේනත් ඔහුගේ පුතුන් වන සරත් හා සුනිල්, දෙදෙනා ද සතුන් මැරීමේ යෙදුණෝ වෙති. හරක් මිලයට ගෙන මරා මස් කොට විකුණූහ. අවට ගම්මානවලින් හොරෙන් ගෙනෙන හරක් ද මරා විකුණූහ. හොර හරක් ලොරි ගණන් ප‍්‍රවාහනය කොට මුස්ලිමුන් ජීවත්වන ප‍්‍රදේශවල මස්මඩුවලට විකුණන ධර්මසේන මුදලාලිට මේ පිය පුත්තු හරක් සැපයීම ද කළහ. එසේ ම කසිප්පු නිෂ්පාදනය හා විකිණීම ද සිදු කළහ. මේ කටයුතුවලට ඔවුන්ගේ බිරියෝ ද පූර්ණ සහයෝගය ලබා දුන්හ.

පියසේන හරකුන් ගෙනැවිත් ගේ ඉදිරිපිට දෙල් ගසේ බැඳ හරකාගේ හිසට දෑත බදා පොරව පහරක් එල්ල කිරීමෙන් මැරීම සිරිතක් ලෙස කළේය. බෙල්ල ගසට තබා බඳින හරකා තමන්ට අනතුරක් සිදුවන බව ඉවෙන් මෙන් දැන දෑස් උඩ තබා ගෙන මරණ බයේ දඟලයි. ඊට පසු ගසේ බැඳි කඹය ලිහා දැමුව ද හිස දෙපළු වූ හරකා පැය බාගයක් පමණ මළ මුත‍්‍ර පිටකරමින් දඟල දඟලා මරණයට පත් වෙයි. සරත් හා සුනිල් ළදරු වියේ සිට ම තාත්තා ගේ මේ කි‍්‍රයාදාමයන් දෙස සිනා සෙමින් බලා සිටියහ. ඉගෙනුමට වැඩි උනන්දුවක් නැති සරත් හා සුනිල් පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වී වයස අවුරුදු 16-17 සිට ම තාත්තා ගේ රැකියාවට ම පුරුදු වූහ.

පියසේන ගේ නිවස වරිච්චි කටුමැටි බිත්තියෙන් තැනු කුඩා නිවසකි. පියසේන නිදන ඇඳ අසල ම කුඩා ජනේලයකි. එයින් පිට පැත්තේ ගසෙක ගෙදර ඇති දැඩි කරන පුල්ලී බැඳ සිටී. දුඹුරු පැහැති පුෂ්ටිමත් සිරුර පුරා සුදු පුල්ලි වැටී ඇති බැවින් මේ එළදෙනට පුල්ලී යැයි කියති. දිනපතා පාන්දර පියසේන ගේ බිරිය මේ පුල්ලීගෙන් කිරිබෝතල් 5-6 ක් දොවා ගන්නීය. නිදි ඇඳේ සිටින පියසේන පාන්දර අවදි වූ සැණින් කට සෝදා ජනේලයෙන් පිටතට දමා, ලොකු වීදුරුවකින් එකක් කිරි එක හුස්මට බීගෙන බීගෙන යයි. ඒ ඔහුගේ සිරිතය. ඉතුරු කිරි ගෙදර අය පානය කොට, ඉතිරිය ගම්වැසියන්ට විකුණයි.

මෙයින් වසර කීපයකට පෙර එක් නත්තලක් උදාවීය. නත්තලට ලොකු කසිප්පු වඩියක් ද පෙරන්නට යෙදිණි. පියසේන එදින උදෙන් ම ගමේ ඇවිදින්නට ගියේය. ගම කෙළවර නිවසකින් එළදෙනක් මිලදී ගෙන ගෙදර ගෙනාවේය. ගෙනැවිත් මිදුලේ දෙල් ගසේ බෙල්ල ගසට තබා බැන්දේය. කසිප්පු වීදුරු දෙකක් උගුරට ම හලා ගත් පියසේන පොරව අතට ගත්තේය. තමන් ඉදිරියට එන මාරයා දුටු එළදෙන මරණයේ පෙරනිමිති දැක දඟලන්නට වූවාය. පියසේන කොක් හඬ නඟා සිනාසුණේය. පියසේනගේ බිරිය ගෙනැවිත් දුන් තවත් කසිප්පු වීදුරුවක් උගුරට හළා ගෙන පිටි අතින් කට පිසදා ගත්තේය.

