ගැමියන්ගේ හෘද සාක්‍ෂිය

බුදු රජුන් ගේ පහළ වීමත් සමඟ ඉන් පසු පහළ වූ බොහෝ සිංහල බෞද්ධ මිනිසුන් ගේ චින්තනය බෞද්ධ ඉගැන්වීම් සමඟ යා විණි. ගල් වඩුවෝ ස්තී‍්‍ර පුරුෂ ප‍්‍රතිමා නෙළීම වෙනුවට සිත දියුණු කළ බුදුරජුන් ගේ ප‍්‍රතිමා ගල් පර්වත මත නෙළුෑහ.

කවියන් තම කවියට බුදුරජුන් යොදා ගත් අතර සිත්තරු තම සිත්තමට බෝසත් සිරිත ම යොදා ගත්තෝ ය. නාඩගම්, නාටකාදිය සඳහා පමණක් නොව පැල් කවියක ජන කවියක පවා බුදු සිරිතෙන් ලද ආස්වාදය දැක ගත හැකි විය.

”බොදුවකු ගලට දකුණත දිගු කළ දාක
බුදුරුව ගලින් බුදුරුව මතුවුණු සේක
පුදුමයි ගලෙන් මෙත් ගලනා තැන මේක
පිදුමට මෙතේ බෝසත් සිටිනා සේක”

ඌව වෙල්ලස්සේ ජීවත් වූ අප‍්‍රකට ජන කවියකු ගේ නිර්මාණයකි. වැල්ලවායේ බුදුරුව ගලේ චමත්කාරය දුටු ගැමි කවියාට තම නෙත සිත වාවා ගත නොහැකි විය.

බුදුරුව ගල මහායාන සම්ප‍්‍රදායට අනුව නෙළන ලද්දකැයි අපි සිතමු. මෛති‍්‍ර බෝසත් පිළිමයක් ගැන කියැවෙන්නේ එහෙයිනි. බොදුනුවකු ශෛලමය පර්වතයකට දකුණත දිගු කළ විගස ඒ ගල් රුව බුදු පිළිමයක් බවට පරිවර්තනය වේ. කවියෝ ඉන් ලද භක්තිය හා ශ‍්‍රද්ධාව කවියට නැගුවෝ ය.
බුදු හිමියන් ගේ දර්ශනය සිංහලයන් ගේ සිත් මුදු කළේ ය. ගලෙන් නෙළුෑ ඇතැම් ප‍්‍රතිමා නිදන් හොරුන් කඩද්දී සිංහල බෞද්ධයෝ මහත් කම්පාවට පත් වූවෝ ය. එකී කම්පාව අසිරිමත් කවියකට නැඟීමට ඔව්හු අතපසු නො කළෝ ය.

සෙල්ලිපි නෙළී බුදු පිළිමය සෙනෙහෙ වඩා
පල් හොරු දැමී එය මොහොතින් බිමට කඩා
නිල්මිණි මාලිගාවක ඇති නමුදු කුඩා
බොල් හිත රළුයි පිළිමය නෙළු ගලට වඩා

බටහිර මිනිසුන් විනෝද ගමන් යද්දී සිංහලයන්ට වන්දනා ගමන් යෑමේ පුරුද්දක් ආයේ බෞද්ධ දර්ශනයත් සමඟ ය. බුදු රජුන් අද වැනි දිනක ලොව පහළ නො වූවා නම්, රට පුරා, ලොව පුරා වන්දනාවේ යන සිරිතක් අපට කොයින් ද? සිංහලයන් වන්දනාවේ ගියා පමණක් නොව එහි දී ඔවුන් වැඳ පුදා ගත් අසිරිමත් බෞද්ධ පුරාවස්තු ජීවමාන බුදුන් සේ සලකන්නට ද ඔව්හු මැළි නො වූවෝ ය.

සාදු හිතට අප ගිය වන්දනාවේ
සාදු පෙර පිනෙන් මෙපමණ සෙනෙහාවේ
සාදු නිවන් යන්නට සැම දෙන පැතුවේ
සාදු බුදුන් වැන්දා යුදඟනාවේ

වෙල්ලස්සේ යුදඟනා සෑය වැන්ද ජන කවියා තමන් නිර්වාණයට යාමට එතැන දී පැතූූ බව සඳහන් කරයි’ ඔව්හු සාදු බුදුන් වැන්දා යුදඟනාවේ යැයි යුදඟනා සෑයට ගෞරවයෙන් සැලකූහ. ඉන්දියාවේ ටජ්මහල බලද්දී ඇති නොවන සෞන්දර්යාත්මක ආගමික සංහිඳියාවක් සිංහලයෝ යුදඟනාව වැඳ ලබා ගත්තෝ ය.

