කුඩා දේවිකා

සුමුදු සීත පවන්සලන
වසන්තයේ උදෑසනක
උයන් කොනේ හුදකලාව
බලා සිටින්නී
කුඩා දේවිකා

රන්වන් පත් ගැලවීලා
ගහකොළ සුළඟට නැවිලා
විහිදී යනවා විසිරී යනවා
ඒ දිහාද බලා සිටින්නේ
කුඩා දේවිකා

ගස්වැල්වල කොළ
ගැලවී බිමට වැටෙන්නේ
වැටෙන වැටෙන කොට
හැම තැන විසිරී යන්නේ
ඒ දිහාද බලා සිටින්නේ
කුඩා දේවිකා

ගීත රචනය – මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
ගායනය – තනුව හා සංගීතය
එඩ්මන් වික‍්‍රමසේකර

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

කුඩා දේවිකා උපත ලැබුවේ ලන්ඩනයේ දී ය. 1972 උපත ලද ඇය මුලින් ම කරළියට පැමිණියේ බී.බී.සී. සන්දේශයෙනි.

එතැන් සිට දශක හතරක ට කිට්ටු කාලයක් පුරා ඇය සුවහසක් ගීත රසිකයන් සනසවන්නී ය.

කුඩා දේවිකා උයන් කොනක ට වී හුදකලාව උයන දෙස බලා සිටින්නීය.

සුමුදු සීත සුළං රැල්ලට හසුවී බිමට වැටෙන ගස්වැල්වල කොළ විසිරී යන අයුරු ඇය බලාසිටින්නී කොතරම් ආශාවෙන් ද?

උදෑසනම වියළී ගිය කොළ බිමට වැටී විසිරී යන්නේ ජීවිතයේ අනියත බව පසක් කරමින්ද?

මේ ගීතය හුදු සරල ගීතයකි. එහෙත් එහි සුවිශේෂී බවක් තිබේ.

එඩ්මන් වික‍්‍රමසේකර

එහි පදමාලාව බොහෝ වෙනස්ය. සංගීතය ද අනෙක් බොහෝ ගීතවලට වඩා වෙනස් ය.

මේ වෙසෙසි ගීතය පිළිබඳව මා මුලින් ම විමැසූයේ ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කරමින් ගායනා කළ එඩ්මන් වික‍්‍රමසූරිය ගෙනි.

1970 දශකයේ මා රැකියාව කළේ ලන්ඩනයේ. එහිදී මට නිතර ම මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් මුණගැහෙනවා.

ඒ කාලේ බී.බී.සී.යේ ‘සන්දේශය’ සිංහල වැඩසටහන කළේ ඔහුයි. මට මතකයි මං දවසක් ‘සන්දේශය’ විවිධ ප‍්‍රසංගයක ට සහභාගී වුණා.

BBC Bush House ශාලාවේදී. එහිදී මහාචාර්යතුමා තමයි ලන්ඩනයේදී ස්ටීරියෝ ක‍්‍රමයට ගීත කීපයක් තැටිගත කිරීමේ අදහස ඉදිරිපත් කළේ.

මාත් ඒ වනවිට සංගීතය හදාරා සංගීතය ගැන දැනුමකුත්, ඒ වගේ ම, ලන්ඩනයේ දී ස්ටීරියෝ තැටිගත කිරීම් පිළිබඳ වැඩමුළුවලටත් සහභාගි වී ඒ ගැන දැනුමකුත් ලබාගෙනයි සිටියේ.

මට කීවා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ට මට ගීයක් දෙකක් ලියා දෙන්නැයි කියා.

ඒ අනුව එතුමා මට ලියා දුන් ගීතය තමයි මේ. මෙහි පදමාලාව මගේ හිතට ඇල්ලුවා. ගීතය නැවත නැවතත් කියවද්දී මගේ හිතේ එක්තරා චිත‍්‍රයක් මැවුණා.

ලන්ඩනයේ වසන්තය අවසානයේ එක් සීතල උදෑසනක උද්‍යානය කෙළවර බංකුවක වාඩිගෙන සුළඟට වැටී ගසාගෙන යන කොළ දෙස බලාගෙන සිටින දැරියකගේ චිත‍්‍රයකි ඒ.

මම පියානෝව ළඟ ඉඳගෙන මගේ සිතේ මැවුණු චිත‍්‍රයට අනුව ගීතයට තනුවක් නිර්මාණය කළා. වසන්තයේ සුන්දරත්වය, වේගයෙන් හමායන සුළඟ, අහිංසකත්වය, සමඟ යම්කිසි ගුප්ත බවකුත් මේ පදමාලාවේ ඇතැයි මට සිතුණා.

මා නැවත නැවතත් කපමින් කොටමින් මට අවශ්‍ය සංගීත සිතුවම මැවෙන තුරු මං හිතන්නෙ තුන් හතර වතාවක් තනුව නිර්මාණය කළා.