“ඕන්න... හරකියේ දැන් ඉතින් උඹ යන ලෝකය සිහිකර ගනින්...” යැයි කියා හෙº... හෙº... ගා ඔච්චමට සිනාසුණේය. දෑත බදා ඉහළට එසැවූ පොරව එළදෙනගේ හිසට එල්ල කළේය. මරබියෙන් දඟලමින් සිටි එළදෙනගේ හිසට එල්ලවූ පොරෝ පහර පියසේනගේ වෙරිමත නිසා මඳක් ලුහුටා ගියේය. එළදෙනගේ අඟකට වැදී අඟ කඩාගෙන ලිස්සා ගොස් ගෙල ගසට තබා බැඳි නයිලෝන් කඹය කැපී ගියේය.

අඟක් කඩාගෙන යෑමට තරම් වේගවත් පහරකින් තුවාල වූ එළදෙන දැඩි වේදනාවෙන් උඩ පැන්නාය. ඒ පියසේනගේ ඇඟ මතටය. බිම වැටුණු පියසේනගේ පපුවත් කුරවලින් තුවාල කරගෙන එළදෙන දිව්වාය. දිව්වා නොවේ ඉගිලුණාය. පියසේන ද තුවාල පිටින්ම එළදෙන පසුපස දිව්වේය. ඔහුගේ පුතෙකු ද අසල කුඩා කඩය ළඟ සිටි මිතුරන් සමඟ එළදෙන අල්ලා ගැනීම සඳහා පසුපස දිව්වේය. එළදෙන කෙළින් ම දිව්වේ තමන් කලින් සිටි ගෙදරටය.

ගෙදර මිදුලට දුවගෙන ගිය එළදෙන ඉස්තෝප්පුවේ සිටි නිවැසියන් දෙස මඳක් බලා සිටියේ “මගේ කිරි ටික දොවාගෙන බිව් උඹලා අන්තිමට මා මසට වික්කා නේදැ”යි නෝක්කාඩු කියා දොස් පවරන්නා සේය.

ඒ සමඟ ම කඹ කැති පොලු රැගෙන තමන් පසු පස හඹා එන මාර පිරිස දුටු එළදෙන එතැනින් වැව ඉස්මත්තේ පිහිටි දඹුලු කැලයට පැන ගත්තා ය. ඒ කැලයට ගිය සතෙක් නැවත අල්ලා ගැනීම බොරුවකි.

පියසේන කේන්තියෙන් ම ආපසු ගෙදර ගියේය. “පලයන් ගිහින් පුල්ලිව අරගෙන වරේන්” යැයි බිරියට නියෝග කළේය. හිතක් පපුවක් නැති මේ ගැහැනියට ද එහි අමුත්තක් නැත. පුල්ලී දිගේලි කැර සිටි තැනින් ලිහා ගෙනැවිත් ඒ දෙල් ගහේ ම බෙල්ල ගසට තබා “ඔන්න ඔහොම හිටින්” යැයි බැඳ දුන්නාය. උදේ පාන්දර හිස් බඩ ම බිව් කිරි බෝතල් තුන් කාලේ අයිතිකාරිය, කිරි අම්මාට පියසේන එවර එල්ල කළ පොරෝ පහර වැරදුණේ නැත. හිස දෙපළු වී ගියේය. මරහඬ නඟා ගෙන පුල්ලී උඩුකුරුව දඟලද්දී ම පියසේන මන්නා පහරකින් පපුව දෙපළු කොට ඇතුළට අත දමා පීකුද්ද කපා බිරිය අතට දුන්නේය. ඇය වහාම එය රැගෙන කුස්සියට රිංගුවේ පුල්ලී තවත් වේලාවක් දඟලන බව දන්නා නිසාය. එතෙක් මෙය වහා පිස පියසේනට “බයිට්” එකට (කටගැස්මට) දිය යුතු බව දන්නා නිසාය.

කලින් එළදෙන මරුවිකල්ලෙන් ඇඟට පැනීමත්, පපුව පාගෙන දුව යෑමත්, එයින් පසු එළදෙන අල්ලා ගන්නට පසුපස දුව යෑමත් නිසා වෙහෙසව සිටි පියසේන මඳක් විවේක ගත්තේය. කසිප්පු බෝතලය ද ළඟට ගෙන අගුපිළේ හිඳ, බිත්තියට හේත්තු වූයේය.

මේ අතර කඩේ පිටුපස සූදු පිටියේ සිටි සුනිල් පැරදී ගෙදර ආවේ තාත්තාගෙන් මුදලක් ඉල්ලා ගැනීමටය. කුස්සියෙන් එන පීකුදු සුවඳ පියසේනගේ හිත කෑදර කමෙන් පිපිරියාස කරයි. දැන් පුල්ලී දඟලා හමාරය. දැන් ඇය හම ගසා මස් කරන්නට ද උවමනාය. තරමක් දුරින් වූ ලන්දේ බැඳ සිටින පුල්ලීගේ පැටවා “උම්බෑ...” කියමින් හඬන හඩ් අද අමුතු බවක් ඇත. මේ නරුමයන්ට ඒවා වැටහෙන්නේ නැත.

