බුද්ධිය

දෙවියන් මැරීම

බුද්ධිය මිත්‍රයෙකැයි, සිතු මම
දිනක් මග රැක සිට
මගේ දෙවියන්
මරා හෙලීමි,
දැවැන්තයකු වන බුද්ධිය
අඳුරෙහි මහ අඩි තබමින්
මා පිටි පසින් එනු
මට ඇසෙයි.

එහෙත් දෙවියන් සිටි කල මෙන්
දැන් මට
සැක හැර ගමන් කළ නොහැක
මා වැටුණු කල
දැන් දෙවියන් නැති හෙයින්
මම
නැඟී සිටිය යුතු ය.

යළිත් දෙවියන් සොයා ගිය මට
උන්වහන්සේගේ රන්වන් මළ සිරුර
මඟ අසල,
නුග ගස යට තිබී සම්බ විය
ස්වාමීනි, යළිත් නැඟී සිට
මා හා පෙර මෙන්
එනු මැනවයි මම කීමි
උන්වහන්සේ නැඟී නොසිටින්නේ
බුද්ධිය
තම දත් දෙපළ පෙන්නා
විලිස්සමින්
මා පිටිපස සිටින හෙයින් බව
මම දනිමි

එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැකිය
ඔහු මා අතහැර නොයයි.

ජී බී සේනානායක
පලිගැනීම පද්‍ය සංග්‍රහයෙන් 1946

0 comments:

Post a Comment