අංජනම





















ආසාව මිනිස් සිතේ ස්වභාවයකි. පි‍්‍රයමනාප දේ දැකීමට, ඇසීමට, ආඝ‍්‍රාණයට, කෑමට බීමට ඇති කැමැත්තත්, ශරීරයට සුව පහසු පහස ලබා දීමට ඇති කැමැත්තත්, මිනිසුන් අතර පමණක් නොව සතා සිවුපාවා වෙත ද පවතී.

කුහුඹුවන් හා මීමැස්සෝ වැසි කාලයේ ප‍්‍රයෝජන ගැනීම සඳහා ආහාර ගබඩා කැර ගනිති. ඒ හැරෙන්නට කිසිම සතෙක් තමන්ගේ කුසට ප‍්‍රමාණවත් ආහාරයක් අනුභව කරනවාට වඩා තොග රැස් කැර ගැනීමට කටයුතු නොකරයි.

එහෙත් මිනිසා තමන්ට පමණක් නොව තවමත් නූපන් දරු මුණුපුරන් සඳහා ද ධන සම්පත් රැස් කැර ගැනීම සඳහා කටයුතු කරන්නේ කිසි දිනක සෑහීමකට පත් නොවෙමිනි. ආසාව උග‍්‍ර වී දැඩි තණ්හාව බවට පත්වෙමින් වතුපිටි මිල මුදල් රැස් කිරීමට හඹා යති.

එවැනි උත්සාහයක් දැරූ විදේශීය වතු වැවිලිකරුවකු හා ඔහුගෙන් පසු ඊට වෙහෙසුණු අපේ මිනිසුන් කීප දෙනකුගේ කතාවකි මේ.

මේ කතාවේ මුල් කොටසට අවුරුදු දෙසිය ගණනකට සමීප ඉතිහාසයක් ඇත. දෙවැනි කොටසට ඇත්තේ අවුරුදු තිස් පහක පමණ ඉතිහාසයකි.

කතාව මතු වෙන්නේ දෙවැනි කොටසෙනි. එහු කතා නායකයා මගේ මිතුරෙකි. කාලයක් මෙරට ජනපි‍්‍රය ගුප්ත විද්‍යා පත‍්‍රයකට ලිපි සැපැයූ ලේඛකයෙකි. කොයිතරම් මිතුරුකමක් තිබුණත් ඔහු මේ කතාව මා සමඟ කීවේ නැත.

ඒ නිසා ඔහුගේ නම සඳහන් නොකරන්නට වගබලා ගනිමි. ඒ වෙනත් දෙයක් නිසා නොව බැණුම් අහන්නට බැරි නිසාය.

බොහෝ යක්ෂයන් භූතයන් සමඟ පයුරුපාසානයේ යෙදුණු මේ මිත‍්‍රයා මා දන්නා හඳුනන ස්වාමීන් වහන්සේ නමක සමඟ මේ කතාව කියා තිබිණි. මම එය උන්වහන්සේගෙන් අසා දැන ගත්තෙමි. දැන් අපි කතාවට යමු.

මෙය අදින් සියවස් දෙකකට ආසන්න කාලයෙක බදුල්ල ප‍්‍රදේශයේ සිදුවූවකි. ඔහු විදේශිකයෙකි. සුදු ජාතිකයෙකි. වැවිලිකරුවෙකි.

බදුල්ල ප‍්‍රදේශයේ විශාල වතුයායක තේ වගා කළේය. ඒ යුගයේ මැණික් සඳහා අද මෙන් විශාල ඉල්ලුමක් නොතිබුණත් මැණික්වල වටිනාකම මේ සුද්දා දැන සිටියේය.

තේ වගා කරන අතර හේ මැණික් ගැරවීම ද මැණික් මිලදී ගැනීම ද සිදු කෙළේය. සුළු මුදලක් ගෙවා මැණික් මිල දී ගත් අතර ඔහු ඒවා ලොකු වීදුරු බෝතල් පහක එක්රැස් කළේය.

මේ වතුයාය හරහා ගලා ගිය ඇළක් ද වීය. බංගලාවට එහායින් ගලා ගියමි ඇළට බංගලාවේ හා වත්තේ වතුර ද ගලා ගියේය. මේ ඇළේ ද සුද්දා මැණික් ගැරෙව්වේය.

මේ අතර එංගලන්තයේ ජීවත්වූ ඔහුගේ බිරිය අසනීප වී ඇති බව දැනගන්නට ලැබීම නිසා ඔහුට සිය රට බලා යෑමට සිදුවිය.