මහියංගණය කොත වැඳලා ගත්තු වරන්
දන්ත ධාතු දළදා කරඬුයෙන් වරන්
සිරීපාද සමනළ අඩවියෙන් වරන්
සිව්පද කියන අප රැක දෙන් සතර වරන්

සිංහලයන් බෞද්ධයන් වූ පසු ඔව්හු ඒ ඒ පූජා බිම්වලින් වරම් ගැනීමට ආශා කළෝ ය. වන්දනාවේ යද්දී පින් පොතක් ලියමින් ඒ ඒ පූජා භූමියට තමන් පූජා කළ මුදල් ද ඔව්හු එහි සටහන් කළෝ ය.

ගෙත්තම්පාණ ඉඳිකටු පූජා කරමු
හැරමිටිපාණ හැරමිටි පූජා කරමු
දොඩම්බැබිල තල අබ පූජා කරමු
සිරිපතුලට රන් මල් පූජා කරමු

ගල් යුගයේ පටන් දඩයම් යුග පසු කරමින් බුදු සමයේ ආලෝකය වැටෙන තෙක් ලක්වැසියෝ තම උදරාර්ථය ගැන පමණක් සිතුවෝ ය. මහින්දාගමනයෙන් බුදු සිරිත දැන ගත් පසු ඔවුන් සිරිපාද කන්ද නැග්ගේ මිථ්‍යා විශ්වාසයන්හි එල්බ ගෙන නො වේ.

දාර්ශනික චින්තකයකු ගේ සිරිපා මග ඔස්සේ සිංහලයෝ ද තම පතුල් තබමින් එහි ගමන් ගත්තෝ ය. සමන් දෙවියා බුදුරජුන් ගේ සිරිපාදයට ආවතේව කරන ආරක්‍ෂක දෙවියකු ලෙස පමණක් ඔව්හු සැලකූූහ. බෞද්ධ ආගමත් සමග සිංහලයා පරිතන්‍ාගශීලී විය.

බෝසතාණෝ සිය ධනය හැර දමා ගිහි ගෙයින් නික්මුණෝ ය. ඒ ආභාසය සිංහලයා ද බෝ කර ගත්තේ ය. සිරිපා ගමන පුරා ම දන් දීම ප‍්‍රධාන ම කටයුත්ත වූයේ එබැවිනි. ඉහත ජන කවියේ එන වන්දනාකරුවෝ තම තමන්ට හැකි ලෙස ඒ ඒ තන්හි විවිධ පූජා සිදු කළේ ඒ ආභාසයෙනි.

මස්කෙළියේ අම්බලමේ සිටින කොට
ඉස්කෙළියේ යන එන්නෝ පෙනුණි මට
ආයෙත් ගොසින් එක නුවරක උපදින්ට
බැරි වුණි මගේ මැණිකේ කැන්දන් එන්ට

බෞද්ධාගමේ ඉගැන්වීම් සිංහලයෝ තම ජීවිතයට සම්බන්ධ කළෝ ය. බෝසතුන් සසර පුරා ඉපදෙමින් මිය යමින් ආවා සේ ම තමන් ද සසර සැරි සරති යි ඔව්හු සිතුවෝ ය. විවාහයේ දී තමන් ගේ බිරිය තමන් ලද ත්‍යාගයකැ යි ඔව්හු සිතුවෝ ය.

ඇය උපන් උපන් ආත්මවල යළි යළිත් ලැබීමට ඔව්හු ආශා කළෝ ය. ඉහත ජනකවියේ සිරිපාදය නැගි ගැමියාට බිරිඳ රැගෙන නොඒම පිළිබඳ ව කම්පාවක් ඇති විය. යසෝදරාව සංසාරය පුරා ම බෝ සතුන් සමඟ පැමිණියා සේ තම බිරිඳත් සසර පුරා ම ලැබේවා යි ඔව්හු ඉත සිතින් පැතුවෝ ය.