මම මෙසේ හදන හදන තනුව වෙනස්කම් සහිතව මහාචාර්ය තුමාටත් අසන්නට සලස්වමිනුයි අවසාන නිර්මාණය කළේ. මහාචාර්ය තුමාත් ඉන් සෑහීමට පත්වුණා.

අනතුරුව මේ ගීතයයි තවත් ගීත තුනකුයි එකතු කරලා මං ගීත හතරක තැටියක් නිෂ්පාදනය කළා. එහි නිෂ්පාදකයත් මමයි.

ගීතයේ තනුව හා සංගීත රචනාව ලියද්දි තමා ඊළඟ ප‍්‍රශ්නය මතුවුණේ. තබ්ලාව හා පියානෝව හැර අනික් සියලු භාණ්ඩ වාදනය කළේ ඉංග‍්‍රීසි ජාතිකයින්. සිතාරය වාදනය කළේ ද ඉංග‍්‍රීසි ජාතිකයෙක්.

මම ගීතය පියානෝවෙන් වාදනය කරද්දි නැත්නම් කටින් එහි නාදය ගයද්දි යි ඔවුන් ඒ නාද රටා ද සියල්ල ඉංග‍්‍රීසි ක‍්‍රමය ට ලියාගත්තේ.

මුලින් ම ස්ටීරියෝ ක‍්‍රමයට තැටිගත කළ ගීතය “කුඩා දේවිකා” ගීතයයි. බොහෝ දෙනෙක් දන්නේ නැහැ මම මහාචාර්ය ජිනදාස වික‍්‍රමසිංහයන්ගෙන් සංගීතය හා නැටුම් ශිල්පය හදාරා තිබෙන බව.

එසේ හැදෑරූ රාගධාරී සංගීතය මගේ ගායනා දිවියට ඉතා රුකුලක් වුණා.

මේ ගීතය ඇතුළු ගීත හතර පටිගත කළේ ද මධ්‍යම ලන්ඩනයේ ඇස්.ඩබ්ලියු.ඇම්.චිත‍්‍රාගාරයේයි.

පටිගත කළ තාක්ෂණ ශිල්පියා එවකට බි‍්‍රතාන්‍යයේ සිටි දක්ෂ පටිගත කිරීමේ ශිල්පියකු වන ස්ටීව් වේඩ් (Steve Wade) මහතා ය.

තබ්ලාව වාදනය කළේ සිංහල ශිල්පිනියක්. මට ඇගේ නම දැන් හරියට මතක නැහැ. මට මේ සියලු ශිල්පීන් හඳුන්වා දුන්නෙත් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයි.

මේ ගීතය වාදනය කළ විදේශීය ශිල්පීන් පවා මේ ගීතයට වශීවෙලා වගෙයි හිටියේ.

ඒ වගේ ම ලන්ඩනයේ උපත ලද මේ ගීතය මුලින් ම වාදනය වුණේ බී.බී.සී. ගුවන් විදුලියෙන්. මුලින්ම වාදනය කළේ වර්නන් කොරයා හා බීබීසීයේ හින්දි නිවේදකයකු වූ ගීතබාලා යන දෙදෙනාය.

මේ ගීතය අඩංගු තැටිය මුලින් ම මිලයට ගත්තෙත් විදේශීය රසිකයන්. ලංකාවට ගීත තැටි ගෙනැවිත් බෙදාහැරියෙ ගීතය ප‍්‍රචාරය වී සෑහෙන කලකට පසුවයි. මේ ගීතය පිළිබඳව අපූරු කතාවක් මට මතක් වෙනවා.

ප‍්‍රවීණ නළු පාලිත සිල්වා මහතා තමා කැමැති ම ගීතය වශයෙන් කුඩා දේවිකා ගීතය ගැන පුවත්පතකට කියා තිබුණා.

ඔහු මා කිසි දවසක දැක තිබුණේ නැහැ. මා මෑතකදී මේ ගීතය අඩංගු සී.ඩී.තැටියක් නිකුත් කරන උලෙළට ඔහුට ආරාධනා කළා.

සතුටින් ඒ ආරාධනාව පිළිගත් ඔහු එදා මා මුල් වරට දැන හඳුනාගෙන අපමණ සතුට පත්වුණා. මම එදා හරිම සතුටට පත්වුණා.

’කුඩා දේවිකා’ ගීතය ඉන්පසු ලංකාවේදීත් කීප ගමනක් විවිධ ගීත ප‍්‍රසංගවලදී ගයා පටිගත කර ඇතත් එහි මුල් තැටියේ මිහිර තවමත් එසේ ම පවතී.

ලන්ඩනයේ දී ගීතය රචනා කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගෙන් ගීතයේ උපත පිළිබඳව මම විමැසීමි.