ඔහු සියරට යෑමට පෙර ඉතා විශ්වාසවන්ත වූ සේවකයකු ලවා ඇළ අසල වළක් කපා මැණික් බෝතල් පහ එහි තැන්පත් කොට කොන්කී‍්‍රට් දමා වසා දැම්මෙව්වේය.

එකල අද මෙන් නොව ගුවන් යානා ගමනාගමනය ඉතා විරල වූ අතර බහුල වශයෙන් වූයේ නැව් ගමනාගමනයයි.

සුද්දා බිරිය බැලීමට යෑම සඳහා නැව් නැංගේය. එහෙත් නැව ගමන් ආරම්භ කොට දින දෙකක් ගත වන විට මැලේරියාව වැළඳීම නිසා එයින් ම සුද්දා මියගියේය.

බංගලාවේ සිටි විශ්වාසවන්ත සේවකයා ද මැලේරියාව වැළඳී මිය ගියේය. සුද්දා මිය ගියේ මැණික් බෝතල් තුන පිළිබඳ ආශාව තදින් සිත්හි තබාගෙනය.

කෙසේ නමුත් මේ මැණික් නිධානය පිළිබඳව බංගලාවේ සිට මියගිය සේවකයාගේ බිරිය දැන සිටියාය. වතුයාය මැදින් ගලා ගිය ඇළේ දිය පහරේ වේගයෙන් ම කාලයක් ගතව ගියේය.

මේ අතර වරින්වර කීප දෙනකුම මේ මැණික් තොගය ලබා ගැනීම සඳහා මිනිසුන් පවා බිලි දෙමින් කටයුතු කළත් එසේ උත්සාහ කළ අය කුමන හේතුවකින් හෝ මිය ගියා මිසක මැණික් ලබා ගැනීමට නම් නොහැකි විය.

එක්දහස් නවසිය හැටේ දශකයේ අග භාගය මේ රටේ ගුප්ත විද්‍යා පුවත්පත් ඉතා ජනපි‍්‍රය වූ යුගයක් විය. අපේ මිත‍්‍රයා ද ගුප්ත විද්‍යාධරයන් සමඟ නොයෙකුත් ගවේෂණ සිදු කළේය. අත්හදා බැලීම් කළේය.

මේ අතර බදුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයන් හතර දෙනෙක් අපේ මිත‍්‍රයා සොයා ගෙන ආවෝය. දසකන් මන්ත‍්‍රණයක් රහසේ පැවැත්විණි. වැඩේ සාර්ථක වුණොත් අපේ මිත‍්‍රයාට ලැබෙන මැණික් කොටස ද සුළුපටු නොවීය.

ඒ කොටස මැණික් බෝතල් පහෙන් එකකි. ඔහු ද ඔවුන් සමඟ වාචික ගිවිසුමකට එළැඹියේය. මේ භාරදූර කාර්යය සඳහා මූලික වියදම් පිණිස සෑහෙන මුදලක් ද ලැබුණේය.

අපේ මිත‍්‍රයා ළඟ බලවත් අඳුනක් වීය. එය ඔහුට නොපෙනුණු අතර වෙනත් කෙනකුට හොඳින් පෙනුණේය. බදුල්ලේ වත්තේ නිධානය අසලින් පස් ටිකක් ගෙන්වා අවශ්‍ය පුද පූජා පවත්වා අඳුන බැලෙව්වේය.

ගලා යන ඇළ පාරක්, ඒ අසල දෙල් ගසක්, අඩි පහක් යට මැණික් බෝතල් පහක්, රැවුල වවා ගත් සුද්දෙක් ලන්තෑරුමක් අතින් ගෙන නපුරු බැල්මකින් යුතුව එතැන සිටිනා බවත්, මිනිසකු බිල්ලට දිය යුතු බවත් අඳුන බැලු අය පැවසුවේය. අඳුන බැලූ පුද්ගලයා කොයි තරම් බියට පත් වූයේ ද යත්.

“අනේ මහත්තයෝ මීට පස්සේ නම් මම අඳුන බලන්නෙත් නෑ. මට අඳුන බලන්න අඬ ගහන්නත් එපා” යැයි කියා යන්න ගියේය.

මේ වන විට අපේ මිත‍්‍රයා ගුප්ත විද්‍යා ගවේෂණ සඳහා මලයාලම් ඇදුරකු හා මිත‍්‍ර වී සිටියේය. ඔහුට කර්ණමුණ්ඩ බලයෙන් භූතයන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබිණි.