සුනිල් තාත්තාගෙන් මුදලක් ඉල්ලුවේය. වෙහෙසත් වෙරි මතත් නිසා පියාගෙන් ලැබුණු උත්තරය පුතාට ඔරොත්තු දුන්නේ නැත. වචන පරුෂ වචන බවට පත්වී ඊ වේගයෙන් කන් සිදුරු පසාරු කැරගෙන ගියේය. බිත්තියට හේත්තු කැර තිබු පොරව සුනිල් අතට ආවේය. “බහ්...” එකම පොරෝ පහරින් හිස දෙපළු වූ පියසේන ද පුල්ලී අසල ම, පුල්ලී ගේ ලේ ගොඩේ ම කුජීත වූයේය. මේ කීවේ වසර ගණනකට පැරැණි කතාවකි. අදට මාස දෙකකට පෙර සිදුවූ අලුත් සිදුවීමක් ඒ කතාවට ඈඳෙන්නේ මෙසේය.

දැන් සරත් ද විවාහකයෙකි. ඔහුගේ බිරිය ද මේ පවුලට ම ගැළපෙන තැනැත්තියකි. මොවුන් පදිංචි නිවස අසල ගල්කණු ගොඩැල්ලකි. එනම් පෞරාණික ගල්කණු සහිත පුරාවිද්‍යාත්මක භූමියකි. වල් බිහිවූ පැරැණි පූජ්‍ය ස්ථානයකි. ඉන් එහා පැත්තේ ගමේ සුසාන භූමියයි.

සරත් ගල්කණු ගොඩැල්ලේ ගාත් හතර බැඳ දමා තිබුණු තඩි ඌරා ළඟට ගියේය. ඔහුගේ බිරිය ද ඊට අවශ්‍ය ආම්පන්න ද රැගෙන ඔහු පසුපස ගියාය. ගාත් හතර බැඳ තැබීම නිසා වියරුව සිටින ඌරා පිඹින සද්දය ඊට යාර පනහක් තරම් දුරින් පිහිටි කඩය ළඟට ද ඇසෙයි. සරත් ගේ මුවහත් පිහි පහර ඌරාගේ උගුරු දණ්ඩ හරහා එහා මෙහා ගියේය.

ලේ විදින ඌරාගේ පපුව දිගට පිහිය ඇද්දේය. නියමිත තැනට අත දැමු සරත් පීකුද්ද කපා බිරිය අතට දුන්නේය. ඇය කුස්සියට ඉගිලුණාය. ඌරා තවමත් දඟලයි. ලුණු මිරිස් සමඟ තෙම්පරාදු වන පීකුදු සුවඳ සරත්ට දැනේ. කසිප්පු කාලක් දෙවරකට ගුඩුස් ගුඩුස් ගෑවේය. සරත් හුළු අත්තක් දල්වා තවමත් දඟලන ඌරාගේ මවිල් පුච්චන්නට පටන් ගත්තේය. ඒ පැත්ත මේ පැත්ත පෙරළමින් පිච්චුවේය.

බිරිය පීකුදු තෙම්පරාදුව මැටි කෝප්පයකට දමා ගෙන ආවා ය. සරත් උණු උණුවේම කෑල්ලක් දෙකක් තලු මැරුවේය. “මරු... උඹත් කාහං...” බිරියට කීවේය. “මට එපා මං ලුණු ඇඹුල් බලන්න ටිකක් කෑවා. ඔයා කන්නැ”යි ඇය කීවාය.

“දැන් ඉතින් ඉක්මනින් ඕක මස් කරන්න. හැන්දැ වෙන්න කලින් කඩ ළඟට ගිහින් දෙන්නත් එපායැ”යි තවදුරටත් කීවාය.

සරත්ට එය නෑසුණා සේය. ඔහු ගොරවන්නට වූයේය. පිඹින්නට වූයේය. දෑත් පහළට දමා දෙකට නැමී ඌරෙකු සේම මළ ඌරා වටා කරකැවෙන්නට වීය.

“රත්නසිරි අයියේ... අනේ ඉක්මනට එන්නෝ... සරත්ට ලෙඩාක්...”යි සරත්ගේ බිරිය නුදුරු කඩේ මිදුලේ සිටි රත්නසිරි දැක කෑ ගැසුවාය. රත්නසිරි ද ඒ දෙස බලා “ඕකට වෙරි...”යි කියා සිනාසුණේය.