මහියංගණේ එක එළියයි බන් නෑනා
ඒ එළියට අපි ඉඳගෙන පොල් ගානා
වේරගංතොටේ ඔරු දෙක යස මානා
එක ඔරුවක ඉපදෙමු රන් කුරු නෑනා

බුදු දහම පැරැණි සිංහලයන් ගේ ජීවිතයේ පෙ‍්‍ර්ම සබඳතාවලට ද ආලෝකයක් සැපයී ය. මහියංගණයේ වන්දනාවේ ගිය යුවළක් බලා සිටියහ. දහවල් වේරගංතොටට ගොස් ඔරු පාරු දෙස බලා සිටියේ ය. සෑය අබියස පන්දම්, විලක්කු ආධාරයෙන් පොල් ගාමින් ඔව්හු උදෑසන අලුත් සහල් මංගල්ලයට සූදානම් වූවෝ ය. මේ දෙදෙනා පෙම්වතුන් වුණත් විවාහ වීමට වරම් ලද්දෝ නොවෙති.

මේ ඔවුන් දෙදෙනා එකට හමුවන අවසාන රාති‍්‍රය යි. රාති‍්‍රයේ ඔවුන් ගයන ජනකවියේ එදා දවසේ සියලු කළ කී දෑ සංකේත ලෙස දැක්වේ. වේරගංතොටේ දෙපසට පා වී ගිය ඔරු දෙක මෙන් තමන් ද දෙපසට පාවී යන බව ඔව්හු දනිති. ලබන ආත්මයේවත් එක ඔරුවක ඉපදෙමු යයි ඔව්හු සෑ රදුන් අබියස ප‍්‍රාර්ථනා කරති.

අද වැනි දිනක බෝසතුන් බුදු නොවූවා නම් මහියංගණය යනු හුදෙක් ප‍්‍රදේශයක් පමණක් වීමට තිබුණි. බුද්ධත්වයේ බලමහිමය මහියංගණයේ සංස්කෘතිය ම විශාල පරිවර්තනයකට යොමු කළේ ය. අටමස්ථාන වන්දනා ගාථාවේ මුලට ම එන්නේ ද මහියංගණය යි.

”මහියංගණං නාගදීපං
කල්‍යාණං පද ලාංඡනං
දිවා ගුහං දීඝවාපි
චේතිංච මුතියංගණං”

ආදි වශයෙන් ආදි වැසියන් විසූ මහියංගණයට සදාචාර, ශීලාචාර සංස්කෘතියක ආලෝකය වැටුණේ ය. මහියංගණයේ ඉදි කළ චෛත්‍යරාජයා ඌවට තිලකයක් ම විය. එය වැඳ පුදා ගැනීම බදුල්ලේ, දුම්බර උඩදුම්බර ආදී මහියංගණය අවට ජනතාව ගේ ඒකායන ප‍්‍රාර්ථනාව විය. එමතු නොව සිංහල බෞද්ධයන් ගේ කවි සිත ද පුබුදුවා ලීමට මහියංගණ වෛත්‍ය රාජයාට හැකි විය.

”කන්ද උඩින් පෑවේ තාරකාවා
නළා හඩින් පිම්බා වැනි සුබාවා
හතර වරම් දෙවියන් කළ සොබාවා
මහියංගණේ වැඳලා යන්ට ආවා”

එක් පසෙකින් උඩදුම්බර හසලක මිනිපේ කඳුවැටියි. ඒ කඳු මතින් මහ සෙනඟ මහියංගණයට ඇදෙති. එම සෙනග ගේ ආගමනය ජන කවියා දුටුවේ කන්ද උඩින් පායන තාරකාවක ආකාරයෙනි. නළා හඩින් සාදු හඩින් මහියංගණයට එන මාවත් ගිගුම් දෙයි.

සෑ රදුන් මිනිස් අතකින් කළා යයි සිතන්නටවත් සිංහල බෞද්ධයාට නො හැකි ය. එය නිර්මාණය කළෝ සතර වරම් දෙවියෝ ය. යට සඳහන් පැදියේ අවසන් පේළියෙන් මහිංයගණයට ඔවුන් ගේ පැමිණීම පිළිබඳ ගැමි සිතේ උපන් ආනන්දය සුන්දර ලෙස සටහන් ව තිබේ.