මේ දෙදෙනා ඒ වන විටත් පාළුවට ගොස් තිබුණු වතු බංගලාවට ගොස් වැඩ කටයුතු ආරම්භ කළහ. ඔවුන්ට අවශ්‍ය ආහාරපාන පහසුකම් සැපයීම වැඩය බාරදුන් හතර දෙනා අතින් සිදුවීය.

මෙය ඉතා බාරදූර කාර්යයක් බැවින් මාසයක් පමණ ජීවම් කිරීම් කටයුතුවලට ගත වන බව ද ප‍්‍රකාශ වීය. මේ මැණික් නිධානයට අරක් ගත් යක්ෂයා මිනී බිල්ලක් ඉල්ලා සිටි අතර, මිනී මරන්නට නොහැකි බවත්, ඒ සඳහා ලේ පයින්ට් නවයක් දීමට යක්ෂයා සමඟ ගිවිස ගත්තේය.

එය මුදලක් දී ලේ බැංකුවෙන් ලබා ගැනීමට රෝහල් සේවකයකු ද කැමති කරවා ගත්තේය.

දැන් අපේ මිත‍්‍රයාත් මලයාලම් ඇදුරාත් පාළු බංගලාවේ සිට රහසිගතව ජීවම් කටයුතු කැර ගෙන යති.

ඔවුන් දහවල් නාන්නට ගියේ ද ඇළේ මැණික් නිධානය තිබු ස්ථානය අසලට ම ය. දැන් අපේ මිත‍්‍රයා ගේ කල්පනාව මැණික් නිධානය රැගෙන මලයාලම්කරු සමඟ අනිත් හතර දෙනාට හොරෙන් පලා යෑමට ය.

දිනක් මේ දෙදෙනා දහවල් නාන්නට ගියේය. මලයාලම්කරු ගලක් උඩ හිඳ ගෙන සිටියේය. අපේ මිත‍්‍රයා ඉක්මණින් ම නාන්නට පටන් ගත්තේ ය.

දිය යට ගිය මිත‍්‍රයා දියෙන් උඩට ඇවිත් බලන විට මලයාලම්කරු විකෘති වී අමුතු ස්වභාවයක් ගෙන සිටියේය.

“අයිෂෙ, මොකද? කරන්නේ. ඕයි නානවනං නානවා. තමුසෙලා සැප ගන්න ද ඇවිත් ඉන්නේ” යි හදිසියේ ම කැලෙන් මතු වූ අර හතර දෙනාගෙන් එකෙක් ඇසුවේය.

පෙරදී “මහත්තයා, මහත්තයා” යැයි කතා කළ ඔවුන් කතා කරන්නේ ද “ඕයි, අයිෂේ, තමුසේ” ආදී වශයෙනි. මේ වන විට අස්වභාවික ස්වරූපයක් ගෙන සිටි මලයාලම්කරු හූ තියාගෙන ගලෙන් පහළට වැටුණේය.

ඔහුට සාත්තු සප්පායම් කොට සිහිය ආ පසුව අනිත් පස්දෙනා ඔහු බංගලාවට ගෙන ගියහ.

තමාගේ තුනටියේ ඇටයක් පුපුරා ඇති බවත්, දැන් නැගිටින්නට තබා හෙල්ලෙන්නටවත් නොහැකි බවත් මලයාලම්කරු පැවසුවේය. ගමේ හතර දෙනා ඔහුට සිංහල වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ලබා දීමට සූදානම් වන විට එය නුසුදුසු බවත්, එසේ කළොත් මේ රහස පවා හෙළිදරව් විය හැකි බවත්, තමන්ට පුරුදු වී ඇත්තේ ද ඉංගී‍්‍රසි බෙහෙත් බවත්, ආබාධිතයා පැවසූ බැවින් ඔහු රෝහල් ගත කළේය. මලයාලම්කරුගේ සාත්තුවට නතරවීමට අපේ මිත‍්‍රයාට සිදුවීය.

අනිත් හතර දෙනා මේ දෙදෙනාට අවශ්‍ය පහසුකම්, ආහාරපාන සපයා දී නැවත හෙට උදෙන් ම එන බව පවසා පිටත්ව ගියහ.

රෝගියා රෝහලට ඇතුළත් කොට පැය කීපයක් ගතවුණත් තවමත් ප‍්‍රතිකාරයක් නැත.

අභ්‍යන්තර බිඳීමක් නිසා වෛද්‍යවරු පරීක්ෂණ කරන්නේ ;හට උදේය. ඒත් රෝගියාගේ කෙඳිරි ගෑම නම් ටිකක් අඩුවී තිබීම සාත්තුකාරයාගේ හිතට තරමක සහනයක් වීය.