“නෑ... නෑ... රත්නසිරි අයියේ ඉක්මනින් එන්නෝ...”යි ඇය නැවත ද කෑ ගැසුවාය. ඒ හඬට සරත්ගේ මව ද එතැනට දුවගෙන ඇවිත් විලාප දෙන්නට වූවාය.

ඇත්තට ම මෙතැන මොකක් හෝ අමුත්තක් සිදුවී ඇතැයි සිතූ රත්නසිරි ද කඩය ළඟ සිටි තවත් කීප දෙනකු ද කැඳවාගෙන එතැනට දිව්වේ ය. මේ වන විට සරත් ඌරෙකු සේ පිඹිමින් ගල් කණු ගොඩැල්ල නගිමින් සුසාන භූමිය දෙසට ගමන් කරමින් සිටියේය. ඉදිරියෙන් ම දුවගෙන ගිය රත්නසිරි සරත් අල්ලා නතර කැර ගැනීම සඳහා ඇඟට අත තබන විටම සරත්ගේ අතට විදුලිසැර වැදුණා සේ පස්සට වීසි වුණේය. රත්නසිරි කල්පනා කළේය. තමන් බෙල්ලත්තර බෝධි සත්ත්ව මාලිගයේදී බන්දවා ගත් පිරිත් නූල දකුණු අතේ ඇත. ඒ ගැන සිතූ ඔහු එහි පවතින බලය ගැන අධිෂ්ඨාන කොට සරත් ගේ බෙල්ලට ම පැන්නේය. සරත් ඉතා නපුරු හඬකින් ගොරවා රත්නසිරිව බිම පෙරළා යට කැර ගත්තේය. රත්නසිරි ද සම්පූර්ණ ජවය යොදා සරත්ගේ ග‍්‍රහණයෙන් මිදුණේය. ඒ සමඟ ම එතැනට පැමිණි අනිකුත් උදවියගේ සහාය ඇතිව සරත් අල්ලා අතපය බැඳ නිවසට ගෙනාවේය. ඉන්පසු පිළිවෙත් ගණනාවක් සිදුකොට සරත් සුවපත් කැර ගත් අතර දැන් ඔහු සතුන් මැරීම, සතුන් එකතු කැර මසට විකිණීම හා කසිප්පු ජාවාරම අතහැර යහපත් ජීවිතයක් ගෙවන බව දැනගන්නට ඇත. පන්සල් යන බව ද ආරංචිය.

එසේ ම මේ ගමට පැමිණ ගවයන් එකතු කැර ගෙන සතියකට ගවයන් 40-50 ක් ලොරි පිටින් මස් මඩුවට ගෙන යන මහා ධනවත් ධර්මසේන මුදලාලි ද දැන් කර්මානුකූල රෝගයකට ගොදුරුව ඇත. ඔහුගේ සිරුර පුරා අඟලක් නෑර හටගත් කුෂ්ටයක් නිසා කසමින්, තොරතෝංචියක් නැතුව කසමින්, විලාප දෙමින් දුක් විඳී. එය මුදල් බලයෙන් සුව කළ නොහැකිව සිටී. මේවා මල් වට්ටියක් පුදා බෝධි පූජාවකින් පමණක් ම සුව කළ නොහැකි බවත්, තමන් කළ කර්මය තමන් ම ගෙවිය යුතු බවත් ගලිගමුවේ ඤාණදීප හිමියෝ පවසති. තමන් මාස කීපයක් ආරණ්‍යගත වී බණ භාවනා කොට දැඩි වීර්යයක් වෙහෙසක් ගෙන ධ්‍යාන සමාපත්ති වඩා කර්මය ගෙවිය යුතුය. එසේ නැතහොත් දුක් මහන්සි වී, අසාධාරණයෙන් හෝ ඉපැයූ ධනය අලුතින් ආරණ්‍ය සේනාසන ආරම්භ කිරීමට, භාවනා කුටි ඉදිකිරීමට, වෙහෙර විහාර ඉදිකිරීමට, දුප්පතුන්ට නිවාස ඉදිකිරීමට වැනි දෙයට වැය කොට කර්මය ගෙවිය යුතු යැයි ද පැවසූහ.

(මේ සිද්ධී පිළිබඳ තොරතුරු සැපයූ වයි.ආර්.පී. පද්මසිරි මහතාට, සම්පත් අබේවීර මහතාට සහ මතුගම මහින්ද විජේතිලක මහතාට ස්තුතිය)