”ඉර මඬලේ ගිරවෙක් ඉන්නවා දුටිමි
සඳ මඬලේ සාවෙක් ඉන්නවා දුටිමි
මැද මඬලේ සබයක් ඉන්නවා දුටිමි
මහියංගණේ බුදු රැස් වඩිනවා දුටිමි”

ගැමියෝ මහියංගණයේ දී බුදු රැස් දුටුවෝ ය. මහියංගණය වැනි තැනිතලා භූමියක දී දේවතා එළි යැයි ගැමියන් හඳුන්වන ආලෝක කදම්භ බොහෝ විට දැක ගත හැකි ය. මහියංගණ සෑ බිමේ දී ගැමියෝ ඒවා බුදු රැස් යයි සිතුවෝ ය. තර්කයෙන් හා විද්‍යාවෙන් ගැමි සිත දූෂණය වී නො තිබිණි. ගැමියාට මහිංගණයේ දී දුටු බුදු රැස් වර්ණනා කිරීමට උපමා සොයා ගත නොහැකි විය.

ඈත දිදුළන සූර්ය දිව්‍යරාජයා ගේ මුහුණත ඇති ගිරවා ගේ රූපය ගැමියාට සිහි විය. සඳ මඬලේ මුහුණත දිදුළන සාවා ගේ මුහුණ සිහි විය. මැද කඳු රටේ සිංහලේ මහා රාජ සභාවේ ශ‍්‍රී විභූතිය ද සිහි විය. කවියා මහිංගණයේ බුදු රැස් වැඩීම දුටුවේ ඒවාට සමගාමී රූපවලිනි. බුදු රැස් සඳහා යෙදූ කි‍්‍රයාපදය ‘වඩිනවා’ යන බුදුරදුන්ට යෙදූ කි‍්‍රයා පදය ම වීම ද විශේෂයෙන් සලකා බැලිය යුතු ය.

පසු කලෙක රජවරුන් ගේ දුර්වලතාත් විදේශ ආක‍්‍රමණත් රදළයන් ගේ බල තණ්හාව නිසාත් මහියංගණ සෑ රදුන්ට නරක කාලයක් උදා විය.
මහියංගණයේ අසිරිමත් රන් කොත කඩා වැටුණි. ඌව වෙල්ලස්ස කම්පා විය. ගැමි කවියෝ ඉන් මහත් කම්පාවට පත් වූවෝ ය.

ඉරේ ඉන්න ගිරවා විලසේ වෙවුලා
සඳේ ඉන්න සාවා විලසේ වෙවුලා
මලේ ඉන්න බඹරා විලසේ වෙවුලා
මහිංයගණේ රන්කොත කැඩුණා වෙවුලා

අසිරිමත් චෛත්‍ය රාජයා ගේ කොත් වහන්සේ කඩා වැටීමට ගැමියා උපමා සොයා ගත්තේ්ද ඉරෙන් හඳෙන් හා මලෙනි. ඇදහිය නොහැකි සිදු විය නොහැකි සිද්ධියක් ලෙස මේ පත් විපත ගැමියා දැක තිබේ.
බෞද්ධ ඉගැන්වීම් හා බෞද්ධ ආකල්ප සිංහල ගැමි වහර ද පෝෂණය කළේ ය.

වනේ ගිජිඳ්‍රය දුටුවොත් වනසාය
ළිඳේ පණිඳ්‍රය වැටුණොත් ඌ කාය
අතකින් කරවැලෙක අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය

මේ කවියේ දිසි අරුත එකකි. වැසි අරුත අනෙකකි. බැලූ බැල්මට පෙනෙන්නේ කැලයේ අලියකුට බයේ දිවූ මිනිසකු ළිඳකට වැටෙද්දී කටු අත්තක එල්ලුණු බව ය. ළිඳ පතුලේ සර්පයෙකි.

මරණ තුනක් පෙනෙද්දීත් මේ මිනිසා දඬුවැල් බෑයකින් පැණි කමින් සිටී. එහෙත් වැසි අරුත එය නො වේ. සත්වයා තමන් ගේ වර්තමානය අතීතය හා අනාගතය නොදැන කාමසුඛල්ලිකානුයෝගීව ජීවත් වේ. අතීතය නම් වනේ ගිජිඳ්‍ර ය. මරණය අලියකු ගේ් වේශයෙන් සත්වයා ලුහුබඳී. අතකින් කරවැලක එල්ලී මී පැණි වළඳන මිනිසා ගේ වර්තමාන භවය යි.