අපේ මිත‍්‍රයා මේ ගමන ආවේ දහසක් බලාපොරොත්තු තබා ගෙනය. අවශ්‍ය ප‍්‍රධාන කාර්යභාරය සඳහා කැඳවාගෙන ආ ඇදුරාගේ කොන්ද බිඳී ඇත.

මේකත් භූතයන්ගේ ම වැඩක් ද? මැණික් නිධානය ගැනීම වළක්වාලීම සඳහා කළ දෙයක්ද? එහෙම වුණොත් මේ තරම් දවස් මහන්සිවීම වතුරේ යාවිද? මැණික් බෝතල් පහක්. පරම්පරා දහයකටත් ඇති. ඒත් ඉතින්? ඔහුගේ ඔළුව යකාගේ කම්මල වැනිය.

රාති‍්‍ර නවයට පමණ මලයාලම්කරු ඇඳෙන් නැගිට්ටේය. තමන්ගේ ඔලගුව සකස් කැර ගත්තේය.

“මොනවා? තමුසෙට ඉබේම සනීප වුණාද? හෙල්ලෙන්න බෑ කියලා අපේ කරපිටින් ආ මිනිහා දැන් නැගිටලා. මොකක්ද තමුසෙට වුණේ?” අපේ මිත‍්‍රයා ඇසීය.

“මටනම් මොනවත් වුණේ නෑ. මහත්තයාට වෙන්න තිබුණු දේ මම යන්තම් ගලෙන් ලිස්සලා බේර ගත්තා.

මහත්තයා මීට පස්සේ නම් ඔය වගේ වැඩ බාර ගන්න එහෙම එපා. මම නම් එන්නේ නෑ” යි ඇදුරා කීවේය.

“ඇයි? ඇයි? මොකක්ද වුණේ?”

“මහත්තයා දවල් නාන කොට අර හතර දෙනා කැලේ ඉඳල මතු වුණේ පිස්තෝල හතරකුත් අතේ තියා ගෙන. මම දැනගත්තා මේ අය එන්නේ මහත්තයා මරලා මට කියලා නිධානෙ අරගන්න. ඊට පස්සෙ මාව මරා දානවාට කිසිම සැකයක් නෑ.

දැන් නිධානය ගත්තත් ඔය මිනිස්සු අපි දෙන්නව මරනවා. නොගත්තත් මරනවා. මහත්තයා තණ්හාවෙන් අන්ධ වුණාම උන්ට හොඳ නරක පේන්නේ නෑ. මහත්තයට මේ අනතුර නොපෙනුණෙත් ඔය තණ්හාව නිසාමයි. ඔය මැණික්වලට වඩා ජීවිතේ වටිනවා.

ඒකයි මම ගලෙන් ලිස්සලා වැටිලා තුනටිය බිඳුණා කීවේ එතැනින් මහත්තයත් බේරාගන්න ඕනැ නිසයි. දැන් හෙමින් සැරේ මේ ඉස්පිරිතාලෙන් පැනලා යමු යන්න. පයින් ගියත් එළිවෙන කොට හැතැප්ම දහයක් පහළොවක් යා ගන්න පුළුවන්” කියමින් මලයාලම්කරු වටපිට බැලුවේය.

රෝහල් සේවකයන් පෙනෙන තෙක් මානයක නැත. අනිකුත් රෝගීන් ගොරව ගොරවා නින්දේය. ඔහු වාට්ටුවෙන් පිටවූයේය.

අඩියට දෙකට මහ පාරට පැන ගත්තේය. ඔහු අනුගමනය කරනවා හැරෙන්නට අපේ මිත‍්‍රයාට ද වෙනත් කළ හැකි දෙයක් නොවීය.

“තන්හාය ජායතී ශෝකෝ. තණ්හාය ජායතීය භයං” අර හතර දෙනාට අහුවුණොත් බේරී පලා යන්නට ද නොලැබෙනු ඇත.

අඳුර මැදින් දෙදෙනෙක් ජීවිතය සොයා ඉක්මන් පියවර තැබූහ.

2 comments:

ශාකුන්තල | Shaakunthala said...

බ්ලොග් එකේ වර්ණ සංයෝජනය නම් නියමයි. කතාවට නියමෙට ගැලපෙනවා.

Narada said...

කතාවවේ ඇත්ත නැත්ත කොහොම වෙනත් පණිවිඩය ඇත්ත තමා! :)

ස්තුතියි අපිතක්ක රහස කිව්වාට.

Post a Comment