”මේ ගීතය ලන්ඩනයේ දී මා ලද සත්‍ය අත්දැකීමක් ඇසුරින් රචනා වූවක්. දිනක් ලන්ඩනයේ බි‍්‍රතාන්‍ය කටුගෙට ඇවිදගෙන යනවිට ‘රසල්’ උද්‍යානයේ දී මා දුටුවා එහි බංකුවක් මතට වී හුදකලාව ඉන්න පුංචි දැරියක්. එය ලන්ඩනයේ සීත සමයක්.

වසන්තයේ අවසාන සමය ඇය බලාගෙන හිටියේ ගස්වල කොළ සුළඟට වැටී විසිරී පාවී යන අයුරුයි. මේ දරුවාගේ දර්ශනය මගේ සිත සසල කළා. මට එකපාරට ම මතක් වුණේ Gerald Marid Hopekins නම් කවියාගේ කවියක්.

මේ සිද්ධිය මගේ සිතේ කැකෑරෙමින් ටික කලක් තිබුණා. මං ඒ ඇසුරින් ’කුඩා දේවිකා’ කියලා දිගු කවියක් රචනා කළා.

මහාචාර්ය සුනන්ද පැවැසීය.

”ඇයි ‘කුඩා දේවිකා’ යනුවෙන් නම් කළේ?’ මම ඇසීමි.

’පුංචි දේවියක්, පුංචි කුමාරිකාවියක් කියන අරුතිනුයි මම ‘කුඩා දේවිකා’ යැයි නම් කළේ.

එඩ්මනුත් හොඳ රසිකයෙක්. ඔහු මගෙන් ගීතයක් ලියා දෙන්නැයි කීපවරක්ම ඉල්ලා තිබුණා. මා ඔහුට මේ කවිය පෙන්නුවා.

එය රසවින්ද ඔහු ඉන් පද කීපයක් ගෙන මේ ගීතය බොහොම අපූරුවට නිර්මාණය කළා.

ඔහු එවකට ශී‍්‍රලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායකයෙක්. ඒ කාලෙ ඔහුගෙ ‘පංචකල්යානි නාරි රූප රාජිනි’ වගේ ගීත හරි ජනප‍්‍රියයි.

මා එංගලන්තයේ ඉන්න කාළේ මා බලන්න එන රසිකයින් උගතුන් කවියන් කලාකරුවන් අතරේ එඩ්මනුත් හිටියා. මේ ගීතය නිර්මාණය කරන කාලේ සී.ටී.ප‍්‍රනාන්දු ගායකයාත් අප සමඟ සිටියා.

ස්ටීරියෝ පටිගත කිරීමේ ක‍්‍රමය ඒ වනවිට ලංකාවේ තිබුණේ නැහැ. මට මතක හැටියට . ස්ටීරියෝ ක‍්‍රමයට පටිගත කළ මුල් ම ගීතය මෙයයි.

අපිට එංගලන්තයේ දක්ෂ වාදකයින් සිටියා. බි‍්‍රතාන්‍ය ජාතිකයන් හොඳ දක්ෂ වාදකයින්. සංගීතය විශ්ව භාෂාවක්නෙ.

ඒ කාලෙ මේ ගීතය වගේ ම එහේදි පටිගත කළ අනිත් ගීතත් බීබීසී සිංහල හා හින්දි සේවාවන්හි නිතර ම ප‍්‍රචාරය වෙනවා.

ඒ කාලෙ එංගලන්තයේ හිටි එච්.ඇම්.ගුණසේකර, තිලක සුදර්මන්, බර්ටි ගලහිටියාව, මේ ගීතය බොහෝ අගය කළා. ඔවුන් ලංකාවේ දී මේ ගීතය ගුවන් විදුලියෙන් නිතර ප‍්‍රචාරය කළා.

මහාචාර්ය සරච්චන්ද්‍රයනුත් මේ ගීතය අගය කළා. “හරි අපූරු ගීතයක්නෙ’ එතුමා වරක් කීවා.

මගේ ගීතය ට නැත්නම් කවිය ට බොහෝම මිහිරි වසන්තයේ සුන්දරත්වය දනවන තනුවක් එඩ්මන් වික‍්‍රමසේකරයන් යොදා තිබෙනවා. ගීතය ජනප‍්‍රිය වන්නට හේතුවත් එයයි. මං නිහතමානීව මේ ගීතය අගය කරනවා.”

එදා ගුවන් විදුලි නාලිකා බොහෝමයක් නැති යුගයක මේ ගීතය වැනි සුන්දර ගීත නිතර නිතර ප‍්‍රචාරය වුවද දැන් එසේ සිදුනොවේ.

කුඩා දේවිකා ගීයේ පදමාලාවත් සොබාදම් සුවඳින් මෙන් ම අපූරු සංගීත රටාවනුත් සිත සසල කරයි. කලින් කලට යටපත් වී නොයන සදාතනික ගීත අතරට ‘කුඩා දේවිකා’ද එක්වෙයි.