කොයි මොහොතේ් කටුවැල අතහැරී ළිඳට වැටී මිය යා දැ යි ඔහු නො දනී. ඒ බව නොසිතමින් හෙතෙම මී පැණි වළඳයි. ඔහු ගේ ඊළඟ භවය ළිඳ යි. ඒ තුළ ද දැනටමත් මරණයේ සර්පයා ඔහු එන තෙක් බලා සිටී. බුදු දහමේ සාරය ධම්මපදයේ ලියැවී තිබේ. සිංහල ජන කවියා ද බුදු දහමේ ආභාසයෙන් නව ජන කවියක නව ධම්මපදයක් ලියුවේ ය.

කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල් වරා නොවෙද කිරිවැද පැසෙන්නේ
සෙනසුරා නොවෙද වැහි පල නොදුන්නේ
ලොවුතුරා බුදුන් කවදද දකින්නේ

ගොවියෝ වර්ෂා කාලය නියං කාලය පිළිබඳව තතු සොයා ගොවිතැන් ආරම්භ කරති. එසේ කළ විට මල් වරා කිරිවැද පැසෙන්නට පටන් ගනී. ලිත බලා කාලය අනුව ගොයම් කළ ඉක්බිති නියං සමය ඒ නම් ඒ සෙනසුරා ගේ කි‍්‍රයාවකි.

හැම දේකට ම නිසි හේතුවක් ගැමියාට තිබේ. කල් බලා ගොවිතැන් කළ පසු සෙනසුරා වැහි පල දීමෙන් ගොයම විනාශ වේ. ගැමියාට ඒ පිළිබඳ ව දුක සිතෙන්නේ තමන්ටත් දරුවන්ටත් කුසගින්නේ සිටින්නට වන නිසා නොවේ. අස්වැන්න නො ලැබූ පසු ලොවුතුරා බුදුන් දකින්නට වන්දනාවේ යා නො හැකි ය.

අලුත් සහල් මංගල්ලය පැවැත්විය නො හැකි ය. ගැමියන් අස්වැන්න කපා පාගා ගත් පසු වන්දනාවේ යාම චාරිත‍්‍රයකි. බුදු සමය මෙරට පැතිරීමත් සමඟ ආහාර දෙවන තැනට වැටී සදාචාරය පළමු තැනට ආවේ ය. මේ සඳහා හොඳ ම සාධකය නුවරඑළියේ එළවළු වගාව යි. වී ගොවිතැනින් සිංහලයා නෙළා ගත් සංස්කෘතිය අල ගොවියෝ අලවලින් නෙළා නො ගත්තෝ ය.
නුවරඑළියේ ගොවියෝ එළවළු ගොවිපළේ දී ම මුදල් බවට පත් කරති. අලුත් අල මංගල්ල, අලුත් ගෝවා මංගල්ල, ඔවුන්ට නැත.
බෞද්ධ දර්ශනය සිංහල ගැමි බෞද්ධයා ගේ සිතුම් පැතුම් සියල්ල නො පිට පෙරළුවේ ය.

බුදු රජුන් දේශනා කළ කාරණා ද ගැමියෝ ස්වකීය සිතුවිලි අනුව සකසා ගත්තෝ ය. බුදු දහම අනුව තිරිසන් සත්තු නිවනට නොයති. උන් වෙනුවෙන් පාංශුකූල දානය දීමේ සම්ප‍්‍රදායක් ද බෞද්ධ ආකල්පවලට ඉඳුරා ම පටහැනි ය. එහෙත් ගැමි බෞද්ධයා බුද්ධාගම තේරුම් ගත්තේ තමන්ට වැටහෙන ආකාරයෙනි.

අනේ මගේ කිකිළී කොයි ගියාදෝ
ඇහිඳ කකා ගම මැද්දේ ගියාදෝ
රෑට ඇවිත් කජු අත්තේ ලගීදෝ
කැලණි ගඟේ පාවී පණ ගියාදෝ

කොක් කොක් ගගා මගෙ දොරකඩට එන ලියේ
රාගන් කිය කියා බිත්තර දමන ලියේ
රිදී පනම් ගෙට උපයා දුන්න ලියේ
අමා මහ නිවන් දැකපන්න කිකිළියේ

කිකිළිය යනු වර්තමාන බ්‍රොයිලර්ස් සංස්කෘතියේ කිසි වැදගත්කමක් නැති ආපෝ, තේජෝ, වායෝ, පඨවි ධාතුවෙන් සැදි ප‍්‍රපංචයක් පමණකි. ඌ ගේ කිසිදු සංවේදී භාවයක් වර්තමානිකයෝ නො දකිති. එහෙත් බෞද්ධ සංස්කෘතිය ඊට වඩා සංවේදී මනසක් අපට උරුම කොට දී තිබුණි.

ඉහත පදයේ ගැමියා නැති වූ කිකිළියට වැලපේ. කිකිළිය බිජු දමමින් ආර්ථිකය සවිමත් කළ හැටි ගැමියා සිහිපත් කරයි. බුදු දහම තමන්ට ගැළපෙන සේ කපා කොට ගන්නා ගැමියා තමන්ට උදව් කළ කිකිළියට අමා මහ නිර්වාණය ප‍්‍රාර්ථනා කරයි.

මං බාලේ ඇති කළ තලගොයි පැටියා
මගෙ තනිවට මිදුලේ කෙළ කෙළ සිටියා
උගෙ මරුවා ඌ ඇවිදින් අරන් ගියා
නිවන් පුරේ පලයන් තලගොයි පැටියා

තලගොයා යනු කිකිළිය මෙන් කිසිදු ආර්ථික ප‍්‍රයෝජනයක් ඇති සතෙක් නො වේ. ඌ ගැමියා සමඟ ළමා වියේ දී සෙල්ලම් කර තිබේ. ඌ මිය ගිය ඉක්බිති තලගොයාට නිර්වාණය පතන්නට තරම් ගැමියා එඩිතර වේ.

මොනරාගල බුත්තල ප‍්‍රදේශයේ ජනකවි එකතු කිරීමක යෙදුණු නෝමන් සිරිපාල මහතාට අපූරු ජන කවි කිහිපයක් හමු ව තිබේ. බැද්ද වැඳීම නම් මේ අපූරු කවි එකතුව බුදු දහම මිනිස් සිතට කරන ලද ආශ්චර්යවත් බලපෑම හෙළි කරන ප‍්‍රබල සාක්‍ෂියකි.

ලකුණු බලා බුදු වෙන්නට වැඩිය වරේ
අකුණු හඩින් වසවතු ඇවිත් යුද කෙරේ
මකුළු දැලක් දා අලුවෙන කල අතරේ
කකුසඳ මුනි අණින් වැන්දෙමි වනන්තරේ

සාරා අසංකය පෙරුවත් පුරපු වරේ
සව්සත ගොඩ ගන්න වීරිය කරපු වරේ
මව්සඳ පඩි ව අප මුනිසඳ උපන් වරේ
ගෞතම මුනි අණින් වැන්දෙමි වනන්තරේ
(බුත්තල ජන කවි - නෝමන් සිරිපාල 29)

මේ කවි පෙළ නෝමන් සිිරිපාල මහතාට ලබා දී තිබුණේ බුත්තල වගුරුවෙල ආර්. ජී. නෙතා මහතා ගේ පුත‍්‍ර ආර්. ජී. බබානිස් මහතා ය. තම පියාට අයත් පුස්කොළ පොතක මේ අසිරිමත් කවි කිහිපය සටහන් ව තිබූ බව ඒ මහතා කියා තිබේ.

වනයේ ඇවිද විඩාවට පත් වූ ඉක්බිති මේ කවි කීමෙන් තමන්ට මහත් වූ ආරක්‍ෂාවක් ලැබේ යයි වෙල්ලස්සේ ගැමියන් අතර විශ්වාසයක් තිබී ඇත.
මේ පද්‍යයන්හි විශේෂත්වය නම් බැද්දට වන්දනා කිරීම යි.

වනාන්තරයට වන්දනා කිරීම යනු එය ආරක්‍ෂා කිරීම යි. කැලය දකින විට ම මුදල් මතක් වන සංස්කෘතියකට අද අප මාරු වී සිටියත් බුද්ධ උත්පත්තිය එක් කලෙක සිංහලයන් ඉතා සංවේදී ජාතියක් ව සිටි බවට මේ කදිම සාක්‍ෂියකි.

0 comments:

Post a Comment